සූර්පිට කාර් පැදවීම! | දිනමිණ

සූර්පිට කාර් පැදවීම!

ශ්‍රී ලංකාව රිය අනතුරු බහුල රාජ්‍යයෙකි. කෙතරම් බහුලද යත්; දිනකට මාරක රිය අනතුරු හයක් - හතක් සිදු වේ. රථවාහන පොලිසිය සඳහන් කරන අන්දමට රිය අනතුරුවලට ප්‍රධාන හේතුව අපරීක්ෂාකාරී ඉස්සර කිරීම් ය. මේ අතර රිය අනතුරුවලට බලපාන තවත් එක් සාධකයක් ලෙස බීමත්ව රිය පැදවීම සටහන් වී ඇත. එය කෙතරම් දුරට ව්‍යාප්ත වී තිබේද යත්; රිය පැදවීමේ බලපත්‍රයක් නැති අය ද බීමත්ව අධික වේගයෙන් රිය පදවති. අනතුරු ද සිදුකරති. අපේ රිය අනතුරුවලින් බොහොමයකට බීමත්ව රිය පැදවීම ද බලපා ඇති බව පෙනී ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව අලුත් වැඩසටහනක් ආරම්භ කර තිබේ. එය ඊයේ සිට තදබල ලෙස ක්‍රියාත්මක ය. එනම්; බීමත්ව රිය පදවන සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම ය. මේ වැඩසටහනේදී රාත්‍රී සමාජ ශාලා, රෙස්ටුරන්ට්, බාර් ආදිය ගැන විශේෂ සැලැකිල්ලක් දක්වමින් එම ප්‍රදේශ අවට මෙහෙයුම් සිදුකිරීමට පොලිසිය තීන්දු කර තිබේ. මෙය ඉතා නිවැරැදි ය. දේශපාලන වශයෙන් හා රාජකාරීමය වශයෙන් බලවත් පුද්ගලයෝ තම වාහනය සමාජ ශාලාව වෙත ගෙන ගොස් හොඳටම බීමත්ව ආපසු පදවාගෙන යති.

කුමන මෙහෙයුම් සිදුකළ ද පොලිස් නිලධාරීන් ද දේශපාලන බලයට හා රාජකාරීමය බලයට යම් පමණකින් ඉඩ දෙන බව අප දන්නා කාරණයෙකි. එහෙත් මෙබඳු නිශ්චිත වැඩසටහනක් ක්‍රියාත්මක වන විට දේශපාලන බලය ගණන් ගන්නේ නැත. රාජකාරීමය බලය ගණන් ගන්නේ ද නැත. බීමත් පුද්ගලයා රථයක් පදවාගෙන යන්නේ නම්; ඔහු ඇමැතිවරයකු වුව අත්අඩංගුවට ගැනීමේ හැකියාව ද, නීතිමය වශයෙන් කටයුතු කිරීමේ හැකියාව ද පොලිසියට තිබේ. ඕස්ට්‍රේලියාවේ අගමැතිවරු කිහිප දෙනෙක් රියැදුරු අසුනේ ආරක්ෂිත පටිය පැළඳ නොසිටීම නිසා අත්අඩංගුවට පත් වූහ. පසුව ඔව්හු දඩ මුදල ගෙවා නිදහස් වූහ.

මත්පැන් පානයකොට රිය පැදවීම සෙල්ලමක් ලෙස සලකන්නට අපේ සමාජය පුරුදු වී තිබේ. අත්අඩංගුවට නො ගැනීම හා දඩ නොගැසීම මීට බලපාන ප්‍රධාන සාධකයකි. සමහරු තමන්ගේ තනතුර පෙන්වා නිදහස් වෙති. තව සමහරු හදිසි අවස්ථා පෙන්වා නිදහස් වෙති. තවත් සමහරු පොලිස් නිලධාරීන් කැටුව සාකච්ඡාකොට සහයෝගයෙන් නිදහස් වන බව ද දකින්නට ලැබේ. මේ සෑම පියවරක් ම ඉතා වැරැදි ය. විනාශකාරී ය.

බීමත්ව රිය පදවා සිදුකළ අනතුරු පිළිබඳ ලෝක ඉතිහාසය ගතහොත්; එම හේතුව නිසා ඉතා වටිනා චරිත ගණනාවක් අපට අහිමි වී ඇත. ඩයනා කුමරියගේ මරණය පසුපස පවා බීමත්ව රිය පැදවීමේ චෝදනාවක් එල්ල වී ඇත. ශ්‍රී ලංකාව තුළ ගතහොත්; බීමත්ව රිය පැදවීම නිසා සිදු වී ඇති රිය අනතුරු ප්‍රමාණය ඉතා අධික ය. එලෙසම එමඟින් රටට අහිමි වූ වටිනා චරිත ගණන ද ඉහළ ය. මේවා නැවැත්විය යුතුය. එලෙසම නැවැත්විය හැකිය. ඒ සඳහා කළ යුතු හොඳම කාර්යය වන්නේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ය. දැනට රටේ ක්‍රියාත්මක වන නීතිය අනුව ගතහොත් ඊට බලපෑම් කළ හැකි කෙනකු නැත. එය වැදගත් සාධකයකි.

පොලිසිය තීන්දු කර ඇති ආකාරයට රාත්‍රී සමාජශාලා අසල ද, බාර් හා රෙස්ටුරන්ට් අසළ ද විමර්ශන කණ්ඩායම් යොදනු ලැබේ. එය ඉතා වැදගත් ය. එමඟින් බීමත්ව එන පුද්ගලයන් ද, බීමත්ව රිය පදවන පුද්ගලයන් ද හඳුනාගත හැකි ය. සමහරු කිසිදු බියක් - සැකක් නැතිව ආපනශාලා වෙත ප්‍රවේශ වී හොඳට ම බීමත්ව තම රථය පවාගෙන යති. කෙනකු එය පුරුද්දක් ලෙස කරන්නට පුළුවන. කිසි දිනෙක අනතුරක් සිදු වී නැතැ’යි තර්කයක් ගොඩනඟන්නටත් පුළුවන. එහෙත් අනතුර සිදුවන වේලාව හෝ අවස්ථාව හෝ අපට කිව නොහැකි ය. බීමත්ව රිය පදවන්නා කොයි අතකින් බැලූවද අපගේ මහාමාර්ගය ආක්‍රමණය කරයි.

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් බරපතළ වැඩසටහන් කිහිපයක් රට තුළ ක්‍රියාත්මක වේ. ඒ අතර බීමත්ව සිටින රියැදුරන් ඇල්ලීම ද වැදගත් සාධකයකි. අපගේ වැටහීමට අනුව මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කළහොත්; රටේ රිය අනතුරුවලින් සැලැකිය යුතු කොටසක් වළක්වා ගත හැකි ය. ඒ අනුව මෙය බුද්ධිමත් තීරණයක් ලෙස සැලැකිය හැකි ය. රටේ සිදුවන සියලුම රිය අනතුරුවලට බීමත්ව රිය පැදවීම අදාළ වන්නේ නැති නමුදු; රිය අනතුරුවලට එහි යම් බලපෑමක් ඇති බව වටහාගත යුතු ය. එය එක අතෙකින් සංඛ්‍යාත්මක සාධක මඟින් තාර්කික ලෙස වටහා දිය නො හැකිය. රථක් පදවන තැනැත්තා බීමත්ව රියැදුරු ආසනයට ප්‍රවේශ වන්නේ පොලිසියේ ඇති බුරුල ගැන ද සලකමින් ය. පොලිසියේ බුරුල නැති කළ යුතු ය. ඊට හොඳ ම පදනමක් මේ වැඩසටහනින් ඇතිවේ.

ශ්‍රී ලංකාවේ රිය අනතුරු අවම කළ යුතු ය. එලෙස ම මත්ද්‍රව්‍ය නිවාරණය ද ශක්තිමත් කළ යුතු ය. මත්පැන් භාවිතය ද අඩු කළ යුතුය. ඉස්ලාම් රාජ්‍යයන් ගණනාවක් මත්පැන් මුළුමනින් ම තහනම් කර ඇත්තේ අතීතයේ සිට ය. අපට අලුත් ආකල්ප හා අලුත් වැඩසටහන් අවශ්‍ය වේ. එයින් එක් වැඩසටහනක් ලෙස බීමත්ව රිය පැදවීම වැළැක්වීමේ වැඩසටහන හැඳින්විය හැකි ය. මීට මහජනයාගේ ද සහයෝගය ලැබිය යුතුය.

 


නව අදහස දක්වන්න