බෝයිං යානයේ සිටි සියලු දෙනා මරුට - නිල වශයෙන් තහවුරු කරයි | දිනමිණ

බෝයිං යානයේ සිටි සියලු දෙනා මරුට - නිල වශයෙන් තහවුරු කරයි

අනතුරට පත් ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයේ ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත් ව ඇති බව නිල වශයෙන් තහවුරු කර ඇත. ඒ අනුව මගීන් 149 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 08 දෙනකු මෙම ගුවන් අනතුරින් මිය ගොස් තිබේ. 
 
ඒ අතර කෙන්යානු ජාතිකයින් 32 දෙනකු, කැනේඩියානුවන් 18 දෙනකු, අමෙරිකානුවන් 08 දෙනකු සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් 07 දෙනකු ද වන බව තහවුරු වී ඇත. 
 
වාර්තා වන අන්දමට ඉතියෝපියාවේ සිට නයිරෝබි දක්වා ගමන් ඇරඹි ET302 දරණ බෝයිං 737 මැක්ස්-8 වර්ගයේ ගුවන් යානය ගුවන් ගත වී විනාඩි 6කින් අනතුරට ලක් ව ඇත. 
 
මාස කිහිපයක් පමණක් වයසැති මෙම යානයේ යම් දෝෂයක් හඳුනා ගත් නියමුවා එය නැවත හරවා පැමිණීමට ප්‍රධාන පාලක මැදිරියෙන් අවසර ඉල්ලා ඇති අතර ඒ සමගම යානය හා ප්‍රධාන පාලක මැදිරිය අතර සබඳතා ඇණ හිට තිබේ. ඊට සුලු මොහොතකට පසු සෘජු අතට කඩා වැටී ඇත. කඩා වැටුණ පසු එය පිපිරීමකට ලක් වූ බව ද, ඒ සමගම ගිනි ගත් බව ද වාර්තා වන අතර  ගින්න හේතුවෙන් කිසිවකුට එම ස්ථානයට සමීප වීමට හැකියාව නොලැබුණ බව සඳහන් වේ. 
 
මීට මාස පහකට පමණ පෙර 190 දෙනකුට මරු කැඳවමින් ඉන්දුනීසියාවට නුදුරු මුහුදට කඩා වැටුණ ලයන් එයාර් ගුවන් යානය ද මේ වර්ගයේම යානයක් බව වාර්තා වන අතර දෝෂය පවතින්නේ බෝයිං 737 මැක්ස්-8 වර්ගයේ යානාවලදැයි මේ වන විට සැක මතු වී තිබේ.
 
මේ අතර ET302 දරණ බෝයිං 737 මැක්ස්-8 වර්ගයේ සියලු ගුවන් යානාවල ගමන් වාර තාවකාලිකව නවතා දැමීමට චීන රජය තීරණය කර ඇත. චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අද(11) පස්වරු 6.00 දක්වා ET302 දරණ බෝයිං 737 මැක්ස්-8 වර්ගයේ ගුවන් යානා මෙහෙයුම් කටයුතු වලින් ඉවත් කරන බවයි. 
 
එය බොහෝ විට මෙම ගුවන් අනතුරේ විමර්ෂණය අවසන් වන තුරු පවතිනු ඇති බව විශ්වාස කෙරේ. 
අනතුරුට පත් ET302 දරණ බෝයිං 737 මැක්ස්-8 වර්ගයේ ගුවන් යානා දෙකම අලුතින්ම ලබා ගත් යානා වීමත්, ඒවා අනතුරට පත් වූයේ ගුවන් ගත කිරීමේ දී වීමත් පිළිබඳව විමර්ෂණ කටයුතු වල දී වැඩි අවධානයකට ලක් කෙරෙනු ඇත. 

නව අදහස දක්වන්න