ඩක්වර්ත් ලුවිස් ශ්‍රී ලංකාව පරාජය කරයි | දිනමිණ

ඩක්වර්ත් ලුවිස් ශ්‍රී ලංකාව පරාජය කරයි

තරගාවලියේ ජය කළින්ම දකුණු අප්‍රිකාවට

වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඕවර 8කදී ලකුණු 118ක අසීරු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාව සමග ඩර්බන්හිදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 71ක පරාජයක් අත්විය.

මේ සමගින් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2ක් ඉතිරිව තිබියදීම 3-0කින් ජය ගැනීමට සත්කාරකයෝ සමත් වූහ.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ 16 වැනි ඕවරයේදී තරගයට වාර්ෂාවෙන් බාධාවූ අතර ඒ හේතුවෙන් පැය දෙකහමාරකට ආසන්න කාලයක් තරගය නතර කිරීමට සිදුවිය. යළිත් තරගය ආරම්භ වූයේ ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඕවර 24කදී ලකුණු 193ක ඉලක්කයක් හිමිවිය. ඒ අනුව ඉතිරිව තිබු ඕවර 8 දී ලකුණු 118ක් ලබාගත යුතු වුවත් කඩුලු 3ක් අහිමිකර ගනිමින් ශ්‍රී ලංකා පිල ලබා ගත්තේ ලකුණු 46ක් පමණි.

වර්ෂාවෙන් අනතුරුව යළිත් තරගය ආරම්භ කරමින් මුහුණදුන් පළමු පන්දුවෙන්ම ඕෂද ප්‍රනාන්දු (25) දවා ගැනීමට ටබ්‍රයිස් ශම්සි ට හැකිවිය. ලකුණු වේගය වැඩි කිරීමට උත්සහ කළ කුසල් මෙන්ඩිස් පන්දු යැවූ තහීර් අතටම උඩ පන්දුවක් දෙමින් ලකුණු 41කට දැවී ගියේය. පන්දු 31කට මුහුණදුන් ඔහු හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබිණි.

තිසර පෙරේරා ලකුණු 12කට දැවී ගිය අතර මංගල තරගයට එක්වූ කමිඳු මෙන්ඩිස් පන්දු 13කින් ලකුණු 8ක් සහ ඉසුරු උදාන පන්දු 9කදී ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියහ. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට යළිත් වරක් සාර්ථක වීමට අවස්ථාවක් නොදුන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ලකුණු 35ක් වෙද්දී ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කළහ.

යළිත් වගකීම් විරහිත පිති හරඹයක් දියත් කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු 11ක් වෙද්දී ක්‍රීඩාගාරයට හරවා යැවීමට කගීසෝ රබාඩා සමත්වූ අතර අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ ලුන්ගි න්ගිඩිගේ පන්දුවක් හමුවේ ටබ්‍රයිස් ශම්සි උඩ පන්දුවක් රැක ගැනීමෙනි. පන්දු 7කට මුහුණදුන් දික්වැල්ලගේ ඉනිම ලකුණු 2කට සීමා වෙද්දී අවිශ්ක පන්දු 26කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 23ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිමේ 16 වැනි ඕවරය අවසානයේ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. ඒ වනවිට කඩුලු 2ක් අහිමිව සිටි ශ්‍රී ලංකා පිල ලකුණු 75ක් රැස්කර තිබිණි. ඕෂද ප්‍රනාන්දු ලකුණු 25ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 19ක් ලබා නොදැවී කඩුල්ලේ රැදි සිටියහ.

එක්දින තරගාවලියේ සාර්ථකම පිතිකරු වන ක්වින්ටන් ඩි කොක් රැස්කළ ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 5ක් දැවී ලකුණු 331ක් රැස් කිරීමට සමත් විය. තරග දෙකකදී පිට පිට අර්ධ ශතක 2ක් රැස්කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් පිළිබඳ මනා අවබෝධයකින් පසුවූ ක්වින්ටන් ඩි කොක් ඊයේ පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමගින් සිය 14 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය රැස් කළේය. ඉනිමේ තෙවැති කඩුල්ල ලෙස කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල උඩ පන්දුවක් රැක ගැනීමෙන් ඔහු දැවී යනවිට ලකුණු 121ක් රැස්කර තිබිණි. නායක ෆෆ් ඩු ප්ලෙසි සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 97ක් එක්කළ ඩි කොක්, රසී වෑන් ඩර් ඩුසෙන් සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 66ක්ද එක් කර තිබිණි. මුළු ලකුණු 24ක් වෙද්දී ඉනිමේ පළමු කඩුල්ල ලෙස රීසා හෙන්ඩ්‍රික්ස් (4) දවා ගැනීමට වසර 7කට පසුව යළි එක්දින පිටියට පිවිසි ඉසුරු උදාන සමත්වූයේ නායක ලසිත් මාලිංග උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

අනතුරුව ගොඩනැගුණු ඩි කොක්-ප්ලෙසි සබඳතාව මුළු ලකුණු 121දී බිඳ දැමීමට ලසිත් මාලිංගට හැකිවූ අතර ඩුසෙන්-ඩි කොක් තෙවැනි කඩුල්ලේ සබඳතාව ඩි කොක්ගේ දැවී යෑමෙන් නිමාවට පත්විය.

ඊයේ ජාත්‍යන්තර එක්දින පිටියට පා තැබූ කමිඳු මෙන්ඩිස් ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස ඩුසෙන් පිටියෙන් ඉවත් කළේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමෙනි. පන්දු 67කට මුහුණදුන් ඩුසෙන් හතරේ පහර 3ක් සමගින් සිවුවැනි අර්ධ ශතකය ලෙස ලකුණු 50ක් රැස් කළේය. ඩි කොක් දැවී යෑමෙන් පසුව පිටියට පිවිසි ඩේවිඩ් මිලර් මැද පෙළ පිතිකරුවන් සමග එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 300 ඔබ්බට ගෙන යෑමට කටයුතු කළේය. ඩුසෙන් සමගින් සිවුවැනි කඩුල්ලට ලකුණු 44ක් එක්කළ මිලර්, ඊයේ තරගයට කැඳවු ඩ්වේන් ප්‍රිටෝරියස් සමගින් 5 වැනි කඩුල්ලට ‍ලකුණු 53ක් සහ ඇන්ඩිල් පෙලුක්වායෝ සමග 6 වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 47ක සබඳතාවක් ගොඩනැගුවේය. ඉසුරු උදානට දෙවැනි කඩුල්ල හිමිකර දෙමින් ප්‍රිටෝරියස් ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 31ක් ලබා සිටියදීය. අනතුරුව පෙලුක්වායෝ සහ මිලර් පන්දු 20කින් ලකුණු 47 එක් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 331ක දක්වා ඉදිරියට ගෙන ගියේය. මිලර් පන්දු 46කදී හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 41ක් රැස්කළ අතර වේගවත් පිතිහරඹයක් දියත් කළ පෙලුක්වායෝ හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 38ක් රැස්කළේ පන්දු 15ක් පමණක් වැය කරමිනි.

දෙපිල අතර සිවුවැනි එක්දින තරගය 13 වැනිදා පෝර්ට් එලිසබෙත්හිදී පැවැත්වේ.

 


නව අදහස දක්වන්න