රාජකීයන් පරාජය කළ තෝමසුවෝ වසර 12 ක ඉතිහාසය වෙනස් කරති | දිනමිණ

රාජකීයන් පරාජය කළ තෝමසුවෝ වසර 12 ක ඉතිහාසය වෙනස් කරති

තරගයේ පෙරැළිකාරයා කලන පෙරේරා

දින 3 ක් තිස්සේ කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති 140 වැනි නිල් මහ සටන වාර්ෂික මහ ක්‍රිකට් තරගයේදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කළ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩකයෝ වසර 12ක පරාජිත ඉතිහාසය වෙනස් කරමින් ශූරතාව සඳහා පිදෙන ඩී. එස්. සේනානායක අනුස්මරණ කුසලාන තමන් සතු කර ගැනීමට පෙරේදා (09 දා) සවස් යාමයේදී සමත්වූහ.

සාන්ත තෝමස් විදුහල අවසන් වරට මහ තරගයක් ජය ගෙන තිබුණේ අශාන් පීරිස්ගේ නායකත්වයෙන් යුතු 2007 වසරේ පැවැති මහ තරගයේ වන අතර සිතාර හපුහින්නගේ නායකත්වයෙන් යුතු සාන්ත තෝමස් පිල වර්තා කරන ලද ජයත් සමග වසර 140ක නිල් මහ සටන මහ ක්‍රිකට් තරගාවලියේදී වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් ලබා තිබූ රාජකීයන්ගේ ජයග්‍රහණ සංඛ්‍යාවද සම කළේය. මෙම තරගයට ප්‍රථම 35 වතාවකදී රාජකීය පිලද 34 වතාවකදී සාන්ත තෝමස් පිලද ජය වාර්තා කර තිබුණි.

තෙවැනි සහ අවසන් දිනයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 122ක ඉලක්කයක් හඹා ගිය සාන්ත තෝමස් පිතිකරුවෝ තරගය නිමා කිරීමට නියමිත අවසන් හෝරාවේදී කඩුලු 3ක් පමණක් දැවී සම්පූර්ණ කළහ. එහිදී තෝමසුවන් වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දුන් නායක සිතාර හපුහින්න සහ ශලින් ද මෙල් පන්දු 49කදී ලකුණු 56ක් එක් කළහ. ලකුණු 34ක් ලබා සිටියදී කලන පෙරේරාගේ පන්දුවක් හමුවේ හපුහින්න දැවී ගය නමුත් තරගය නිමා වන තෙක් සිය අන්තය ආරක්ෂා කරගත් ශලින් ද මෙල් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමගින් පන්දු 55කදී නොදැවී ලකුණු 67ක් රැස් කරගත්තේය. නිල් මහ සටන ඉතිහාසයේ දෙවැනි අර්ධ ශතකයට හිමිකම් කී ශලින් තම අර්ධ ශතකය හයේ පහර එල්ල කරමින් වාර්තා කිරීමද කැපී පෙනුණි.

කඩුලු 4කට ලකුණු 148ක් රැස් කර තිබියදී තෙවැනි දිනය ඇරඹූ රාජකීය ඉනිමේ තවත් කඩුලු 3ක් දිවා ආහාරයට ප්‍රථම දවා ගැනීමට කලන පෙරේරා ප්‍රමුඛ තෝමස් පන්දු යවන්නෝ සමත්වූහ. හැකි තරම් වේලා කඩුල්ලේ රැඳී සිටීම රාජකීය පිතිකරුවන්ගේ සැලසුම වුවත්, සාන්ත තෝමස් පන්දු යවන්නන්ගේ උපක්‍රමශීලී පන්දු යැවීම හමුවේ තේ පානයෙන් මඳ වේලාවකට පසු රාජකීය දෙවැනි ඉනිම ලකුණු 259කට සීමා විය.

රාජකීය පිල වෙනුවෙන් සටන් කාමී පිතිහරඹයක නිරත වුණු ඉකුත් වසරේ නායකයා වූ පසිඳු සූරියබණ්ඩාර පන්දු 160කට මුහුණ දෙමින් ලකුණු 67ක් රැස් කළේය. අවසන් පිතිකරු ලෙසින් පිටියට පැමිණි ගිශාන් බාලසූරිය මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යද්දී අනෙක් අන්තයේ සිටි ළහිරු මධුසංඛ ලකුණු 11ක් ලබා සිටියේය.

සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ කලන පෙරේරා තරගයේ වීරයා සහ දක්ෂතම පන්දු යවන්නා ලෙසින්ද, උමයංග සුවාරිස දක්ෂතම පිතිකරු ලෙස සම්මාන ලබාද්දී ශලීන් ද මෙල් දක්ෂතම පන්දු රකින්නා ලෙසින් සම්මාන ලැබූහ.

රාජකීය විදුහල පළමු ඉනිම ඕවර 48.3කදී සියලුදෙනා දැවී ලකුණු 158යි. කමිල් මිශාර 36, කවිඳු පතිරත්න 35, කෞෂාන් කුලසූරිය 28, අහන් වික්‍රමසිංහ 15, භාග්‍ය දිසානායක 12 (කලන පෙරේරා 54/6, ෂෙනන් ප්‍රනාන්දු 27/4) සහ දෙවැනි ඉනිම ඕවර 108.2කදී ලකුණු 259යි. පසිඳු සූරියබණ්ඩාර 67, කමිල් මිශාර 34, අහන් වික්‍රමසිංහ 26, කවිඳු මදාරසිංහ 25, ඉසිවර දිසානායක 20, කවිඳු පතිරත්න 24, භාග්‍ය දිසානායක 21 (කලන පෙරේරා 103/3, ඩෙලන් පීරිස් 53/2, යොහාන් පෙරේරා 15/2)

සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 78.5කදී සියලු දෙනා දැවී ලකුණු 296යි. කලන පෙරේරා 62, උමයංග සුවාරිස් 62, රයන් ප්‍රනාන්දු 60, යොහාන් පෙරේරා 49, ශලින් ද මෙල් 21, සිතාර හපුහින්න 14 (කමිල් මිශාර 70/3, කවිඳු පතිරත්න 83/3, ගිශාන් කුලසූරිය 66/2) සහ දෙවැනි ඉනිම ඕවර 20කදී කඩුලු 2ට ලකුණු 124යි. සිතා හපුහින්න 34, ශලීන් ද මෙල් නොදැවී 67, රවිඳු ද සිල්වා නොදැවී 13

චමිල කරවිට

 


නව අදහස දක්වන්න