මහනුවර ධර්මරාජ-කිංග්ස්වුඩ් මහා ක්‍රිකට් ගැටුම 15-16 පල්ලෙකැලේදී | දිනමිණ

මහනුවර ධර්මරාජ-කිංග්ස්වුඩ් මහා ක්‍රිකට් ගැටුම 15-16 පල්ලෙකැලේදී

මහනුවර ධර්මරාජ-මහනුවර කිංග්ස්වුඩ් විදුහල් අතර 113 වන මහා ක්‍රිකට් තරගය (ද බැට්ල් ඔෆ් ද මැරූන්ස්) ටි. බි. තෙන්නකෝන් අනුස්මරණ කුසලාන සඳහා මේ මස 15-16 දෙදින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙතෙක් පැවැති තරග අතුරින් 33ක් ධර්මරාජ විදුහල දිනාගෙන ඇති අතර කිංග්ස්වුඩ් විදුහල තරග 19ක් ජයගෙන ඇත. සෙසු තරග 60 ජය පරාජයකින් තොරව නිමා වී තිබේ.

කිංග්ස්වුඩ් විදුහල මෙවර මෙහෙයවන්නේ තුන් ඉරියව් ක්‍රීඩක දීඝායු බණ්ඩාර විසිනි. උපනායක ලෙස හසික ගමගේ කටයුතු කරයි.

උත්පල ජයලත්, දුමින්ද දනුෂ්ක, අචල බෝගොඩවත්ත, හර්ෂන වික්‍රමසිංහ තුන් ඉරියව් ක්‍රීඩකයන් වන අතර දේවින්ද දිසානායක සහ ලක්මාල් සිල්වා කැපී පෙනෙන පන්දු යවන්නෝ වෙති. මිහිදුල එදිරිවීර කෙවීන් ඇන්තනී. විනුක පුස්සපිටිය, මහසෙන් රණසිංහ, නවෝද වීරසිංහ සහ දුමින්ද බණ්ඩාර, අනුල් සෙනෙවිරත්, ධනුක සලුවඩන, කේසර පනාවල, විනුක පුස්සපිටිය, මහේෂන් බණ්ඩාර, අසංක බණ්ඩාර රත්නායක හර්ෂණ වික්‍රමසිංහ, අදීප රත්නායක ශරිත් විජේසුන්දර, මිහිල හෙට්ටිආරච්චි, මිහිදුල එදිරිවීර, දේවින්ද ඒකනායක, මයුරංග රාජපක්ෂ, නවෝද්‍ය වීරසේකර සෙසු ක්‍රීඩකයෝ වෙති. මැල්කම් පෙරේරා මහතා පුහුණු අධ්‍යක්ෂක ලෙසත්, ප්‍රසාද් රණවක මහතා පුහුණුකරු ලෙසත් කටයුතු කරති.

සචින්ත සේනානායක ධර්මරාජ පිල මෙහෙයවන අතර ඔහු මෙවර තරග වරායේ ලකුණු 400 ඉක්මවා ඇත. කසුන් ගුණවර්ධන උපනායකයායි. ඔහු මෙවර ලකුණු 450 ඉක්මවා ලබා ඇත. දුලාජි බණ්ඩාර, චේතිය ඒකනායක, ඉසුරු දයානන්ද, නවින්ද දිල්ෂාන්, ලසිත සමරරත්න. විරජිත් ඇහැලේපොල, මිතිල ගයාෂාන්, සහන් සිරිවර්ධන උපේන්ද්‍ර වර්ණකුලසූරිය, කුෂාන් හේරත්, දිනුක මාරසිංහ (කඩුලු රකින්නා), මුදිත ඊරියගම, චේතිය වීරකෝන්, දිනුක පතිරාජ, ජනිත් ගුණතුංග, ධනුක රත්නායක, පූර්ණ හේරත් කණ්ඩායමේ සෙසු සමාජිකයෝ වෙති. යු. එස්. ඊ. පෙරේරා මහතා පුහුණුකරු ලෙස කටයුතු කරන අතර චතුර වික්‍රමනායක මහතා සහාය පුහුණුකරු ලෙසත්, සාලිය සමරවික්‍රම මහතා ක්‍රීඩා පරිපාලක කණ්ඩායම් ආචාර්යවරයා ලෙසත් කටයුතු කරති.

මේ මහා ක්‍රිකට් තරගයේ 1984 වසරේදී ධර්මරාජ විදුහලේ සේනක දිසානායක විසින් ද්විත්ව ශතකයක් වාර්තා කර ඇත. කිංග්වුඩ් විදුහල විසින් ක්ලිෆඩ් රත්න විභූෂණ විසින් 1957 දී පැවති මහා ක්‍රිකට් තරගයේදී ලකුණු 167 ක් වාර්තා කර ඇත. මේ මහා ක්‍රිකට් තරගයේදී එක් ඉනිමකදී වැඩිම කඩුලු ලබා ගෙන ඇත්තේ 1966 වර්ෂයේදී කිංග්ස්වුඩ් පිලේ සේන අබේගුණවර්ධන විසිනි ඔහු විසින් පළවෙනි ඉනිමේදී ලකුණු 38කට කඩුලු 8ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 68කට කඩුලු 3ක් ලබා ගෙන ඇත. ධර්මරාජ විදුහල වෙනුවෙන් වැඩිම කඩුලු ගණන වාර්තා කර ඇත්තේ 1961 වර්ෂයේදී එස්. රාජකරුණා විසිනි ඔහු එම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 20කට කඩුලු 7ක් දවා ගෙන ඇති අතර දෙවැනි ඉනිමේදී 34කට කඩුලු 6ක් ලබා ගෙන ඇත. 1965 වෙනි වර්ෂයේදී ධර්මරාජ ක්‍රිකට් පිල මෙහෙය වීමේ අවස්ථාව මේ ලියුම්කරුට හිමිවිය. මෙම තරගයේ දී කිංග්ස්වුඩ් පිල මෙහෙයවන ලද්දේ ද එස්. ජයසුන්දර විසිනි. එම තරගයෙන් ඉනිමක ජයක් වාර්තා කිරීමට ධර්මරාජයට හැකි විය.

මහනුවර ක්‍රීඩා උපනන්ද ජයසුන්දර
ඡායාරූප - මහනුවර ක්‍රීඩා විශේෂ 

නව අදහස දක්වන්න