දේශපාලකයන් ගමට යෑම...! | දිනමිණ

දේශපාලකයන් ගමට යෑම...!

දේශපාලකයන්, සමාජ විද්‍යාඥයන් හා තවත් අයවලුන් ගමට යා යුතු බව ද, ගමේ ගැටලු හඳුනාගත යුතු බව ද කියා සිටින්නේ කාලයක සිට ය. එහෙත් සිදුවෙමින් පැවැතියේ සියලු දෙනකු ම නගරයට කේන්ද්‍රගත වීම ය. මේ නිසා ම නාගරීකරණය ලොව පුරා මහත් ගැටලුවක් බවට පත් වී ඇත. අද අප සංවාදයට ලක් කරනුයේ නාගරීකරණය ගැන නොවේ. අපගේ අවධානය යොමු වනුයේ; දේශපාලකයන් හා උගතුන් ගමට යෑමට පටන්ගැනීම ගැන ය. අද වනවිට දේශපාලන පක්ෂ ගමට යෑමට පටන්ගෙන තිබේ. උගතුන් ගම ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. මෙය සාධනීය ප්‍රවණතාවකි. එයින් ශ්‍රී ලංකාවේ සංවර්ධන මාවතේ තවත් සන්ධිස්ථානයක් ඇති වන බව පෙනෙයි.

ගම පිළිබඳ අපේ කතිකාව ආරම්භ වන්නේ 1960 ගණන්වල සිට ය. එම කාලය වනවිට ලෝක සමාජ සංවර්ධන ආයතනවල උපදේශනය වූයේ ගමේ තරුණ පිරිස සංවිධානගත කරනු යන්න ය. මේ අනුව නායකත්ව පුහුණු වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වී ඇත. එහි අදහස වූයේ ගමේ ගැටලු හඳුනාගත් තරුණ කණ්ඩායම් ඔස්සේ ගම සංවර්ධනය කිරීම ය. ශ්‍රී ලංකාව ගම්මාන තිස් දහසකින් පමණ සමන්විත වන බැවින් ඒ සෑම ගමක ම නායකයන් බිහිකොට රට සංවර්ධනය කිරීම ඉලක්කය විය. එහෙත් තවත් දසක දෙකක දී පමණ උක්ත වැඩසටහන් අසාර්ථක විය. එහි ප්‍රතිඵලය වූයේ ගම තවදුරටත් හුදෙකලා වීම ය.

අද වනවිට ගම්මාන තුළ ඇති ගැටලු උත්සන්න වී ඇත. ඇතැම් ගම්වලට පාරවල් නැත. තව ගම්වලට පිරිසුදු පානීය ජලය නැත. තවත් ගම්වලට කෘෂිකර්මයට අදාළ ගැටලු තිබේ. ග්‍රාමීය තරුණ පරපුරේ රැකියා ගැටලුව, අධ්‍යාපනික ගැටලු වෙන ම පවතී. ගම හා නගරය ගතහොත් පහසුකම් අතින් විශාල පරතරයක් තිබේ. නගරයේ වෙළෙඳ පොළ, පොදු පහසුකම් හා අධ්‍යාපනික පහසුකම් නගරය ඔසොවා තබා ඇති අතර පහසුකම්වලින් හීන ගම තව තවත් දුෂ්කර විය. පුදුමයකට මෙන්; දේශපාලකයන් මැතිවරණ කාලයට ගම ගැන කියන අපේක්ෂා සහගත කියමන් වැඩි දවසක් යන්නට පෙර කාටත් අමතක වෙයි.

1971 තරුණ කැරැල්ලට ද, 1988 – 1991 තරුණ කැරැල්ලට ද බහුල ලෙසින් සහභාගි වූවෝ ගැමි තරුණයෝ වූහ. ඔවුන්ගේ එක් තර්කයක් වූයේ ගමේ ගැටලු විසැඳීමට නම්; සාම්ප්‍රදායික දේශපාලන රාමුව වෙනස් කළයුතු බව ය. කැරැල්ලට සහභාගී වූ තරුණ කැරැලිකරුවන් පිළිබඳ විමර්ශනය කළ තරුණ කොමිසමේ සාක්ෂිවලින් මේ තත්ත්වය හොඳ හැටි පැහැදිලි කරගත හැකි ය. “කොළඹට කිරි - අපට කැකිරි” එදා පැවැති සටන් පාඨයකි. එම සටන් පාඨයෙන් ගම හා නගරය අතර පැවැති අධ්‍යාපනයේ වෙනස පැහැදිලි වෙයි. නගරයට ඇති අධ්‍යාපන පහසුකම් ගමට ද ලබාදිය යුතු බව කැරැලිකරුවන්ගේ ඉල්ලීම විය.

ආයුධ සන්නද්ධ දේශපාලන විප්ලවයක් නැවත සිදුවේ යැයි විශ්වාස කළ නො හැකි ය. ඊට අවශ්‍ය පසුබිමක් ද අද නැත. එහෙත් දේශපාලන මතවාදවල ද, දේශපාලන ක්‍රියාකාරකම්වල ද වෙනසක් නූතන තරුණයා අපේක්ෂා කරයි. එම වෙනසේ පළමු පියවර චින්තන විප්ලවයක් යැයි කිව හැකි ය. ගම දෙස ආපසු හැරී බැලීම හා ගමේ ගැටලු හඳුනාගැනීමට ප්‍රයත්න දැරීම ඉහත සඳහන් චින්තන විප්ලවයේ බලපෑම නිසා ඇතිවූ දෙයක් බව පැහැදිලි ය. මෙතෙක් සිදුවූයේ දේශපාලකයා සොයමින් තරුණයා ගමේ සිට නගරයට පැමිණීම ය. දැන් ඒ වෙනුවට දේශපාලකයා ගමට ගොස් එහි ප්‍රජාව සමඟ සාකච්ඡා කරන්නට පටන්ගෙන තිබේ. මේ වෙනස කොයි අතින් බැලුවද වැදගත් ය.

ශ්‍රී ලංකාවේ පළමුවරට ග්‍රාමීය සංවර්ධනයට අදාළ ආයතනයක් පිහිටුවන්නේ 1948 දී ය. එදා එහි කාර්ය මණ්ඩලය දහයකටත් අඩුවිය. ඉනික්බිති ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ ආයතන ගණනාවක් ස්ථාවර වී ඇත. ඒ හැරෙන්නට ගමේ සංවර්ධනයට අදාළ තවත් ආයතන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ බිහි වී ඇත. මේවා යම් අයුරකින් ගමට සේවය කරනවා විය හැකිය. එහෙත් අපේ ග්‍රාමීය අංශය තව ම පසුගාමීය. දිළිඳුකම එහි ප්‍රධාන ගැටලුව වෙයි. අතීත රජ දවස ගම යනු ස්වයංපෝෂිත ජනාවාසයකි. අද ඇතැම් ගම්මාන තුළ ස්වයංපෝෂිතභාවය ද නැත. ගමට අවශ්‍ය දේවල් එනම්; ආහාර ද්‍රව්‍ය පවා නගරයෙන් ගෙන යා යුතු ය. කෘෂිකර්මය අතහැරීම ඊට ප්‍රධාන හේතුවකි. අතීතයේ සෑම ගම්මානයකට ම පාහේ කුඹුරු යායක් තිබිණි. අද එය නැත. ඇතැම් කුඹුරු ගොඩකර ඇත. තව කුඹුරු පුරන් වී ඇත.

ගමේ ප්‍රශ්න හඳුනාගැනීම සඳහා ද ඒවාට ක්ෂණික විසැඳුම් ලබාදීම සඳහා ද වැඩසටහනක් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා හඳුන්වා දුන්නේ ය. එය නම් කර තිබුණේ ජනාධිපති ජංගම සේවය නමින් ය. මේ වැඩසටහන කෙරෙහි බලවත් මහජන විශ්වාසයක් පැවැතිණි. ප්‍රේමදාස මහතා එය අඛණ්ඩව පවත්වාගෙන ගියේ ය. එය බෙහෙවින් ප්‍රතිඵල සහිත වැඩසටහනකි. වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ තවත් ග්‍රාමීය වැඩසටහනක් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළේය. එය හඳුන්වා තිබුණේ වැව් දහසක් සංවර්ධනය කිරීම ලෙස ය. වැව් දහසක් සංවර්ධනය කිරීම යනු ගම් දහසක් සංවර්ධනය කිරීමකි. මේවා නැවත පණගන්වා ක්‍රියාත්මක කිරීම ඉතා වටී.

වර්තමාන ආණ්ඩුව ද යළිත් ගමට යන්නට පටන්ගෙන තිබේ. අගමැතිවරයා උතුරේ ගම්මාන රැසක සංචාරය කරමින් එහි ජනතාවට ඇහුම්කන් දුන්නේ ය. දකුණේ දේශපාලන නායකයන් උතුරට යෑම කොයි අතින් බැලුව ද ඉතා වැදගත් ය. අගමැතිවරයා ඊයේ දවස තුළ තවත් පළාත් කිහිපයක ගම්මාන රැසක සංචාරය කළේ ය. එම සංචාරවල අදහස වන්නේ ගමේ ගැටලු හඳුනාගැනීම හා ගැමි ප්‍රජාව සමඟ ඊට විසැඳුම් ගැන කථිකා කිරීම ය.

ආණ්ඩුවට ගම ගැන හැඟීමක් ඇති බව පෙනී යයි. ගම් පෙරළිය, ගම් උදාව, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ග්‍රාම ශක්ති යන සංවර්ධන වැඩසටහන්වලින් ද ඒ බව පෙනී යයි. ගම්උදාව නිවාස සංවර්ධන වැඩසටහන ඔස්සේ සතියකට නිවාස ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කෙරේ. එය වේගවත් සංවර්ධන වැඩසටහනකි. ගම්පෙරළිය හා ග්‍රාම ශක්ති වැඩසටහන් ගමට අවශ්‍ය පොදු පහසුකම් ලබාදෙයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ව්‍යවසායකයන් ඇති කරයි. මේ ක්‍රියාවලිය ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් ලෙස ඉදිරියට යයි. මේ අතර සාම්ප්‍රදායික වැවිලි කර්මාන්තය දියුණු කිරීමට අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇත.

මහත්මා ගාන්ධිතුමා ඉන්දියාවේ රෙදි කර්මාන්තය දියුණු කිරීම සඳහා රට පුරා ඇවිද්දේ ය. අසල්වැසි රටවලටත් ඒ සඳහා ගියේ ය. අපේ නායකයන් ගාන්ධිතුමාගෙන් ඉගෙනීම වඩා වැදගත් ය.

 


නව අදහස දක්වන්න