වෙළෙඳ සේවා ‘ඊ’ කාණ්ඩයේ තරගාවලිය ඇරැඹේ | දිනමිණ

වෙළෙඳ සේවා ‘ඊ’ කාණ්ඩයේ තරගාවලිය ඇරැඹේ

ගීෂා මුණසිංහ
ඩේවිඩ් පීරීස් මෝටර් රථ පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂිකා රෝමානි පරාක්‍රම මහත්මිය වෙ‍ළෙඳ සේවා ක්‍රීකට් සංගමයේ සභාපති රොහාන් ඉද්දමල්ගොඩ මහතා වෙත අනුග්‍රාහකත්වය පිරිනමමින්.

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය වාර්ෂිකව සංවිධාන කරන වෙළෙඳ සේවා ක්‍රිකට් තරග මාලවේ පස්වැනි තරගාවලිය වෙළෙඳ සේවා ‘ඊ’ කාණ්ඩයේ ඕවර 25 කින් සමන්විත ලීග් ක්‍රීකට් තරගාවලිය සඳහා 17වැනි වරටත් “ඩී.පී.ජී.සී.” කුසලානය වෙනුවෙන් ඩේවිඩ් පිරීස් සමුහ ව්‍යාපාරය අනුග්‍රහකත්වය ලැබී ඇත. මේ තරගාවලියට කාණ්ඩ හතරක් යටතේ කණ්ඩායම් 24ක් තරගාවලියට එක්වීමට නියමිතය.

ලීග් කාණ්ඩයේ තරගාවලිය මේ වන විට ආරම්භ වි ඇති අතර තරගාවලිය මාර්තු 15වැනිදා දක්වා පැවැත්වෙයි. අවසන් පූර්ව තරග අප්‍රේල් 26 වැනිදා ආරම්භ විමට නියමිතය. අර්ධ අවසන් තරග අප්‍රේල් 20 වැනිදා ආරම්භ වන අතර අවසන් තරගය අප්‍රේල් 27 වැනිදා වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය, තර්ස්ටන් විද්‍යාලය ක්‍රීඩාංගණය, මරදාන සාන්ත ජෝශප් ක්‍රීඩාංගණය, වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණය, රත්මලානේ එන්.එස්.සී.ඒ.ක්‍රීඩාංගණය, සාන්ත සෙබස්තියන් ක්‍රීඩාංගණය හා මත්තේගොඩ යුද්ධ හමුදා ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොට ගෙන තරග පැවැත්වීමට නියමිතය.

පළමු වරට සමස්ත තරගාවලියම අධීක්ෂණය වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් නම් කරන ලද තරග තීරකයකු වෙත පවරා ඇති අතර අවසන් තීරණය ඔහු සතුය. සමස්ත තරගාවලියම ‘ඩක්වර්ත් ඇන්ඩ් ලුවිස්’ න්‍යාය මත පැවැත්වෙයි.

ජයග්‍රාහයන් උදෙසා 17වැනි වරටත් ඩේවිඩ් පිරීස් සමුහ ව්‍යාපාරය ප්‍රදානය කරන “ඩී.පී.ජී.සී.” කුසලානය හිමිවන අතර දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නා, තරගාවලියේ වීරයා හා අවසන් තරගයේ තුන් ඉරියව් ක්‍රීඩකයාට ක්‍රීඩකයන් සඳහා සම්මාන පිරිනැමීමට නියමිතය.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් හා අනුග්‍රාහකත්ව පිරිනැමීම පසුගියදා වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ පැවැති අතර වෙ‍ළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රොහාන් ඉද්දමල්ගොඩ, උප සභාපති හා තරගාවලි අනුග්‍රහක කමිටුවේ සභාපති රෝහන දිසානායක, එම සංගමයේ උප සභාපති නලීන් වික්‍රමසිංහ මහත්වරුන් සමග ඩේවිඩ් පිරීස් මෝටර් රථ පුද්ගලික ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා රෝමණි පරාක්‍රම, ඇසට්ලයින් ලිසිං කම්පැනි ලිමිටඩ් සාමාන්‍යධිකාරී අජන්ත ප්‍රේමසිරි, ඩේවිඩ් පීරීස් මෝටර් රථ පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නාලක මඩුගල්ලේ, සාමාන්‍යධිකාරී මහේෂ් ද සිල්වා අංශ භාර කළමණාකරු ලක්මාල් ද සිල්වා මහත්ම මහත්මීහු ඊට එක්ව සිටියහ.


නව අදහස දක්වන්න