ශ්‍රී ලංකාව හෙට තීරණාත්මක තරගයක | දිනමිණ

ශ්‍රී ලංකාව හෙට තීරණාත්මක තරගයක

තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තව දුරටත් ජයග්‍රහණයේ බලාපොරොත්තු රදවා ගැනීමේ අභියෝගය මැද සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (10) තරග බිමට පිවිසෙයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවර කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේදී දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙය ශ්‍රී ලංකා වේලාවනේ පස්වරු 1.30ට ආරම්භ වෙයි.

මේ ක්‍රීඩාංගණය දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් ජයක් ලබාගත් තරගාවලියේ පළමු තරගය පැවැති ක්‍රීඩාංගණයයි.

ශ්‍රී ලංකාව මේ පිටියේදී තවමත් ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 3ක් පමණි. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 2ක් සහ පාකිස්තානය සමග තරගයකි. ඉන් තරග 2ක් පරාජයට පත්ව ඇති අතර දකුණු අප්‍රිකාව සමග තරගයක් ලකුණු සමවීමෙන් අවසන්ව තිබේ. තරග 37ක් ක්‍රීඩාකර ඇති සත්කාරකයෝ ඉන් තරග 21ක් ජයගෙන ඇති අතර තරග 11ක් පරාජයට පත්ව තිබේ.

තරග 5කින් සමන්විත තරගාවලිය මේ වනවිටත් පෙරමුණ ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානුවන් සමත්ව ඇත්තේ 2-0ක් ලෙසිනි. දෙපිල අතර පළමු තරගය කඩුලු 8කින් ජයගත් ඔවුන් දෙවැනි තරගයේ ජය හිමිකර ගත්තේ ලකුණු 113කිනි. එබැවින් අද තරගයේ ජය දකුණු අප්‍රිකාව සතුවුවහොත් ඔවුන්ට තරග 2ක් ඉතිරිව තිබියදී වේලාසනින්ම තරගාවලිය ජය ගැනීමේ අවස්ථාව හිමිවෙයි.

ශ්‍රී ලංකාව මේ තරගාවලිය තුළ තවදුරටත් රැදී සිටීමට මේ තරගාවලිය ජයගත යුතුම වන අතර එම ජය මත පිට පිට ද්විපාර්ශ්වික එක්දින තරගාවලි පරාජයන්ගේ රැල්ලට තිත තැබීමේ බලාපොරොත්තු ඇතිකරගත හැකිය. එක්දින ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට හිමිව අවසන් අවස්ථාවද මෙයයි. ශ්‍රී ලංකාව අවසන් වරට ද්විපාර්ශ්වික එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගෙන ඇත්තේ 2016 වසරේ අයර්ලන්තයට එරෙහිවය. ඉන් පසු සහභාගිවූ තරගාවලි එකොළහෙන් 10ක්ම පරාජයට පත්ව ඇති අතර 2017 වසරේ බංග්ලාදේශ පිලේ මෙරට සංචාරයේදී එක්දින තරගාවලිය (3) 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ.

ටෙස්ට් තරගාවලිය ජය ගනිමින් ජයග්‍රාහී මානසිකත්වයකින් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලට පළමු තරගයේදී දස්කම් අතරට පිවිසීමට නොහැකි විය. එහිදී පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද අසාර්ථක වූ අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැති දෙවැනි තරගයේදී පන්දු යවන්නන් සුපුරුදු රිද්මයට අවතීර්ණ වීම ධනාත්මක කරුණකි. එහෙත් පිතිකරුවන් තම යුතුකම් ඉටු නොකිරීමෙන් එම තරගයෙන්ද පරාජය විද ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

මුල්පෙළ පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක් නොලැබීම මේ තරග දෙකෙම පරාජයට හේතුවිය.

එබැවින් හෙට තරගයේදී මුල් පෙළ පිතිකරුවන්ට වැඩි කාර්යයක් පැවරෙනු ඇත. කුසල් මෙන්ඩිස් සහ ඕෂද ප්‍රනාන්දු මේ තරග දෙකේදීම ඉනිම් ගොඩනැගීමට උත්සහ කළත් ඔවුන්ට වැඩි යමක් කිරීමට නොහැකි විය. පිතිකරුවන් තම වගකීම් ඉටු නොකරන තෙක් ජයග්‍රහණය සිහිනයක් වනු ඇත.

නායක ලසිත් මාලිංග ද පවසන්නේ පිතිකරුවන් තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන නොගැනීම පරාජයන්ට හේතුවී ඇති බවයි.


නව අදහස දක්වන්න