නිල් මහ සටනේ පාලනය තෝමසුවන් අතට | දිනමිණ

නිල් මහ සටනේ පාලනය තෝමසුවන් අතට

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 140 වැනි නිල් මහ සටන මහ සටන වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 158 ක වාසියක් ලද ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩකයයෝ දෙවැනි දිනය වූ ඊයේ (08 දා) දිනට තරගය නවතා දමන විට රාජකීය විදුහල් දෙවැනි ඉනිමේ කඩුලු 4 ක් ලකුණු 148 කදී දවා ගනිමින් තරගයේ සමස්ථ පාලනය තමන් සතු කර ගැනීමට සමත්වූහ.

රාජකීය විදුහල් පිල පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 158 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත තෝමස් පිතිකරුවෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 296 ක දැවැන්ත ඉනිමක් ගොඩනැංවූහ. ලකුණු 138 ක් පිටුපසින් සිට සිය ඉනිම ඇරඹූ රාජකීය පිතිකරුවෝ පළමු ඉනිමේ මෙන් නොව ආරක්ෂිතව පන්දුවට පහර දෙනු දැක ගත හැකි විය. ඒ අනුව යමින් ඉනිමක පරාජයෙන් බේරීමේ සටනින් ගැලවුණු රාජකීය පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී තෝමසුවන්ට වඩා ලකුණු 10 ක් ඉදිරියෙන් සිටින්නේ තවත කඩුලු 6 ක් අත තබාගෙනය.

ඉනිමක පරාජයෙන් ගැලවුණිද තරගයේ අපරාජිතව සිටීමට නම් තරගයේ තෙවැනි සහ අවසන් දිනය වන අද (09 දා) අද දිනයේද වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට හෝ වැඩි වේලාවක් පන්දුවට පහර දිය යුතු වන අභියෝගයෙන් ඔවුන් මිදී නොමැත. කෙසේ වෙතත් දිනය අහවර වන විට කවිඳු පතිරත්න ලකුණු 20 ක් සහ භාග්‍ය දිසානායක ලකුණු 16 ක් ලබා තෙවැනි දිනය ආරම්භයේදී පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරගෙන සිටිති. රාජකීය දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 4 න් 2 කම හිමිකරුවා බවට වේග පන්දු යවන කලන පෙරේරා සමත්වද්දී ෂැනොන් ප්‍රනාන්දු සහ ශිල්න ද මෙල් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ෂැනොන් ප්‍රනාන්දුගේ පන්දුවකට රාජකීය පිලේ නායක කවිඳු මදාරසිංහ විසින් ලබා දුන් උඩ පන්දුව ස්ලිප් ස්ථානයේ සිට රැක ගත් ශලින් ද මෙල් වසර 140 ක රාජකීය - ශාන්ත තෝමස් මහ තරග ඉතිහාසයේ තරගයක වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැකගත් ක්‍රීඩකයා වාර්තාවට හිමිකම් කීම ඊයේ දිනයේදී සිදුවූ කැපී පෙනෙන සිදුවීම බවට පත්විය. එම උඩ පන්දුව ශලින් ද මෙල් මෙම තරගයේදී රැක ගනු ලැබූ හත්වැනි උඩ පන්දුව ලෙසින් සටහන් විය. මීට පෙර නිල් මහ සටනකදී වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැක ගැනීමේ වාර්තාව බවට පත්ව තිබුණේ 1920 වසරේදී රැකගෙන තිබූ උඩ පන්දු 6 ය.

කඩුලු 6 කට ලකුණු 158 ක් ලෙසින් දෙවැනි දිනය ඇරඹූ සාන්ත තෝමස් ඉනිමේ කඩුලු 2 ක් ලකුණු 11 ක් ඇතුළත බිඳ වැටුණද සටන අත් නොහළ කලන පෙරේරා සහ උමයංග සුවාරිස් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් පවත්වමින් සාන්ත තෝමස් ලකුණු පුවරුව ඉහළ දැමීය. පළමු දිනයේදී පන්දුවෙන් දස්කම් දැක්වූ කලන දෙවැනි දිනයේදී පිතිකරුවකුගේ වගකීම මනාව ඉටු කරමින් ලකුණු 62 ක් රැස් කළේය. හතරේ පහර 9 කින් අලංකාර වුණු කලන තම ඉනිම සඳහා පන්දු 109 කට මුහුණ දී තිබුණි.

කලන දැවී යන විට අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙමින් සිටි උමයංග සුවාරිස් ලකුණු 32 ක් ලබා සිටි අතර අවසන් පිතිකරු සමඟ පන්දුවට පහර දීමේදී අර්ධ ශතකය වාර්තා කිරීම තරමක අවධානම් සහගත විය. එහෙත් අංක 11 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ෂෙනොන් ප්‍රනාන්දු අවශ්‍යම මොහොතේ සහාය ලබාදීම නිසා අංක 09 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණෙමින් නිල් මහ සටනක අර්ධ ශතකයක් ලබා ගැනීමට තරම් උමයංග සුවාරිස් වාසනාවන්ත වූවේය.

එපමණක් නොව දිවා ආහාරය සඳහා තරගය නවතාලීමට නියමිතව තිබූ වේලාවට වඩා මිනිත්තු 30 ක කාලයක් මෙම සම්බන්ධතාවය හේතුවෙන් තරගය පැවැත්වීමට විනිසුරුවන් සිදුවූ නමුත් එම කාල සීමාවේදී හෝ උමයංග - ෂැනොන් සම්බන්ධතාව බිඳ හෙළීමට රාජකීය පන්දු යවන්නෝ අසමත්වූහ. පන්දු 75 ක් පුරා විහිදුණු අවසන් කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 36 ක් ලෙසින් සටහන් විය.

රාජකීය විදුහල වෙනුවෙන් පන්දු යැවීමේදී කමිල් මිශාර සහ කවිඳු පතිරත්න කඩුලු 3 බැගින් බිඳ හෙලූ අතර ගිශාන් කුලසූරිය කඩුලු 2 ක් බිඳ හෙළීය. අද (09 දා) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.

රාජකීය විදුහල පළමු ඉනිම ඕවර 48.3 කදී සියලුදෙනා දැවී ලකුණු 158යි - (කමිල් මිශාර 36, කවිඳු පතිරත්න 35, කෞෂාන් කුලසූරිය 28, අහන් වික්‍රමසිංහ 15, භාග්‍ය දිසානායක 12, කලන පෙරේරා 54/6, ෂෙනන් ප්‍රනාන්දු 27/4) සහ දෙවැනි ඉනිම ඕවර 51 කදී කඩුලු 4 ට ලකුණු 148යි - (කමිල් මිශාර 34, අහන් වික්‍රමසිංහ 26, කවිඳු මදාරසිංහ 25, ඉසිවර දිසානායක 20, කවිඳු පතිරත්න (නොදැවී) 20, භාග්‍ය දිසානායක (නොදැවී 16), කලන පෙරේරා 62/2, ෂැනොන් ප්‍රනාන්දු 11/1, ශලින් ද මෙල් 08/1)

සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 78.5 කදී සියලු දෙනා දැවී ලකුණු 296යි - (කලන පෙරේරා 62, උමයංග සුවාරිස් 62, රයන් ප්‍රනාන්දු 60, යොහාන් පෙරේරා 49, ශලින් ද මෙල් 21, සිතාර හපුහින්න 14, කමිල් මිශාර 70/3, කවිඳු පතිරත්න 83/3, ගිශාන් කුලසූරිය 66/2)

චමිල කරවිට
ඡායාරූපය - තිලක් පෙරේරා


නව අදහස දක්වන්න