යෝජනා හා විවේචන! | දිනමිණ

යෝජනා හා විවේචන!

මෙවර අය වැය ලේඛනය දෙස බැලිය යුත්තේ දේශපාලන විවේචන හා විග්‍රහ අතහැර මධ්‍යස්ථ දෘෂ්ටියකින් ය. දේශපාලන වාසි ලබාගැනීම සඳහා අය වැය යෝජනා දිගට හා හරහට විවේචනය කරන අය සිටිති. ඒ සියල්ල පසෙකින් තැබුවහොත්; මෙවර අය වැය යෝජනාවල මූලික ආධ්‍යාසය රටේ සංවර්ධනය හා දිළිඳුකම පිටුදැකීම බව පැහැදිලි ය. එහි දෙවන ආධ්‍යාසය රටේ ආර්ථික ගනුදෙනු පුළුල් කිරීම හා නූතන ලෝකයට ගැළපෙන ලෙස අධ්‍යාපනය යාවත්කාලීන කිරීම යැයි කිව හැකි ය. රටේ පොදු පහසුකම් වැඩිදියුණු කරමින් දකුණු ආසියාවේ දියුණු රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම ද අය වැය යෝජනාවල වැදගත් අරමුණකි.

ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි දීමනා ලබාදීමට රජය තීරණය කර තිබේ. දිළිඳුකම පිටුදැකීමේ විද්‍යාත්මක ක්‍රමවේදය වන්නේ ආධාර හා සහන ලබාදීම නොවේ. ආධාර හා සහන වෙනුවට දිළිඳු ප්‍රජාවට ආදායම් මාර්ග තනාදිය යුතුය. එහෙත් ආධාර හා සහන නැතිව ජීවිතය ගොඩනගා ගත නොහැකි පුද්ගලයෝ සිටිති. එබඳු අයට ආධාර හා සහන ලබා නොදීමෙන් ඔවුන් සමාජ - විසමාචාර ක්‍රියාවලට යොමු විය හැකි ය. සමාජයට කරදරකාරයන් විය හැකි ය. රජයක අවධානය ඒ කෙරෙහි යොමුවිය යුතුව තිබේ. ඒ අනුව විමසන විට ලක්ෂ හයකට අලුතින් සමෘද්ධිය ලබාදීම සමාජ සංවර්ධනයට අදාළ සාධකයක් සේ සැලැකිය හැකි ය.

රාජ්‍ය සේවකයා ශ්‍රී ලංකාව වැනි රටවල දී නිරන්තරයෙන් ම විවේචනයට ලක්වෙයි. රාජ්‍ය සේවය අකාර්යක්ෂම බව ද නොයෙක් අවස්ථාවලදී කියැවෙයි. එහෙත් රාජ්‍ය සේවකයා එබඳු තත්ත්වයකින් මුදාගෙන රටේ සංවර්ධනයේ වැදගත් කොටස්කාරයන් බවට පත් කිරීමට දරන ප්‍රයත්න අඩු ය. මැලේසියාවේ රාජ්‍ය සේවය ලෝකයේ හොඳම රාජ්‍ය සේවාවක් බවට පත් කළේ මහතීර් මොහොමඩ් මහතා ය. ඔහු රාජ්‍ය සේවයේ අඩුපාඩු සොයා බලා ඒවාට පිළියම් යෙදී ය. අපේ රාජ්‍ය සේවයේ ප්‍රධාන අඩුව වැටුප් හා දීමනා ප්‍රමාණවත් නොවීම යැයි කියති. මේ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සඳහා තවත් රුපියල් දෙදහස් පන්සියයක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

රාජ්‍ය සේවය තවදුරටත් පුළුල් කිරීම ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ අනුමත කරන සාධකයක් නොවේ. මූල්‍ය අරමුදලේ උපදේශනය වන්නේ අපේ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය විය යුතු බව ය. රාජ්‍ය සේවය කප්පාදු කිරීම ද ඊට ඇතුළත් ය. එහෙත් ශ්‍රී ලංකාවේ වත්මන් රජය මූල්‍ය අරමුදලේ උපදේශන ගෙඩිය පිටින් ම පිළිගන්නේ නැත. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම අතින් වත්මන් ආණ්ඩුව ඓතිහාසික කාර්යභාරයක් සිදුකර තිබේ. විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කිරීමට මෙන් ම ආරක්ෂක අංශවල දීමනා ඉහළ දැමීමට ද පියවර ගෙන තිබේ. මෙවර අය වැය පොදුවේ සියලු සමාජ කණ්ඩායම් කෙරෙහි අවධානය යොමු කර ඇත.

අධ්‍යාපනය රටක සංවර්ධනයට සම්බන්ධ විශේෂ ක්ෂේත්‍රයකි. එය සැලකෙන්නේ අනාගත ආයෝජනයක් හැටියට ය. මෙවර අය වැයෙන් අධ්‍යාපනයට අදාළ වැදගත් යෝජනා ගණනාවක් ඉදිරිපත් කර ඇත. ඒ අතර කැපීපෙනෙන වැඩසටහන් දෙකක් පවතී. පළමුවන්න දක්ෂ දරුවන්ට විදේශීය අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ය. දෙවන්න ප්‍රාථමික පාසල්වල දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීමට යෝජනා කිරීම ය. උපාධි හෝ පශ්චාද් උපාධිය හෝ වි‍දේශීය විශ්වවිද්‍යාලයකින් ලබාගැනීමට හැකිවන්නේ ධනවත් ම පවුල්වල අයට පමණි. එහෙත් මේ ශිෂ්‍යත්ව ක්‍රමය නිසා දුප්පත් පවුල්වල දරුවන්ට ද අමෙරිකාවේ හෝ එංගලන්තයේ ඉගෙනීමට අවස්ථාව ලැබෙනු ඇත.

දරුවකුට කිරි වීදුරුවක් ලබාදීම සරල කාරණයක් සේ කෙනකු විග්‍රහ කරන්නට පුළුවන. එහෙත් අධ්‍යාපනය හා පෝෂණය අතර ඇති සම්බන්ධය දෙස බලනවිට එය සරල කාරණයක් නොවන බව පෙනී යයි. අපේ ග්‍රාමීය අංශයේද, වතු අංශයේ ද දරුවන්ගෙන් සැලැකිය යුතු පිරිසක් මන්ද‍පෝෂණයෙන් පෙළෙති. එය සාර්ථක අධ්‍යාපනයකට ඇති බාධාවකි. කිරි වීදුරුවකින් සියල්ල සම්පූර්ණ වන්නේ නැත. එහෙත් එය හොඳ ආරම්භයක් වීමට පුළුවන. කිරි වීදුරුව නිසා දරුවා දිනපතාම පාසල් ඒමට පුළුවන. එලෙසම ඔහු සෞඛ්‍ය හා පෝෂණය ගැන නැවත සිතාබලන තත්ත්වයක් ද මේ ඔස්සේ ඇති විය හැකි ය. ඒ අනුව බලනවිට කිරි වීදුරුව ද හොඳ ආයෝජනයකි.

ලෝකයේ සංවර්ධනය සඳහා බලවත් පරිශ්‍රමයක් දරන කලාපයක් ලෙස ද ඒ සඳහා ශක්‍යතා ඇති කලාපයක් හැටියට ද දකුණු ආසියාව හැඳින්වේ. භූමි ප්‍රමාණය ගතහොත් කුඩා අනුපාතයක් වුව මිනිස් සම්පත අතින් ගතහොත් ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් දකුණු ආසියාවේ ජීවත් වෙති. එයින් කරුණු දෙකක් සනාථ වෙයි. එක මානව සම්පතය, දෙක පැතිරෙන වෙළෙඳ පොළය. දියුණුව සඳහා මේ සාධක දෙකම අවශ්‍ය වේ. ආර්ථික දත්තවලට අනුව මේ කලාපය පොදුවේ 6% කට වැඩි වාර්ෂික ආර්ථික වෘද්ධියක් දිගට ම පවත්වාගෙන ගොස් තිබේ. මේ අනුව අමෙරිකාවේ, චීනයේ පමණක් නොව; යුරෝපා සංගමයේ අවධානය ද දකුණු ආසියාව දෙසට යොමු වී ඇත.

ඉහත තත්ත්වය ශ්‍රී ලංකාවට වාසි සහගතය. පළමුව අප මේ තත්ත්වය වටහාගෙන ආර්ථිකය හැසිරවිය යුතුය. ආර්ථිකය පමණක් නොව; අධ්‍යාපනය පවා ලෝක මට්ටම සමඟ ගළපාගත යුතුය. අය වැය යෝජනා දෙස බලනවිට පෙනී යන්නේ ලෝක ආර්ථිකය සමඟ බද්ධවීමට සැලැකිය යුතු උත්සාහයක් දරා ඇති බව ය. අපනයන ක්ෂේත්‍රය නැංවීමේදී සාම්ප්‍රදායික අපනයනවලට මෙන් ම නවෝත්පාදනවලට ද හිතකර තත්ත්වයක් යෝජනා කර ඇත. රබර් හා පොල් වගාව පසුබෑමකට ලක්ව තිබූ අතර ඊට විසැඳුම් අය වැය යෝජනාවල ඇත. අපනයන ක්ෂේත්‍රය ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය ඉහළට ගෙන යා හැකි නම්; අපේ ආර්ථික ගැටලු බොහොමයක් විසඳාගත හැකි ය.

අය වැය යෝජනා සමස්තයක් ලෙස ගත්කල පෙනී යන්නේ රටේ සියලු ජන කණ්ඩායම් නියෝජනය වන අයුරින් එය සකස් වී ඇති බව ය. නිදසුනක් ගතහොත් වැසිකිළි පහසුකම් නැති ජනතාවට සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට රජය ඉදිරිපත් වී ඇත. විදේශීය රැකියාවන්හි නියුතු ශ්‍රමිකයන්ට නිවසක් තනා ගැනීම සඳහා ණය පහසුකම් ලබාදීමට ද රජය ඉදිරිපත් වී ඇත. මේවා සාධනීය ලක්ෂණ ලෙස සැලැකිය හැකි ය. අය වැය යෝජනා නිසි ලෙස ක්‍රියාත්මක වුවහොත් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව අලුත් වනු ඇත.


නව අදහස දක්වන්න