පොහොසත් රටකට මග කියන අය-වැය පක්ෂ-විපක්ෂ පැසසුමට | දිනමිණ

පොහොසත් රටකට මග කියන අය-වැය පක්ෂ-විපක්ෂ පැසසුමට

දිළිඳුකම පිටුදැක රට සෞභාග්‍ය කරා ගෙනයන යෝජනා රැසක් ඇතුළත්ව එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව 2019 වසර වෙනුවෙන් ඉදිරිපත් කළ තෙවන අයවැය මුදල් ඇමැති මංගල සමරවීර මහතා මැති ඇමතිවරුන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද ඊයේ (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

සාර්ව ආර්ථික සමතුලිතතාවක් පවත්වා ගැනීම මෙන්ම රටේ සමස්ත ආර්ථිකය නිවැරැදි දිශානතියකට යොමු කිරීමේ අරමුණ සහිත යෝජනා රැසක් ඇතුළත්ව ඉදිරිපත් කරන ලද මෙම අයවැය ලේඛනය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දෙවන අයවැය ලේඛනය ලෙස ඉතිහාසයට එක්වෙයි.

මුදල් ඇමති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ දෙවන අයවැය වෙනුවෙන් ආණ්ඩු පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියලු කණ්ඩායම් පැමිණ සිටියහ.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරු 2.00 ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අතර ඉන් පසුව සිදුවූයේ කතානායක නිවේදන ඉදිරිපත් කිරීමයි.

පස්වරු 02.04 ට පමණ කළු පැහැති ආවරණය සහිත ෆයිල් කවරයක් අතැතිව සිනාමුසු මුහුණින් සභා ගැබට පිවිසි මංගල සමරවීර මහතා අයවැය ලේඛනය විපක්ෂයට පෙන්වමින් සිය අසුන වෙත ගියේය.

අයවැය පිළිබඳ ඉතිහාසයද සඳහන් කළ ඇමතිවරයා රටට වනුයේ අනාගත දැක්මක් සහිත නව යුගයක් බව සඳහන් කළේය.

2015 ජනවාරි අටවැනිදායින් පසුව යහපාලන රජයේ ආර්ථික ප්‍රගතිය හුවාදැක්වූ ඇමතිවරයා රටේ ඉදිරි දැක්ම හා ආර්ථික ඉලක්ක පිළිබඳව විනාඩි දහයක් සිය අයවැය කතාව ඔස්සේ විවරණය කළේය.

‘ජනතාවට ශක්තිය දුප්පතුන්ට රැකවරණය‘ යන තේමාව යටතේ 2019 වසර වෙනුවෙන් වූ අයවැය යෝජනා ඉදිරිපත් කිරිම ආරම්භ කළ ඇමතිවරයා පස්වරු 4.15 ට පමණ අයවැය කතාව අවසන් කළේය.

2020 දී රට ඔසවා තැබෙන ආර්ථික තලය පිළිබඳව හා 2025 දී පොහොසත් රටක් යන දැක්ම සහිතව 2019 අයවැය ඉදිරිපත් කරන බව සිය අයවැය කතාව ඔස්සේ ඇමතිවරයා අවධාරණය කළේය.

යහපාලන රජය ප්‍රජාතන්ත්‍රවාදයේ සංහිඳියා කුළුණු මත ස්ථාවර ආර්ථිකයක් ගොඩනඟමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කළේය.

2019 වසර වෙනුවෙන් වන අයවැය ඉදිරිපත් කළ ඊයේ (05) දිනයේදි පාර්ලිමේන්තු පරිශ්‍රය උත්සව අසිරියක් ගත්තේය.එ‍මෙන්ම පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මෙන්ම ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වූ අතර අයවැය ඉදිරිපත් කිරීම වෙනුවෙන් ආරාධිතයින් ලෙස දෙස් විදෙස් අමුත්තන් විශාල පිරිසක්ද පැමිණ සිටියහ.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික පිරිස් හා ආරාධිතයින් විශාල පිරිසක් කතානායක ගැලරියේ වූ අතර රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම ආරාධිතයින් විශාල පිරිසක් අයවැය වෙනුවෙන් පැමිණ සිටියහ.

අයවැය ලේඛනය ඉදිරිපත් කිරිමෙන් පසුව මුදල් අමාත්‍යාංශය විසින් සම්ප්‍රදායක් ලෙස ලබාදෙන තේපැන් සංග්‍රහයද ඉන් අනතුරුව පැවැති අතර මේ සඳහා මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරින් , ආරාධිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න