හින්දි ටෙලිනාට්‍ය අභියෝගයක් නෙවෙයි - සඳුන් රාජකරුණා | දිනමිණ

හින්දි ටෙලිනාට්‍ය අභියෝගයක් නෙවෙයි - සඳුන් රාජකරුණා

“තෝඩු” මොන වගේ කතා තේමාවක් රැගත් ටෙලිනාට්‍යක්ද?

ධනපති පංතිය හැමදාම නිර්ධන පංතිය පහළට දාලා කතා කරනවනේ. ඒකට විරුද්ධ වෙච්ච ධනපති පංතියේ ම තරුණයෙක් ඔහුගේ ම පරම්පරාව වෙනුවෙන් කරන අරගලයක් තමයි මේ කතාවේ තේමාව වෙන්නෙ. මේ නාට්‍යයේ සේන ගුණවර්ධන කියලා ධනවත් ව්‍යාපාරිකයෙක් ඉන්නවා.ඔහුට ඉන්නෙ පුත්තු දෙන්නයි දුවයි. ඒ එක පුතෙක් ආදර සම්බන්ධයක් ඇති කරගන්නවා බොහොම පහළ සමාජ තලයක යුවතියක් සමඟින්. නමුත් පවුලේ අය මේ විවාහයට විරුද්ධ වෙලා ඒ ආදර සම්බන්ධය කඩාකප්පල් කරලා දානවා. මේ ධනවත් තරුණයා තමන්ගෙ ම පවුලට විරුද්ධව සැලසුමක් ගේනවා ඔහුගේ ප්‍රේම සම්බන්ධය බිඳදැමීමේ වෛරය පිරිමහගන්න. ඔහු කරන්නෙ තමන්ගෙ සහෝදරයා විවාහ වුණාට පස්සෙ ලැබෙන දරුවාත් නිවසේ රියදුරුගෙ දරුවාත් මාරු කරන එක. මේ නාට්‍ය පටන් ගන්නේ ඒ සිදුවීම වෙලා අවුරුදු 21ක් ගත වුණාට පස්සෙ. හරියට ම දරුවො දෙන්නම 21වෙනි උපන් දිනය සමරන දවසෙන්. එතකල් මේ රහස කිසිම කෙනෙක් දන්නෙ නෑ. 21 වෙනි උපන්දිනය දවසෙ ඔහු ඒ රහස හෙළි කරනවා. ඔයාලා මෙච්චර කාලයක් හදාගත්තෙ ඔයාලගේ රියදුරුගෙ දරුවා. ඔයාලගේ දරුවා හැදෙන්නෙ රියදුරු ළඟ. මගේ ආදරේ ඔය අය කඩාකප්පල් කරලා දැම්මනේ. දැන් ඔයාලට මං ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා පුළුවන් නම් මේක විසඳගෙන පෙන්නන්න කියලා ඔහු තමන්ගේ පවුලට උදවියට දෙනවා විශාල අභියෝගයක්. මේ අර්බුදය තමයි කතාව පුරාවට ගලාගෙන යන්නෙ.

ඇයි ඔබ මෙවැනි නිර්මාණයකට දායක වෙන්න හිතුවෙ?

ස්වාධීන රූපවාහිනිය කියන්නේ පවුලේ නාලිකාව. “සිහින පියාපත්”, “බොඳ මීදුම්”, “රන්තරු” වැනි හැම නාට්‍යක් ම ජනතාව අතරට ගියේ පවුලේ කතාවක් එක්ක ප්‍රේම කතාවක් එකට ගලාගෙන ගිය නිසා. ඉතිං අපිට ස්වධීන රූපවාහිනියත් එක්ක නැවත නාට්‍යක් කරන්න අවස්ථාව ලැබුණට පස්සෙ අපි පිටපත් හෙව්වා. අවසානයේ දයාන් හෙට්ටිආරච්චිගේ පිටපත් රචනයක් ළඟ අපි නතර වෙනවා. ඒ පිටපත කියවලා බැලුවම අපිට හිතුණා මේක තමා ස්වාධීන රූපවාහිනියට ගැලපෙන ම නාට්‍ය කියලා. වර්තමානය වෙනකොට කතා තේමාවල වෙනසකුත් තියෙන්න ඕනෙ. නාට්‍යමය පැත්තෙන් හොඳ නිර්මාණ බිහි වෙන්නත් ඕනෙ. ඒ කරුණු දෙකම සාධාරණීකරණය කරන්න පුළුවන් හොඳ ම නාට්‍ය “තෝඩු” කියලා හිතුණ නිසා මම ඒ නිර්මාණයට දායක වුණා.

ප්‍රවීණ වගේ ම නව පරපුරේ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසකගේ දායකත්වය ඔබ ලබාගන්නවා?

කමල් දේශප්‍රිය,ජනක කුඹුකගේ,නිරෝෂන් විජේරත්න, නයනා කුමාරි,මාධනී මල්වත්ත, ආනන්ද අතුකෝරල, ආනන්ද වික්‍රමගේ වැනි ප්‍රවීණයන් සහ කාවින්ග පෙරේරා වැනි නව පරපුරේ රංගන ශිල්පීන්වත් මේ සඳහා දායක කරගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේ ම හැම වතාවෙ ම අපි අලුත් චරිතයක් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දෙනවා. මේ වතාවේ ඒ අවස්ථාව ලැබුණෙ සෙව්වන්දි නයනතාරා කියන නවක රංගන ශිල්පිනියට. සිංහ එන්ටර්ටේන්ට්මන්ට් වෙනුවෙන් චන්න ජයනාත්,ලලිත් වසන්ත, නීල් රුක්මන් යන තිදෙනා තමයි තෝඩු නිෂ්පාදනයට දායක වෙන්නෙ. කැමරාකරණය දිලීප පුස්ඇල්ලගෙන්, අංග රචනයෙන් දායක වෙන්නෙ උහාන් ඕවිට. පිටපත දයාන් හෙට්ටිආරච්චිගේ. දක්ෂ පිරිසක් එක්ක හොඳ වැඩක් කරන්න ලැබුණයි කියලා මම විශ්වාස කරනවා.

මේ ඔබේ කීවෙනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයද?

මේ වෙද්දි මම ටෙලිනාට්‍ය 16ක් පමණ අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මම වැඩිපුර ම දායක වෙන්නෙ දීර්ඝ ටෙලිනාට්‍යවලට.

ඇයි ඔබ වැඩි වශයෙන් දීර්ඝ ටෙලිනාට්‍යවලට ම යොමු වෙන්නෙ?

“ඉතිං ඊට පස්සෙ” විකාශය කරන කාලෙ ඉඳල ම මේ රටේ තිබුණ දීර්ඝ ඉන්දියානු ටෙලිනාට්‍ය රැල්ල බිඳින්න උත්සාහ කළේ ස්වාධීන රූපවාහිනිය දීර්ඝ ටෙලිනාට්‍ය පටන් ගත්තට පස්සෙයි. ඒ රැල්ල තමයි ආරම්භයේ ඉඳන් අද වෙනකල් වර්ධනය වෙමින් ඉදිරියට ආවේ. වර්තමානය වෙනකොට නාලිකාවලත් වැඩි ම අවධානයක් තියෙන්නෙ දීර්ඝ ටෙලිනාට්‍ය කලාවට. කාලයක් තිස්සේ ඒ දීර්ඝ ටෙලිනාට්‍ය කලාව සම්බන්ධයෙන් මට තියෙන අත්දැකීම් සහ නාලිකාවලත් ප්‍රේක්ෂකයාගෙත් අවශ්‍යතාවන් හා රුචිකත්වය සලකා බලා මම ඒ අනුව දීර්ඝ ටෙලිනාට්‍ය නිර්මාණවලට දායක වෙනවා.

ඔබ හිතන විදිහට හින්දි මෙගා තවමත් අපිට අභියෝගයක්ද?

හින්දි ටෙලිනාට්‍ය කලාව නම් මේ වෙද්දි අපිට අභියෝගයක් නෙවෙයි. පහුගිය කාලෙ ගෙන්නපු හින්දි ටෙලිනාට්‍ය ගොඩක් අපේක්ෂිත අරමුණු ඉටුකරගන්න බැරුව අපේ නාලිකාවලින් විකාශය කිරීම නවත්වලා දැම්මා. නවත්තලා ඒ වෙනුවට සිංහල ටෙලිනාට්‍ය විකාශය කළා. කාලයක් හින්දි මෙගා අපිට අභියෝගයක් වුණත් ලංකාවේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන් සහ නිර්මාණකරුවන් එකතු වෙලා මේ වෙද්දි ඒකට උත්තරේ දීලා තියෙනවා. මගේ අදහස නම් වර්තමනයේ අපි ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් ඉන්නවා. සිංහල ටෙලිනාට්‍ය දීර්ඝ ටෙලිනාට්‍ය කලාවේ යම්තාක් දුරට හොඳ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ම මේ වෙනකොට අලුත් පරම්පරාවේ දක්ෂයින් ඉදිරියට ඇවිත් ඉන්නවා. ඔවුන්ගේ වෙනස් ආකල්ප, සංකල්ප එක්ක අලුත් හැඩයේ අලුත් නිර්මාණ පටන් අරන් තියෙනවා. මෙතෙක් කාලයක් අපි නොදුටු විදිහේ වෙනස් හැඩයක ටෙලිනාට්‍ය නිර්මාණය වෙන්න පටන් අරන්. පහුගිය කාලේ තිබුණා වූ ගොඩක් ගැටලු මේ වෙනකොට විසඳෙමින් පවතින බවයි මට නම් කියන්න තියෙන්නෙ. එක ම ගැටලුව තමයි අලුත් පරම්පරාවෙන් බිහිවෙන රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ ඇති ප්‍රමාණාත්මක අඩුව. දක්ෂතාවන් ඇතිව වෘත්තීමය වශයෙන් බිහිවන ශිල්පීන්ගේ අඩුව තමයි දැනට තියෙන විශාල ම අර්බුදය. ඒ වගේ ම තිරෙන් පිටුපස වෘත්තීන් සඳහා වෘත්තීය නිපුණත්වයක් ඇති පිරිස අඩුවෙමින් පවතිනවා. අන්න ඒ ගැටලුවලට උත්තරයක් ඉතා ඉක්මනින් හොයාගන්න ඕනෙ.

දිගටම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂණ කටයුතුවල නියැලෙන්නද බලාපොරොත්තුව?

මේ දිනවල නම් “තෝඩු” සහ “නීල පබළු” ටෙලිනාට්‍යවල වැඩ කටයුතු කරගෙන යන අතරතුරේ මගේ අනෙකුත් ව්‍යාපාර කටයුතුත් කරගෙන යනවා. බලමු කාලයත් එක්ක සහ මේ තියෙන සමාජ රටාව එක්ක තව අවුරුදු දෙක තුනකින් මේ දීර්ඝ ටෙලිනාට්‍ය නැතුව වෙනස් විදිහකට එන්නත් පුළුවන්. කාලයත් එක්ක තීරණය කරනවා මොකද්ද කරන්නෙ කියලා.

ඇයි චිත්‍රපට ක්ෂේත්‍රයට වැඩි අවධානයක් නොදෙන්නෙ?

චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කිරීමට විශාල අවශ්‍යතාවක් තිබුණා.මීට අවුරුදු 07කට විතර කලින් “උත්තරා” චිත්‍රපටිය කළාට පස්සෙ මම ආයෙ චිත්‍රපටයක් කෙරෙහි අවධානය යොමු කළේ නෑ. දීර්ඝ ටෙලිනාට්‍යත් එක්ක චිත්‍රපටයක් කෙරෙහි අවධානය යොමු කරන්නත් බෑ,අවුරුද්ද පුරාම වැඩ නිසා. මොකද චිත්‍රපටියක් කරනවා කියන්නෙ ඒකට වෙන ම කාලයක් අයින් කරගෙන, නිදහසේ අතගහන්න ඕනෙ වැඩක්. අවශ්‍යතාව වගේ ම කැමැත්ත තියෙනවා. කාලය සම්බන්ධයෙන් තමයි ගැටලුවක් තියෙන්නෙ. ඉතිං තව ටික කාලයක් ගිහින් ම අලුත් චිත්‍රපටියකට අත තියනවා කියලයි මම හිතාගෙන ඉන්නෙ.

නිර්මාණ කටයුතුවලදී රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගෙන් ලැබෙන සහයෝගය ගැන ඔබට තිබෙන්නෙ කෙබඳු අදහසක්ද?

මීට අවුරුද්දකට එකහමාරකට කලින් නම් ඒ සම්බන්ධයෙන් තරමක් දුරට අර්බුද තිබුණා. නමුත් දැන් මට මගේ අලුත් ටෙලිනාට්‍යවල වැඩ කරද්දි දැනෙන්න ගත්තා කලින් තිබුණ පීඩනය දැන් නැහැයි කියන දේ. දැන් වැඩ කරන්න එන අය ඊට වඩා පොඩි අවබෝධයක් ඇතුව එන මට්ටමක් තමයි තියෙන්නෙ. ඒක රැකගන්න උත්සාහ කරන්න කියන ඉල්ලීමත් කරන්න ඕනෙ. ඒ වගේ ම ඉන්න රංගන ශිල්පීන් ශිල්පිනියන් නිර්මාණයක් සඳහා දෙන දායකත්වය තව පොඩ්ඩක් වැඩි වුණා නම් මේ තියෙන අභියෝග ජයගන්න එක අපිට තවත් ටිකක් පහසු වෙනවා. බොහෝ දෙනෙක් මේ ක්ෂේත්‍රයට එන්නෙ වෙන වෙන අරමුණු ඉටු කරගැනීම සඳහා. ජනප්‍රිය වුණාට පස්සෙ ඒ ජනප්‍රියත්වය අරන් මේ ක්ෂේත්‍රයෙන් ඉවත්වෙනවා. ව්‍යාපාර හෝ වෙනත් ක්ෂේත්‍රයකට යනවා. තමන්ගේ වෙනත් වෘත්තියක් ජය ගැනීම සඳහා මේක ඉනිමගක් කරගන්නවා මිසක් මේ වෙනුවෙන් දෙයක් කරන්න මහන්සි වෙන්නෙ නෑ. ඒ දේ නැති කරගන්න ඕනෙ. මේ ක්ෂේත්‍රය වෙනුවෙන් කැපවීමක් කළොත් තමයි ක්ෂේත්‍රයට වගේ ම නිර්මාණකරුවාටත් ඉදිරියක් තියෙන්නෙ.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න