අද හෙට සාකච්ඡාවලින් පසුව අය-වැයේ දී කටයුතු කළ යුතු අන්දම ගැන තීරණ ගන්නවා | දිනමිණ

අද හෙට සාකච්ඡාවලින් පසුව අය-වැයේ දී කටයුතු කළ යුතු අන්දම ගැන තීරණ ගන්නවා

සිතාරා සේනානි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) පෙරවරුවේත්, විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (5) පාර්ලිමේන්තුවේදීත් පැවැත්වෙන සාකච්ඡාවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර අය වැයේ දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

එසේම, මෙවර අය වැයේ දී වැඩිම ඡන්ද ප්‍රමාණය ලබා ගන්නා වැය ශීර්ෂ බවට ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශවල වැය ශීර්ෂ පත් වනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පිහිටි ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණු කාර්යාලයේ ඊයේ (4) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී ය.

මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු එක්සත් ජාතික පක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ආණ්ඩුවෙන් ඉවත් වූ බවද, ඉන්පසු වෙනත් අවශ්‍යතා මත ආණ්ඩුවට සහයෝගය ලබා දීමට මන්ත්‍රීවරුන් කීපදෙනකු එකතුවී සිටින බවත්, ඔවුන් කුමන තීරණයක් ගනු ඇතිදැයි නොදන්නා බවත් ය. එහෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙසත් අය වැයේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගනු ලබන තීන්දුවට එරෙහිව කවුරුන් හෝ කටයුතු කළහොත් ඔවුන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට පක්ෂය කටයුතු කරනු ඇති බවත් කීවේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා,

ජනාධිපතිතුමා එතුමා යටතේ පවතින මහවැලි හා පරිසර සහ ආරක්ෂක අමාත්‍යාංශවල කටයුතු මේ වනවිට ඉතා හොඳින් කර ගෙන යනවා. මහවැලි අමාත්‍යාංශය යටතේ මහවැලි ව්‍යාපාරවල ඉඩම් ඔප්පු ලබා දෙනවා. මේ රටේ ලොකුම ජලාශය වන මොරගහකන්ද ජලාශය ඉදිකළා. පරිසර අමාත්‍යාංශයේත් සියලුම කටයුතු ඉතා කාර්යක්ෂමව සිදුකරගෙන යනවා. ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ජාතික ආරක්ෂාව පිළිබඳ එතුමා ඉතා හොඳින් කටයුතු කර ගෙන යනවා. මෙවැනි පරිසරයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අය වැයේදී මේ අමාත්‍යාංශවල වැය ශිර්ෂ පරාජයට පත් කරනවා නම් ඒ මත් කුඩුවලට එරෙහිව ජනාධිපතිතුමා ගෙන යන සටන පරාජයට පත් කරන්න කටයුතු කිරීමක් කියලා අපට සැකයක් මතුවෙනවා.

අපි ඒ වැය ශීර්ෂ පරාජයට පත් වෙන්න දෙන්නේ නෑ. ඒ වගේම මෙවර අය වැයේදී වැඩිම ඡන්ද ප්‍රමාණය ලබා ගන්නා වැය ශීර්ෂ බවට ජනාධිපතිතුමා යටතේ තිබෙන අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ පත් වෙනවා කියන විශ්වාසය අපට තිබෙනවා.

මෙවර අය වැයේදී ජනාධිපති වැය ශීර්ෂය පරාජයට පත් කළොත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ගත හැකි ක්‍රියාමාර්ගවලට යන්න බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරන්නේ නෑ මත්කුඩු හා මත්ද්‍රව්‍යවලට ඍජුව ම සම්බන්ධ කවුරුහරි ඉන්නවා නම් ඒ හැර මේ රටේ පොළොවේ පය ගසා ඉන්න, සාමාන්‍ය ජනතාවගේ ඡන්දවලින් පාර්ලිමේන්තුවට පැමිණි නැතිනම් සමාන්‍ය ජනතාව සමඟ දේශපාලනය කරන කිසිම කෙනෙකුට වත්මන් ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දයක ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. ඒ වගේම එහෙම ඡන්දය ප්‍රකාශ කරලා ගම්වලට යන්න පුළුවන් වෙයිද කියලා ප්‍රශ්නයක් අපට තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධාන කටයුතු ඉතාමත් ම හොඳින් සිදුකර ගෙන යනවා ඉදිරියේදී මහා මැතිවරණය ආවත් ඒ මැතිවරණයට සාර්ථකව මුහුණ දෙන්න. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය කියන්නේ පළාත් සභා මැතිවරණයට පෙර ජනාධිපතිවරණය තියන්න ඕනෑ කියලා. ඒ අයගේ උත්සාහයක් තිබෙනවා ජනාධිපතිවරණය හදිසියේ තැබීම තුළ අපේ මේ බෙදීම් ඇතිව තිබෙන නිසා ඒ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් වේවි කියලා. ඒ නිසා තමයි ඉක්මනට ඉල්ලන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ භාණ්ඩාගාරික හා හබරාදූව ආසන සංවිධායක තිසර ගුණසිංහ, ජාල සම්බන්ධීකරණ ලේකම් බදුල්ල දිස්ත්‍රික් සංවිධායක රසික දේශප්‍රිය, කොළඹ දිස්ත්‍රික් සංවිධායක විදුර බාලසූරිය, මාධ්‍ය ලේකම් කළුතර දිස්ත්‍රික් සංවිධායක අසංක එදිරිවීර , ගාල්ල දිස්ත්‍රික් සංවිධායක පියල් ගුරුගේ, මාධ්‍ය සම්බන්ධීකාරක ලකිඳු ගජසෙන් මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ. ඡායාරූපය- රුවන් ද සිල්වා.

නව අදහස දක්වන්න