ආර්ථිකය...! | දිනමිණ

ආර්ථිකය...!

රටක සංවර්ධනයේ ප්‍රධාන අංශය වන්නේ ආර්ථිකයයි. ජාතික ආර්ථිකය සාර්ථක ලෙස වර්ධනය වන්නේ නම්; වැඩිකල් යෑමට මත්තෙන්, ඒ රටට දියුණු විය හැකි ය. ආර්ථිකය හොඳින් මෝරා වැඩෙන්නේ නිෂ්පාදන මාර්ග ව්‍යාප්ත වූ තරමට ය. ශ්‍රී ලංකාවේ විශාල ම ආයෝජන කලාපයට ඊයේ මුල්ගල් තැබීය. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ය. බිංගිරියේ ඉදිවන මේ ආයෝජන කලාපයට, අක්කර එක්දහස් දෙසීයක් අයත් වේ. ඍජු හා වක්‍ර රැකියා තිස්පන්දහසක් පමණ සපයන බිංගිරිය ආයෝජන කලාපයේ කර්මාන්ත පිහිටුවීම සඳහා, මේ වනවිටත් දේශීය හා විදේශීය ව්‍යවසායකයෝ ඉදිරිපත් වී සිටිති.

නිදහස් ආර්ථිකය මෙන් ම ආයෝජන කලාප වැඩසටහන ද හඳුන්වා දුන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතා ය. 1977 වන විට ලෝක ආර්ථිකය ගමන්ගත් දිසාව පිළිබඳ නිවැරැදි වැටහීමක් ජයවර්ධන මහතාට තිබිණි. ඒ අනුව, ඉන්දියාව නිදහස් ආර්ථික සංකල්පය පිළිගැනීමටත් ප්‍රථම, එය ශ්‍රී ලංකාව තුළ යථාර්ථයක් බවට පත් කිරීමට ජේ. ආර්. මහතා සමත් විය. ආයෝජන කලාප නිසා අපේ ආර්ථිකය පුළුල් විය. රැකියා බොහෝ ප්‍රමාණයක් ද සම්පාදනය විය. ආයෝජන කලාප යනු නිෂ්පාදන ආ‍ර්ථිකයේ ප්‍රධාන අංගයකි. එය නොවන්නට ශ්‍රී ලංකාව තව ම පසුගාමී රාජ්‍යයකි. වර්තමාන නායකයන් ද ඒ බව වටහාගෙන තිබීම වැදගත් ය.

ඇඟලුම් කර්මාන්තය අපේ නිෂ්පාදන ආර්ථිකයේ කැපී පෙනෙන අංශයකි. අමෙරිකාවේ ඇතැම් සමාගම් ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් මිලට ගෙන, ඔවුන්ගේ ලේබල් යටතේ නැවත අසුරා අමෙරිකන් නිෂ්පාදන ලෙස ලොව පුරා බෙදා හරියි. මේ සමාගම් ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම්වලට කැමැත්ත පළ කරන්නේ, එහි ඇති අගනා නිමාව නිසා ය. අපේ ඇඟලුම් නිෂ්පාදනවලට ලොව පුරා හොඳ ඉල්ලුමක් පවතී. මේ ආශ්‍රයෙන් සපයා ඇති රැකියා ප්‍රමාණය බොහෝ ය. ඇඟලුම් කර්මාන්තයේ හදිසි ප්‍රබෝධයට මුල් වූ නායකයා වූයේ, හිටපු ජනාධිපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා ය. ප්‍රේමදාස මහතාට ද නිෂ්පාදන ආර්ථිකය ගැන හොඳ වැටහීමක් තිබිණි. ඇඟලුම් කෝටා ලබා ගැනීම සඳහා ප්‍රේමදාස මහතා පිටරට සමාගම් සමඟ ගිවිසුම් ඇතිකර‍ ගැනීමට සමත් විය.

අපේ ආයෝජන කලාප තුළ ද ඇඟලුම් නිෂ්පාදනයට ප්‍රමුඛ තැනක් ලැබේ. අත් මේස්, පිහිනුම් ඇඳුම් කට්ටල හා ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදනය කරන ජනප්‍රිය කර්මාන්තශාලා ගණනාවක් එදා තිබිණි. කළමනාකරණයේ දෝෂ නිසා, ඇතැම් කම්හල් වසා දැමිණි. බිංගිරිය ආයෝජන කලාපයේ ද ඇඟලුම් නිෂ්පාදනයට මුල්තැනක් ලබාදිය හැකි ය. මේ කලාපයේ මාර්ග පද්ධතිය ඉදි කිරීම සඳහා රුපියල් කෝටි එකසිය පනහක මුදලක් වෙන්කර ඇත. ජලය ලබා දීම සඳහා තවත් රුපියල් කෝටි තිහක් වෙන්කර ඇත. තව වසර කිහිපයක් ගෙවී යනවිට රටේ ප්‍රධාන ආ‍යෝජන කලාපය බවට පත් වන්නේ, බිංගිරිය ආයෝජන කලාපයයි. ලෝක සමාගම් කිහිපයක අවධානය ද ඒ කෙරෙහි යොමු වී ඇත.

හැටේ දසකය පමණ වනතුරු ම අපේ ආර්ථිකය ක්‍රියාත්මක වූයේ, තේ, පොල් හා රබර් මත ය. එහෙත්, එම සාධක තුන පමණක් ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයකට ප්‍රමාණවත් නැති බව හැත්තෑව දසකය වන විට පැහැදිලි විය. ඇතැම් නායකයකුගේ අදහස වූයේ, කෘෂිකර්මය මත පමණක් පදනම් වී රට දියුණු කළ හැකි බව ය. එය ද නිරර්ථක වෑයමක් බව පසුව පැහැදිලි විය. කාර්මිකකරණය, ලෝක ආර්ථිකය සමඟ ජාලගත වීම, නිෂ්පාදන ආර්ථිකය හා සේවා අංශය දියුණු කිරීම අවශ්‍යයෙන් ම විය යුතු බව දැන් කව්රුත් පිළිගනිති. මේ සඳහා ආර්ථික ක්‍රමයේ ව්‍යූහාත්මක වෙනස්කම් කළ යුතු බව ද, රාජ්‍ය ව්‍යවසායේ ප්‍රතිසංස්කරණ ඇති කළ යුතු බව ද, මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. ජාත්‍යන්තර ‍මූල්‍ය අරමුදලේ උපදේශක පිළිගැනීම වරදක් නොවේ.

ලෝක බැංකුව ප්‍රතික්ෂේප කිරීම මෙන් ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන ගර්හාවට ලක් කිරීමත්, ඇතැම් දේශපාලන ව්‍යාපාරවල සිරිත වී තිබේ. එහෙත් එය සාධාරණ නැත. ලෝක බැංකුවේ ණය හා ආධාර නැතිව, දුප්පත් රටකට දියුණු වීම අපහසු ය. අනෙක් අතට මූල්‍ය අරමුදලේ උපදේශන පිළිගත් රටවල්, ශීඝ්‍ර ආර්ථික දියුණුවක් ලබා ඇත. ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලබාදෙන සියලු උපදේශන පිළිපැදිය යුතු නැත. එහෙත්, ආර්ථික වර්ධනයට අදාළ ක්‍රමෝපාය රැසක් ඔවුන්ගේ උපදේශන තුළ පවතින බව පමණක් සිහි තබා ගත යුතු ය. ශ්‍රී ලංකාව වැනි රටවල් කළ යුත්තේ, අපට ගැළපෙන උපදේශන පමණක් ක්‍රියාවට නැංවීම ය. උපදේශන මුළුමනින් ම ප්‍රතික්ෂේප කිරීම යෝග්‍ය නැත.

ජනතාවගේ පැත්තෙන් ආර්ථිකය විග්‍රහ කරන විට, ඔව්හු හැම විටෙක ම සහන අපේක්ෂා කරති. එය ඉවත දැමිය නොහැකි ඉල්ලීම් ලෙස පවතී. ජීවන වියදම අඩු කිරීම, වැටුප් වැඩි කිරීම, බුදු අඩුකිරීම, රැකියා සම්පාදනය හා තවත් දේවල් ඔවුහු අපේක්ෂා කරති. විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා ජනතාවගේ හඬට කන් දෙමින්, විදුලි ගාස්තුවෙහි සාධනීය වෙනසක් ඇති කිරීමට උත්සුක වන බව පෙනෙයි. ලබන අප්‍රේල් මාසයේ සිට එම වෙනස ඇති කරන බව, අමාත්‍යවරයා පෙන්වා දෙයි. අමාත්‍යවරයාට අනුව ලංකා විදුලිබල මණ්ඩලයට වැදගත්ම තැනැත්තා වන්නේ පාරිභෝගිකයා ය. එබැවින්, පළමුව පාරිභෝගිකයා තෘප්තිමත් කළ යුතු ය. එය ජනතාවාදී අදහසකි. විදුලිය නිෂ්පාදනය සඳහා වැය වන මුළු මුදල අඩු කළ හැකි බව ද, රවි කරුණානායක මහතා පෙන්වා දෙයි.

ආණ්ඩුව ජනතාවගේ පැත්තෙන් බොහෝ දේ දෙස බලන බවක් ද පෙනෙන්නට තිබේ. මීට දින දෙකකට ඉහත දී, දිවයින පුරා ඉදි වූ පාසල් ගොඩනැගිලි දෙසීයක් එක ම දිනයේ විවෘත කිරීමට පියවර ගෙන තිබිණි. එය ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලැකිය හැකි ය. අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන උනන්දුව කැපී පෙනෙන එකකි. ගෙවී ගිය වසර තුනක කාලයේදී, රටේ අධ්‍යාපනය නවීකරණයට ලක් වී ඇත. වෘත්තීය අධ්‍යාපනයට අදාළ නව විෂයය විසි හයක් පාසල්වලට හඳුන්වා දීමත් නවීකරණය අතර තිබේ. අධ්‍යාපනය සැලැකිය හැක්කේ ආයෝජනයක් හැටියට ය. එය රටේ ආර්ථිකය සමඟ කෙළින් ම සම්බන්ධ ය.

ලෝක ආර්ථික විශේෂඥයන්ගේ මතයට අනුව, දියුණු වන රටවල් සර්ව සහභාගිත්ව ආර්ථිකයක් ගොඩනැඟීමට සමත් විය යුතු ය. එහි අදහස වන්නේ, සියලු සමාජ කණ්ඩායම් ජාතික ආර්ථිකයට දායක කර ගැනීම ය. ශ්‍රී ලංකාව ද එබඳු ක්‍රමවේදයක් කරා ගමන් කරමින් සිටී.


නව අදහස දක්වන්න