වීරියෙන් යුතු අය වෙමු | දිනමිණ

වීරියෙන් යුතු අය වෙමු

නාවලපිටියේ අරියවංශ හිමි

අකුසල් දුරුකර ගන්ටත්, කුසල් උපදවා ගන්ටත්, පටන්ගත් වීරියෙන් යුක්තව වාසය කරන්ට ඕනෑ. පටන්ගත් විරියෙන් යුක්තව වාසය නොකරන කෙනාට අකුසලයන් දුරුකර ගන්ටත්, කුසල් උපදවා ගන්ටත් පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. පටන්ගත් විරිය කියන්නේ නිතර ම ඇරඹූ වීරියෙන් යුක්තව වාසය කිරීමයි. යම් වෙලාවක අප විරිය පටන් ගත්තොත් ඒ විරිය පවතින්නේ නෑ. ඒ වීරිය නැතිවෙලා යනවා. ඒ නිසා නිතරම වීරිය පටන්ගෙන තිබිය යුතුයි.

මේ විදිහට නිතර පටන්ගත් වීරි‍ෙයන් වාසය කරන්ට නම් එයා තුළ ශ්‍රද්ධාව තිබෙන්ට ඕනෑ. හිරිබලය තියෙන්ට ඕනෑ. ඒ වගේම ඔත්තප්පබලය තියෙන්ට ඕනෑ. ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප කියන සේඛ බලයන් නොමැති කෙනාට පටන්ගත් වීරියෙන් යුක්තව වාසය කරන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. පටන්ගත් වීරියෙන් යුක්තව වාසය කරන කෙනාට ඒ අකුසල් දුරුකරන්ටත්, කුසල් උපදවා ගන්ටත් දැඩි වුවමනාවක්, දැඩි කැමැත්තක් තියෙන්ට ඕනෑ. අත්නොහරින, කැමැත්තකින් වාසය කරන්ට ඕනෑ. අන්න එයාට විරිය බලය කියන උතුම් සේඛබලය උපදවාගෙන දියුණු කරන්ට පුළුවන්කම තියෙනවා.

පාපී අකුසල ධර්මයන් දුරුකර ගන්ට නම් ඒ අකුසල ධර්මයන් තුළින් අපට උපදවලා දෙන දුක් සහිත විපාකයන්, කර්කෂ වූ විපාකයන් ගැන අපිට කල්පනාවක් තියෙන්ට ඕනෑ. වැටහීමක් තියෙන්ට ඕනෑ. පාපී විපාක සිහිකරන්ට, කරන්ට ඒ පව් කෙරෙහි අකමැත්ත උපදිනවා. පව් කරන්ට අකමැත්ත උපදිනවා. පව් අතහරින්ට කැමැත්ත උපදිනවා. පවේ විපාක සිහි නොකරන කෙනාට පව කෙරෙහි අකමැත්ත උපදින්නේ නෑ. ඒ වගේම පාපී ක්‍රියා අතහරින්ට කැමැත්ත උපදින්නේ නෑ. යම් කෙනෙකුට පාපී ක්‍රියා අත්හරින්ට කැමැත්තක් ඉපදුණොත් අන්න ඒ කැමැත්ත මුල්වෙලා එයාට පාපී ක්‍රියා අතහැරීම පිණිස වීරිය උපදිනවා. ඒ නිසා අප වීරිය ආරම්භ කරන්ට නම් වීරිය උපදවාගන්ට ඕනෑ. උපදවා ගන්ට නම් අපි පාපී ක්‍රියා අතහරින්ට කැමැත්ත උපදවා ගන්ට ඕනෑ. ඒ පාපී ක්‍රියා අතහරින්ට කැමැත්ත උපදින්නේ පවේ විපාක සිහිකිරීමෙන්.

ඒ නිසා මේ පින්වතුන්, නිතරම පව් කළොත් පව් කරන කෙනාට නිතර ම විඳින්ට සිදුවන දුක් ගැන කල්පනා කරන්න. තමා තමාට නින්දා කරන කෙනෙක් බවට පත්වෙනවා. ලෝකයා නින්දා කරන කෙනෙක් බවට පත්වෙනවා. ඒ වගේම නොයෙකුත් ආකාරයේ දඬුවම් එයාට විඳින්ට සිද්ධ වෙනවා. ඒ වගේම නිරයේ වැටිලා අපායේ වැටිලා මහත් වූ දුක් විඳින්ට සිද්ධ වෙනවා. මේ විදිහට පව් කරන කෙනාට විඳින්ට තියෙන අනේක ප්‍රකාර දුක් පීඩා සිහිකළොත් එහෙම අන්න එයා පවට අකමැති කෙනෙක් බවට පත්වෙනවා. පවට අකමැති වෙන කෙනාට පව් අතහරින්ට, පාපී ක්‍රියා අතහරින්ට කැමැත්ත උපදිනවා. අන්න ඒ කැමැත්ත මුල්වෙලා වීරිය උපදිනවා. ඒ වීරිය ඒ විදියට උපදවා ගත්ත කෙනා හිත බලවත් කරගෙන, හිත දැඩි කරලා, දැඩි විදිහට ඒ වීරිය උපදවාගෙන ඒ පාපී ක්‍රියා අත්හරින්ට එයා දක්ෂ කෙනෙක් බවට පත්වෙනවා.

ඒ වගේම තමයි අපි පවෙන් නිදහස් වෙනවා වගේම පව් අතහරිනවා වගේම කුසල් දහම් උපදවාගන්ටත් කැමැති වෙන්ට ඕනෑ. කුසල් දහම් උපදවාගන්ට කැමති වන කෙනා ඒ සඳහා වීරිය උපදවා ගන්නවා. එයාට වීරිය ඉපදෙනවා. යමෙකුට කුසල් දහම් උපදවා ගන්ට කැමැත්ත උපදින්ට නම් ඒ කුසල ධර්මයන්ගෙන් අපට ලැබෙන සැප විපාක ගැන අපි කල්පනා කරන්ට ඕනෑ. ඒ වගේම තමයි එයා මළාට පස්සේ සුගතියේ උපදිනවා. දිව්‍ය ලෝකවල උපදින්ට ලැබෙනවා. ඒ වගේ මේ ජීවිතයත් සැප උපදවාගෙන, මතු ජීවිතයත් සැප උපදවා ගන්ට උපකාර වන්නේ තමන් රැස්කරන පින. මේ විදියට යහපත් ආකාරයට ජීවිතය දියුණු වෙලා. සැප උපදින ආකාරයට ජීවිතය දියුණු වෙලා. ඉතාම සැප සේ වාසය කරන්ට නම් පවෙන් නිදහස් වෙන්ට ඕනෑ. පින් රැස්කර ගන්ට ඕනෑ. ඒ සදහා ඇරඹූ වීරිය උපදවා ගන්ට ඕනෑ.

ඒ විදිහට ආරද්ධ වීරියෙන් යුක්ත කෙනා, ඇරඹූ වීරි‍ෙයන් යුක්ත කෙනා දැඩි ආකාරයට ඉතාම බලවත් ආකාරයට වීරිය උපදවාගෙන, අත්නොහරින ආකාරයට ඒ වීරිය පවත්වමින් පාපී ක්‍රියාවලින් නිදහස් වෙන්ට තරම් වාසනාවන්ත කෙනෙක් බවට පත්වෙනවා. එයා කුසල් දහම් උපදවාගෙන ඉතාමත් සුවපත් ජීවිතයක් ඇතිකර ගන්ට තරම් වාසනාවන්ත කෙනෙක් බවට පත්වෙනවා. ඒ නිසා මේ විදිහට අපට පාපයන්ගෙන් නිදහස් වෙන්ටත් පින් දහම් රැස්කර ගන්ටත් ඇරඹූ වීරිය පටන්ගත් වීරිය උපදවා ගැනීම පිණිස අපට උපකාර වන්නේ ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප කියන උතුම් සේඛ ධර්මයන්.

ඒ නිසා හැම කෙනෙක් ම නිරන්තරයෙන් සිහිපත් කරමින්, මේ උතුම් සේඛ ධර්ම ගැන පැහැදීම ඇතිකරගෙන ඒ සේඛ ධර්ම උපදවාගෙන අපේ ජීවිත සැපවත් කරගන්ට ඕනෑ කියන අදහස නිතර පුරුදු කරන්න. ඒ විදිහට සේඛ ධර්ම කෙරෙහි නිතර යොමුව වාසය කරන‍ කෙනාට උතුම් සේඛ ධර්ම ඇතිකරගෙන සැප උපදවාගන්ට ලැබෙනවා. අපි සියලු දෙනාටම සෙත් පතන්ට කැමතියි. උතුම් වූ සේඛ ධර්ම උපදවාගෙන සැපවත් ජීවිතයක් ගතකිරීමට දුර්ලභ වූ වාසනාව උදාවේවා!

 

නව අදහස දක්වන්න