ෆෝමියුලා 3 තරගය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා එෂාන් පීරිස් | දිනමිණ

ෆෝමියුලා 3 තරගය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා එෂාන් පීරිස්

මැලේසියාවේ සෙපැන්ග් ජාත්‍යන්තර ධාවන පථයේදී පසුගියදා පැවැති පළමු ආසියානු ෆෝමියුලා 03 වින්ටර් තරගාවලියේ අවසන් තරගය ජය ගනිමින් යළිත් වරක් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දීමට මෝටර් ධාවන ශූර එෂාන් පීරිස් සමත් විය. මේ ජය සුවිශේෂත්වයක් වන්නේ එෂාන් ඉදිරිපත් වූ පළමු ෆෝමියුලා 03 තරගාවලියේදීම ජය අත්කර ගැනීමයි.

ඇබ්සොලුයිට් රේසිං කණ්ඩායම නියෝජනය කළ එෂාන් පළමු තරගයේදීම සාර්ථක ආරම්භයක් ලබා දෙවැනි තරගයට සුදුසුකම් ලැබූ අතර දෙවැනි සුදුසුකම් ලැබීමේ වාරයේදී හොඳම හතරවන වේගය වාර්තා කිරීමට සමත් විය.

8 වන තරගයේදී හයවන ස්ථානයෙන් ආරම්භ කළ එෂාන් සියලු බාධක අභිබවා සාර්ථක ලෙස ඉදිරියට හඹා යමින් පස්වන ස්ථානයේ තරගය අවසන් කරමින් එම තරගයේ හොඳම වේගය වාර්තා කළ ආසියානු ධාවකයා බවට පත්විය.

තරගයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් එෂාන් කියා සිටියේ මෙවන් දක්ෂ ධාවකයන් රැසක් සමඟ තරඟයකින් අනතුරුව ජයග්‍රහණයක් ලබා ගැනීම පුදුමසහගත වන බවයි.

‘මේ තරගයේදී ලබාගත් මේ වන තෙක් මා ලැබූ හොඳම ප්‍රතිඵලවලින් පමණක් මට සතුටු වෙන්න බැහැ. මගේ සුපිරි ෆෝමියුලා ධාවන රථය වෙනුවෙන් ඇබ්සොලුයිට් රේසිං වෙත මා ස්තුතිවන්ත විය යුතුයි. මගේ කළමණාකරු ඇරන් ලිම් මහතාට මෙන්ම හැම විටම මා පිටුපසින් සිටිමින් මට උදවු කරන මාගේ දෙමව්පියන්ට මාගේ ස්තුතිය පුද කරනවා. එසේම මාගේ ප්‍රේක්ෂකයන්ට වගේම ශ්‍රී ලංකාවේ හැමදාමත් මා දිරිමත් කළ පිරිසට මා ස්තුති වන්ත වෙනවා’ ජයග්‍රහණය ගැන එෂාන් පැවසුවේය.

ආසියානු ෆෝමියුලා 3 ශූරතාවලියේ නව තරග වාරය එළැඹෙන අප්‍රේල් මස 6 සහ 7 දිනවලදී මැලේසියාවේ සෙපැන්ග් ජාත්‍යන්තර ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.

නව අදහස දක්වන්න