අය වැය! | දිනමිණ

අය වැය!

අය වැය රහස් හෙළිදරව් වී ඇති බවක් පෙනෙන්නට නැත. එහෙත් සාමාන්‍ය ජනතාව මෙන්ම ව්‍යාපාරිකයන් ද යම් පමණක බලාපොරොත්තු තබාගෙන ඇති බවක් පෙනෙයි. ජනතාවගේ පැත්තෙන් බලනවිට ඔව්හු සහන අය වැයක් අපේක්ෂා කරති. බඩු මිල පහත යන හා වැටුප් වැඩිවන අය වැයක් එම අපේක්ෂා තුළ පවතී. තව පිරිසක් බදු බර අඩුකරන අය වැයක් ගැන සිතති. ව්‍යාපාරිකයන්ගේ කල්පනාව වෙළෙඳාමට සුබදායක අය වැයක් යැයි කියන්නට පුළුළුන. මේ අතර රටේ සංවර්ධනයට වැඩි දායකත්වයක් දක්වන අය වැයක් පිළිබඳ සිතන අය ද සිටිති. මේ සියලුදෙනාටම සරිලන අය වැයක් සම්පාදනය කිරීම අතිශය දුෂ්කර ය.

මෙවර අය වැය ඉදිරිපත් කිරීමට තවත් ඇත්තේ සුළු කාලයකි. අය වැය ලේඛනය යන්නෙන් අදහස් වන්නේ වසරක කාලයක රජයේ ආදායම් හා වියදම් පිළිබඳ මූලික සටහනකි. එහෙත් එම ලේඛනය තුළ රටේ ආර්ථිකය හසුරුවන විලාසය, දර්ශනය හා සංවර්ධනය පිළිබඳ කරුණු හා සාධකද පවතී. මේ මොහොතේ අපගේ මතකයට නැඟෙන්නේ ලෝක බැංකුවේ ආසියානු කලාපීය උප සභාපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් දැක්වූ වැදගත් අදහසකි. උප සභාපතිවරයාගේ අදහසට අනුව ශ්‍රී ලංකාව ගෙවී ගිය වසර තුනක කාලය තුළ දිළිඳුකම පිටුදැකීම සඳහා සාධනීය කාර්යභාරයක් ඉටුකර තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන අභියෝගය දිළිඳුකම පිටුදැකීම යැයි කිවහොත් එය තාර්කික සත්‍යයෙකි. රටේ ජනතාවගෙන් බහුතරය දුප්පත්ය. විශේෂයෙන් ග්‍රාමීය අංශයේ ද, වතු අංශයේ ද දිළිඳුකම ගැඹුරට ව්‍යාප්ත වී තිබේ. මුල්කාලීන නායකයන්ගේ අදහස වූයේ සහන හා ආධාර ලබාදීමෙන් දුප්පත්කම පිටුදැකිය හැකි බව ය. එහෙත් එය නිරර්ථක උත්සාහයක් බව දැන් පෙනී ගොස් තිබේ. දිළිඳුකම පිටුදැකීම සඳහා ජනතාවට ආදායම් මාර්ග ලබාදිය යුතුය. ඔවුන් රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට පත්කරගත යුතු ය. කෑමට යමක් ඉල්ලා සිටින කෙනකුට බිලී පිත්තක් ලබාදෙන්නැ’යි කොමිපියුසියස් දර්ශනයේ සඳහන් වන්නේ ඒ නිසා ය.

රජයේ මූලික අවධානය මේ කෙරෙහි යොමු වී ඇත. “ග්‍රාම ශක්ති”, “ගම් පෙරළිය” හා “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන් ඊට හොඳින් ගළපා ගත හැකි ය. ඉහත වැඩසටහන් තුනම ක්‍රියාත්මක වන්නේ නිෂ්පාදන ආර්ථිකයක් කෙරෙහි ජනතාව යොමුකිරීම සඳහා ය. චීනය, දකුණු කොරියාව, ජපානය, තායිවානය වැනි රටවල් දියුණු වූයේ නිෂ්පාදන ආර්ථිකය නිසා ය. චීනයේ පාසල්වල පන්ති කාමරය ක්‍රියාත්මක වන්නේ ද වැඩබිමක් හැටියට ය. එහි පාසල් දරුවන් සිය පන්ති කාමරය තුළ නිෂ්පාදනය කරනු ලබන ඇතැම් භාණ්ඩ අපනයනය කෙරේ. අපේ පාසල් තුළ නිෂ්පාදනයට ඉඩක් නැත. මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා අලුත් විෂයයන් විසිහයක් දැන් පාසලට හඳුන්වා දී තිබේ. එය සාධනීය ලක්ෂණයකි.

රටේ වාර්ෂික ආර්ථික වෘද්ධිය දෙස ආපසු හැරී බලනවිට එය සතුටුදායක මට්ටමක නැති බව පැහැදිලිය. ජනාධිපතිවරයාගේම අදහසක් උපුටා දක්වතොත්, ගිය වසරේ අපේ ආර්ථික වෘද්ධිය 4% කට වඩා අඩුය. එහෙත් අප‍ගේ අපේක්ෂාව වන්නේ 6% ක හෝ 7% ක හෝ වාර්ෂික ආර්ථික වෘද්ධියකි. ආසියාවේ එබඳු ආර්ථික වෘද්ධියක් සහිත රටවල් දෙක තුනකට වඩා නැත. එබඳු එක රාජ්‍යයක් වන්නේ වියට්නාමයයි. වියට්නාමය ඉතා දැඩි ලෙස නිෂ්පාදන ආර්ථිකයට යොමු වී ඇත. නිෂ්පාදන ආර්ථිකය මන්ත්‍රයක් සේ ජප කළ යුතුව තිබේ. අගමැතිවරයා පෙන්වා දෙන ලෙස රටේ ගම්මාන අපනයන ගම්මාන ලෙස පරිවර්තනය කළ යුතු ය.

ශ්‍රී ලංකාව අවට ඇති මුහුදු තීරය, අපේ භූමිය, පස, දේශගුණය, පරිසරය, ඓතිහාසික තත්ත්වය යන සියල්ල ආදායම් උපදවන සම්පත් බවට පෙරළා ගත හැකි ය. අපේ සාගර කලාපයෙන් නිසි ප්‍රයෝජන ලබාගන්නේ නම්; සාගර ආර්ථිකය ඔස්සේ ශ්‍රී ලංකාව සංවර්ධනය කළ හැකි ය. නාවුක මාර්ග, වරාය කටයුතු, ප්‍රතිඅපනයන වැඩසටහන් හා ධීවර කර්මාන්තය ද සාගර ආර්ථිකය ඔස්සේ ඉදිරියට ගෙන යා හැකි ය. මේ සඳහා අලුත් ක්‍රියාමාර්ග ගත යුතු ය. එලෙස ම ලෝක ආර්ථිකය සමඟ බද්ධ විය යුතු ය. හුදෙකලා ආර්ථික සංවර්ධනයක් කිසිම රටකට අපේක්ෂා කළ නොහැකි ය. රජය මේ යථාර්ථය වටහාගෙන ක්‍රියාකරන බවක් පෙනී යයි.

මේ අතර අය වැය ලේඛනයට අදාළ තවත් අභියෝග කිහිපයක් තිබේ. ප්‍රධාන අභියෝගයක් ලෙස විදේශ ණය ගෙවීම සඳහන් කළ හැකි ය. කුමන ආණ්ඩුවක් ණය ලබාගත්ත ද, ණය හා පොලී ගෙවීමට පවතින රජය බැඳී සිටී. ගෙවී ගිය වසර තුනක කාලය තුළ ද ශ්‍රී ලංකා රජය ණය හා පොලී සාර්ථකව ගෙවා තිබේ. බදු බර අඩු කිරීම, ජනතාවට සහන ලබාදීම, විශාල රාජ්‍ය සේවයක් නඩත්තු කිරීම වැනි සාධක දෙස බලනවිට මෙය යම් අර්බුදයක් බව පෙනී යයි. එහෙත් එයට මුහුණ දිය යුතුව තිබේ. ඊට අදාළ උපායමාර්ග අය වැය ලේඛනය ඔස්සේ හඳුනාගත හැකි ය. රජයේ ආර්ථික දැක්ම මෙන්ම මුදල් අමාත්‍යවරයාගේ දක්ෂතාව ද අයවැය ලේඛනයෙන් දැකගත හැකි ය.

මෙතෙක් සිදුවී ඇති ඇතැම් පුරෝකථනවලින් පෙනී යන්නේ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා”, “ගම්පෙරළිය”, “ග්‍රාම ශක්ති” වැනි වැඩසටහන් කෙරෙහි රජයේ වැඩි අවධානය යොමුවී ඇති බව ය. එය ආර්ථික වශයෙන් ඉතා වැදගත් ය. එම වැඩසටහන් තුන ම ආර්ථිකයට සෘජු බලපෑමක් ඇති කරයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් ඔස්සේ ස්වයංරැකියාලාභීන් සේ ම ව්‍යාපාරිකයන් ද බිහිවනු ඇත. ව්‍යාපාරික ක්ෂේත්‍රය පුළුල්වීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වෙයි. චීනය වේගවත් සංවර්ධනයක් කරා ඇදී ගියේ ව්‍යාපාරිකයන්ට හා ව්‍යාපාරික සමාගම්වලට අනුග්‍රහය දැක්වීමට පටන්ගැනීමෙන් පසු ය. ශ්‍රී ලංකාව ද එය ආදර්ශයට ගැනීම වැදගත් ය. ව්‍යාපාර බහුල වනවිට රැකියා බහුල වෙයි. ආර්ථික ගනුදෙනු පුළුල් වෙයි.

රටක් දියුණු කිරීම සඳහා නායකයන්ට පුළුල් දැක්මක් තිබිය යුතු ය. අපේ නායකයන් දැන් එබඳු දැක්මකින් කටයුතු කරන බව පෙනෙයි. එක පැත්තකින් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ශක්තිමත් වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි. තව පැත්තකින් අධ්‍යාපනය නූතන ලෝකයට ගැළපෙන ලෙස නවීකරණය වෙයි. තවත් පැත්තකින් නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ශීඝ්‍රයෙන් යොමුවන බවක් පෙනෙන්නට තිබේ. මේ අනුව බලනවිට පෙනී යන්නේ මෙවර අයවැය ද අනාගතවාදී අයවැයක් විය හැකි බව ය.


නව අදහස දක්වන්න