අසල්වැසියන්ගේ යුද්ධය...! | දිනමිණ

අසල්වැසියන්ගේ යුද්ධය...!

ඉන්දියාව හා පාකිස්ථානය යළිත් යුද්ධයක පැටලී සිටිති. මෙය ඇවිලී ගියහොත් පළමුව දකුණු ආසියාවේ සාමය බිඳී යන අතර දෙවනුව එය ආසියාවටත් තෙවනුව එය සමස්ත ලෝකයටත් බලපානු ඇත. මෙහිලා අමතක නොකළ යුතු සාධක කිහිපයක් තිබේ. පළමුවන්න රටවල් දෙක ම න්‍යෂ්ඨික බලවතුන් වීම ය. දෙවන්න දකුණු ආසියානු ආර්ථිකයේ ගනුදෙනු බොහොමයක් මේ රටවල් දෙක සමඟ පැවැතීම ය. තෙවන්න සාක් සංවිධානයේ බලවත් රටවල් දෙක ද ඉන්දියාව හා පාකිස්ථානය වීම ය. යුද්ධයක් ඇවිලී ගියහොත් ඉහත සඳහන් ක්ෂේත්‍රවල සියලු කටයුතු අර්බුදයට යනු ඇත. තත්ත්වය සමහන් කිරීම සඳහා තුන්වන පාර්ශ්වයක මැදිහත්වීම වහා සිදුවිය යුතුය.

පවතින අවුල ආරම්භ වූයේ පසුගිය 14 වන දා පූල්වාමා දිස්ත්‍රික්කයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ය. මේ ප්‍රහාරයෙන් ඉන්දීය භටයෝ 46ක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. එය මරාගෙන - මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් වූ අතර ප්‍රහාරයේ වගකීම “ජායිෂ් - ඊ - මොහොමද්” නම් ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ. ඉන්දියාව මීට පළිගැනීමක් වශයෙන් 26 වන දා ගුවන් ප්‍රහාරයක් ක්‍රියාත්මක කළේ ය. මිරාජ් ජෙට් යානා උපයෝගී කරගෙන එල්ල වූ මේ ප්‍රහාරයෙන් ත්‍රස්තයන් 300 දෙනකු පමණ මියගොස් ඇතැ’යි වාර්තා වේ. මේ අතර ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් වෙඩි තබා බිම හෙළා තිබේ. එහි නියමුවන් ද අත්අඩංගුවට ගෙන ඇත.

රටවල් දෙක ම එකට - එක කරන බවක් පෙනෙන්නට තිබේ. ඉන්දියාවේ මතය වන්නේ පාකිස්ථානය බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිවලට පහසුකම් සපයමින් ඔවුන් ඉන්දියාවට පහරදීම සඳහා යොදාගන්නා බවය. ඉන්දියාව පමණක් නො ව; අමෙරිකාව ද මේ චෝදනාව ඉදිරිපත් කරයි. එහෙත් පාකිස්ථානය සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි. අමෙරිකාව හා පාකිස්ථානය අතර පැවැති දේශපාලන සම්බන්ධය පළුදු වූයේ බින් ලාඩන්ගේ ප්‍රශ්නය හේතු කරගෙන ය. පාකිස්ථාන දේශ සීමාවේ වනගත ප්‍රදේශයක බින් ලාඩන් සැඟ වී සිටි අතර අමෙරිකානු සීල් භටයන්ගේ රහසිගත ප්‍රහාරයකින් ඔහු ඝාතනයට ලක් විය. ඉන්දු - පාකිස්ථාන ගැටුම තුළ මෙබඳු අවශේෂ සිදුවීම් ගණනාවක් ද තිබේ.

ඉන්දීය අගමැති මෝදි මහතා මෙන් ම පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මහතා ද සාමයට ළැදි පුද්ගලයෝ වෙති. එහෙත් මේ ගැටුමේ දී නායකයන් දෙපොළ වෙතින් ම සාමයට අදාළ සාධක ඉදිරිපත් වන බවක් පෙනෙන්නට නැත. මෝදි මහතා ලබන අප්‍රේල්වලදී මැතිවරණයකට මුහුණ දිය යුතුය. ඒ අනුව ඔහු තමන්ගේ ගෞරවය හා ජනප්‍රියතාව කෙලෙසා ගන්නට කැමැති නැත. ඉම්රාන් ඛාන් මහතා බලයට පත් වී වැඩි කාලයක් ගත වී නැත. ඒ අනුව ඔහු ද තම ගෞරවය හා ජනප්‍රියතාව ආරක්ෂා කර ගත යුතුය. රටවල් දෙක අතර පවතින දිගුකාලීන අමනාපකම පහසුවෙන් මගහැරිය හැකි දෙයක් නොවේ. මේ අනුව නායකයන් හැඟුම්බර වුවහොත් යුද්ධය වඩාත් තීව්‍ර තත්ත්වයකට පැමිණ බලවත් විනාශයක් සිදුවිය හැකි ය.

ශ්‍රී ලංකාව ගතහොත් මේ රටවල් දෙකෙහි ම සමීප මිතුරකු ලෙස සැලැකිය හැකි ය. අපගේ ආර්ථික - දේශපාලනික හා සාංස්කෘතික සම්බන්ධතා රටවල් දෙක සමඟ ම තදින් බැඳී ඇත. ශ්‍රී ලංකාවට ඉන්දියාවේ පැත්ත ගෙන කතා කිරීමේ හැකියාවක් නැත. එලෙස ම ශ්‍රී ලංකාවට පාකිස්ථානයේ පැත්ත ගෙන කතා කිරීමේ හැකියාවක් ද නැත. අපට කළ හැක්කේ සාමය සඳහා මාර්ග සෙවීම පමණි. 1965, 1971, 1984 යනා දී ලෙසින් ඉන්දියාව හා පාකිස්ථානය අතර ගැටුම් ඇති වී තිබේ. 2003 දී දෙරට අතර අස්සන් තැබුණු සාම ගිවිසුමට පවා අපේ දායකත්වයක් තිබිණි. මේ සාම ගිවිසුම යළිත් කරළියට රැගෙන ආ යුතු අතර නව සාම යෝජනාවක් ගෙනඒම ද වැදගත් ය. සාක් සංවිධානය මෙහිලා පෙරමුණ ගන්නේ නම්; එය වඩාත් සුබදායක ය.

මුලින් ම ඉන්දියාව හා පාකිස්ථානය ගැටුමක් ඇති කර ගන්නේ කාශ්මීරය හේතුකරගෙන ය. කාශ්මීර ප්‍රශ්නය අදටත් විසැඳී නැත. ඉන්දියාව එක කලාපයක් ද, පාකිස්ථානය තව කලාපයක් ද පාලනය කරති. රටවල් දෙකෙහිම ආරක්ෂක අංශ හොඳින් සන්නද්ධව තම කලාපවල ද දේශ සීමාවල ද සංචාරය කරති. ඒ අතර වරින් - වර සුළු ගැටුම් ද ඇතිවෙයි. අද වනවිට කාශ්මීර ගැටලුව අතික්‍රමණය කළ තවත් සංකීර්ණ දේශපාලන හේතු - සාධක දෙරටේ හොඳ හිත බිඳ දමා ඇතැ’යි කියන්නට පුළුවන. අමෙරිකාව හා බටහිර ජාතීන් මේ කලාපයට සිදු කරන විවිධ බලපෑම් ද ගැටුම්කාරී පසුබිම උත්සන්න කරන බවක් පෙනී යයි. අමෙරිකාව පාකිස්ථානයට එල්ල කරන චෝදනා මේ අතින් ප්‍රමුඛ බව කිව හැකි ය. කුමක් වුව පවතින අවදානම් සහගත තත්ත්වය ලෝක බලවතුන්ගේ අවධානයට ලක්විය යුතුව තිබේ.

පාකිස්ථානු නායකයා ඉන්දියාවෙන් නැ‍ඟෙන චෝදනා මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන අතර තම රටේ ගෞරවයට හා ස්වාධීනත්වයට බාධාවක් ඇති වන ඕනෑම මොහොතක ඊට එරෙහි ව නැඟී සිටින බව කියා ඇත. එහි යටි අර්ථය වන්නේ ඉන්දියාව කරන ඕනෑම පහරදීමකට ප්‍රති-ප්‍රහාර එල්ල කරන්නට පාකිස්ථානය සූදානම් බව ය. ඉන්දීය අගමැති මෝදි මහතා සිය ගුවන් හමුදාවට පැසසුමක් කළ අතර රටේ ආරක්ෂාව ගැන කිසිදු බියක් හෝ සැකයක් ඇති කර ගත යුතු නැතැ’යි ජනතාවට කියා සිටියේ ය. එම ප්‍රකාශයෙහි යටි අරුත වන්නේ ද ඕනෑම පහරදීමකට ප්‍රති - ප්‍රහාර දීමට ඉන්දියාව සූදානම් බව ය. නායකයන්ගේ කතාවලින් පෙනී යන්නේ රටවල් දෙක ම බරපතළ යුද්ධයකට සූදානම් වන බව ය. එය අතිශයින් භයානක ය.

සාක් කලාපයේ බලවත් රටවල් දෙක ලෙස සැලැකිය හැක්කේ ඉන්දියාව හා පාකිස්ථානය යන රාජ්‍යයන් දෙක ය. මේ රටවල් දෙක අතර දිගු කාලීන යුද්ධයක් ඇති වුවහොත් ශ්‍රී ලංකාව, නේපාලය, බංගලිදේශය යන රටවලට එය ඍජු ලෙසින් බලපානු ඇත. නේපාලයට විදුලිය ලබා දෙන්නේ ඉන්දියාව ය. ශ්‍රී ලංකාව තුළ ඉන්දීය සමාගම් ගණනාවක් පවතින අතර දෙරට අතර ඇති ඍජු ආර්ථික ගනුදෙනු බලවත් ය. මේ හැරෙන්නට භූතානය, මාලදිවයින හා ඇෆ්ගනිස්ථානය යන රටවලට ද දෙරට ඇති යුද්ධය ඍජු ලෙසින් බලපානු ඇත. සාක් සංවිධානයේ නායක හමුවක් වහාම කැඳවිය යුතු යැයි යෝජනාවක් ගෙන ඒම වඩා වැදගත් ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මීට මැදිහත් වී තත්ත්වය පාලනය කළ යුතුය.

පාකිස්ථානය හා ඉන්දියාව අතර පැවැති යුද ගැටුම් කිහිපයක අද්දැකීම් අපට තිබේ. ඒවා බෙහෙවින් සෝචනීය වෙයි. මෙවර යුද්ධයක් ඇති වුවහොත් එය වෙනදාට වඩා භයානක වනු ඇත. එබැවින් අසල්වැසි රටවල මූලික වගකීම වන්නේ ගැටුම් නිරාකරණයට මාර්ග සෙවීමය.

 


නව අදහස දක්වන්න