අපිත් ඔබේ දරුවෝ | දිනමිණ

අපිත් ඔබේ දරුවෝ

ආචාර්ය සුනිල් රණසිංහ
(මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)

අබාධිතයන්, වෙනස් අවශ්‍යතා ඇති අය හෝ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් යන කුමන වදනින් අර්ථකථනය කළ ද ඔවූහු ද විශ්ව මානව ප්‍රකාශනයේ සියලු අයිතීන් ඇති ශිෂ්ට යැයි සම්මත සමාජ සාමාජිකයෝය.එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන කම්හල් මේ අය අමතක කර දමයි. සියවසකට පෙර ස්ත්‍රිය ද පුරුෂයාට හිමි අයිතීන්ගෙන් බැහැර කර තිබිණ. එකී අසාධාරණයට එරෙහි ව දෙවන ලිංගිකයන් ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බොහෝ රාජ්‍යයන් හි කතුනට සම අවස්ථා හිමි ව ඇත. සමස්ත ගෝලීය ජනගහනයෙන් බිලියනයක් එනම් සෑම පුද්ගලයන් 1/7 ක් කිසියම් ආබාධිත තත්ත්වයකට ගොදුරුවීම ඉතා කණගාටුදායකය. දියුණු නො දියුණු සෑම රාජ්‍යයක ම ශරීරික හා මානසික ආබාධිත තත්ත්වයට පත් පුද්ගලයන් ජනගහනයෙන් කිසියම් ප්‍රතිශතයක් දැක ගත හැකිය.ඇතැම් රාජ්‍යයන් තුළ මෙහි ඉහළ වර්ධනයක් ද ඇතැම් රාජ්‍ය තුළ අවමයක් ද දැක ගන්නට ලැබෙයි.

දියුණු රාජ්‍ය තුළ ඉතා ඉහළ විද්‍යාත්මක ප්‍රතිකාර හා අධ්‍යාපන ක්‍රමවේද හඳුන්වා දී ඇතත් නොදියුණු රාජ්‍යයන්ට ඒ සඳහා විශේෂඥ දැනුම හා ආයෝජනය සඳහා මුදල් නොමැතිකම නිසා අබාධිත දරුවෝ ඉතා අවාසනාවන්ත ජීවිතයක් ගත කරති. අබාධිතභාවය නිසා මෙවන් දරුවන් බොහොමකට සාමාන්‍ය දරුවකුට සමාජයේ හිමිවන ස්ථානය මෙන් ම වරප්‍රසාද අහිමිවෙයි. අධ්‍යාපනයේ සම අවස්ථා ගිලිහී යයි.සමාජ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා අන්තර්ග්‍රහණය නොවන නිසා නිසි පිළිගැනීමක් නො ලැබෙයි. එමෙන් ම නිසි ප්‍රතිකාර ක්‍රමයක් හා දැනුමක් නොමැති හෙයින් ඔවුන් රැකබලා ගැනීම සඳහා මවුපියන්ට හෝ පවුලේ සෙසු සාමාජිකයන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වෙයි. කෙසේවුව ද වර්තමානයේ මෙම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනෙස්කෝ ආයතනය විශාල කාර්යභාරයක් ඉටු කරයි.

ගෝලීය අබාධිතභාවය

සෑම වසරක ම දෙසැම්බර් 03 එක්සත් ජාතීන් ආබාධ සහිත පුද්ගලයන්ට ගෞරව දැක්වීමේ අන්තර්ජාතික විශේෂ අවශ්‍යතා දිනය ලෙස නම් කර ඇත. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිය සඳහා වූ පොදු එකඟතාව (Convention on the Rights of Persons with Disabilities) CRPD 2006 දෙසැම්බර් 13 දින ප්‍රකාශයට පත් 21 වන සියවසේ ප්‍රථම මානව හිමිකම් ප්‍රකාශනයයි. 2011 අප්‍රේල් මස රාජ්‍යයන් 147 ක් මෙම පොදු එකඟතාව සඳහා අත්සන් තබා ඇත. උක්ත ගිවිසුමට අනුව නව නීති සැකසීම, කල් ඉකුත් නීතී අහෝසි කිරීම වැනි සංශෝධන වෙත ඒ අනුව සාමාජික රාජ්‍ය යොමු විය යුතුය. සමාජය තුළ අබාධිත පුද්ගලයාගේ හිමිකම් හා වරප්‍රසාද කුමක්දැයි හඳුන්වා දී ඇත.

ලෝක ජගහනයෙන් බිලියනයක ජනයා එනම් ජනගහනයෙන් පුද්ගලයන් 1/7 ක් මානසික හෝ ශාරීරික ආබාධිත තත්ත්වයකට පත්ව සිටිති. වැඩිහිටියන් 11% ක් ආබාධිතභාවයෙන් පීඩා විඳිති. 80% ක් ආබාධිත පුද්ගලයන් සංවර්ධනය වෙමින් වතින රාජ්‍යයන් තුළ ජීවත් වෙති. එම සංඛ්‍යාවෙන් මිලියන සියයක් (100) දරුවන්ය.50% ක් ආබාධිත පුද්ගලයන්ට කිසිදු සෞඛ්‍ය රැකවරණයක් නො ලැබෙයි.සාමාන්‍ය දරුවකුට වඩා හතර ගුණයකින් අබාධිත දරුවා ප්‍රචණ්ඩත්වයට, ගෘහස්ත හා සමාජ හිංසනයට ගොදුරු වෙයි.යුනිසෙෆ් වාර්තා අනුව ලොව පුරා වීදි දරුවන්ගෙන් 30% ක් ආබාධිතය.ලෝක ජනගහනයෙන් 10% එනම් මිලියන 650 ක් පූර්ණ වශයෙන් ආබාධිතය. ඒ ලොව විශාලතම සුළු ජන කණ්ඩායමයි.

ස්ත්‍රිය ලිංගිකත්වය හා ආබාධිතභාවය නිසා විවිධ හිංසනවලට හා අතවරවලට ගොදුරු වෙයි. ආයු කාලය වසර 70 ඉක්මවන වැඩිහිටියෝ බොහෝ රාජ්‍යයන් හි ආසන්න වශයෙන් වසර 8 ක් හෝ 10 ආබාධිතභාවයෙන් පිඩා විඳිති.ලෝක බැංකු වාර්තාවලට අනුව ලොව දුප්පත් ජනයාගෙන් 20% ක් ආබාධිතය. සිය ප්‍රජාව තුළ ම ඔවූහු වරප්‍රසාද අහිමිවීමේ අපහසුතාවට පත් වෙති. ලොව පුරා මිලියන 30.6 ක ජනයා ඇවිදීමට, තරප්පු පෙළ නැ‍ඟීමට නොහැකියාවෙන් පෙළෙති. මිලියන 12 ක ජනයාට දෛනික ජීවිතයේ විවිධ කාර්යයන් සඳහා අනෙකාගේ උපකාර අවශ්‍ය වෙයි. එක් ඇසක් හෝ දෑස ම අන්ධභාවයට පත් පුද්ගල සංඛ්‍යාව මිලියන 8.1කි. රෝද පුටු භාවිත කරන සංඛ්‍යාව මිලියන 3.6 කි. ලොව පුරා දරුවන්ගෙන් 160 එක් අයකු autism spectrum disorder (ASD) බාහිර ලෝකය සමඟ සෘජු සබඳතා හීන කරන මානසික ව්‍යාධයකින් පෙළෙන බව පවසයි.

සිතිවිලි හා ආකල්ප

ළදරු වියේ දී හටගන්නා මෙම ව්‍යාධිය තරුණ සමයේ සිට වැඩිහිටි අවදිය දක්වා අඛණ්ඩ ව පවතී. ඇතැම් දරුවන්ට මෙම ව්‍යාධියත් සමඟ ස්වාධීනව ජීවත්වීමේ හැකියාව ඇත. එහෙත් ඇතමෙකුගේ ශාරීරික හා මානසික නො හැකියාව නිසා ජීවිත කාලය පුරා අනෙකුගේ උපකාරය මත යැපෙති. මනෝවිද්‍යාත්මක සාක්ෂි හා පර්යේෂණ අනුව හැසිරීම් ප්‍රතිකාර හා මවුපියන්ගේ හැකියා වර්ධන වැඩසටහන් මගින් සන්නිවේදන අපහසුතා හා සමාජ හැසිරීම් රටා ඉතා යහපත් තත්ත්වයකට වර්ධනය කිරීමේ හැකියාව ඇත.

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගල ජීවිතවලට මැදිහත්වීමෙන් සමාජය තුළ මුල්බැස ඇති පදනම් විරහිත සිතිවිලි හා ආකල්ප වෙනස් කොට ඔවුන් සමාජමය ජීවිතය සඳහා අන්තර්කරණය කළ හැක. ලොව පුරා විශේෂ අවශ්‍යතා හා ASD පුද්ගලයන් නොසලකාහැරීම හා ඔවුන්ගේ මානව අයිතීන් උල්ලංඝණය වැනි දෑ සාමාන්‍ය සිදුවීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානය හිංසනය හා ආපදාවන්ගෙන් ආබාධිත පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා නව දෙපාර්තමේන්තුවක් (Department of Violence and Injury Prevention and Disability) VIP හා සන්නිවේදනය කළ නොහැකි රෝගාබාධ පාලනය කළ හැකි (Department for Management of Noncommunicable Diseases) MND, නව අංශයක් නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකාවේ අභියෝගය

වර්තමානයේ පවතින වෛද්‍ය විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව මත දරු කළලයේ ස්වභාවය නිරීක්ෂණය කිරීමට සහ විකෘතිතා ඇත්නම් ප්‍රතිකාර කිරීමේ හැකියාව ද දියුණු වී ඇත. එහෙයින් මෙම පුද්ගලයන් සමාජ සංවර්ධන ක්‍රියාවලිය සඳහා දායක කර ගැනීමේ හැකියාව අනාගතයේ ඉතා පහසුවෙයි. ඔවුන් නිසි අධ්‍යාපන ප්‍රතිකාර ක්‍රමවේදයකට යොමු කොට සමාජ සංස්කෘතියට අන්තර්ග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය සත්කාර්යයකි. 2030 ධරණීය සංවර්ධන ඉලක්ක වැඩසටහන යටතේ ආබාධිත ප්‍රජාව අනාගත සංවර්ධන ක්‍රියාවලියේ හා මානව හිමිකම් අහිමි වීමේ හෝ සංවර්ධනය සඳහා සහභාගීත්වය ලබා ගැනීමට හේතුවක් නොවේ. ධරණීය සංවර්ධන වැඩසටහන එවන් පුද්ගලයන් සඳහා නව සංවර්ධන ක්‍රමවේද හා ඉලක්ක මෙන් ම අන්තර්ග්‍රහණ ක්‍රියා පිළිවෙතක් හඳුන්වා දී ඇත. උක්ත සංවර්ධන ප්‍රවේශය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සෑම සාමාජික රාජ්‍යයක ම යුතුකමකි. පොදු පහසුකම් වෙත ප්‍රවේශවීමේ සමාන අවස්ථා, රැකියා සඳහා අයිතිය - තාක්ෂණික සහාය නාගරික මෙන් ම ග්‍රාමීය දුරස්ථ ප්‍රදේශවල ද ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සංවර්ධනය කළ යුතුය.

ලංකාවේ ජනගහනයෙන් මිලියන 1.6 ක් ආබාධිත පුදගලයන්ය. එය සමස්ත රාජ්‍ය සේවක සංඛ්‍යාවට සමාන වෙයි. 2012 සංඛ්‍යා ලේඛනවලට අනුව එය 8% කි. පසුගිය වසරේ තක්සේරුවට අනුව ජනගහනයෙන් 10% ක් ආබාධිත පුද්ගලයන්ය. ජනගහනයෙන් සෑම පුද්ගලයන් 20 දෙනෙකුගෙන් එක් අයකු ආසන්න වශයෙන් කුමන හෝ ආබාධිත තත්ත්වයකට පත් ව ඇත. සෞඛ්‍ය අමාත්‍යංශයේ තක්සේරුවට අනුව 2040 වසර දී ලංකාවේ ආබාධිත ජනගහනය 24.2% කින් ඉහළ යයි. වයෝවෘධභාවය, මාර්ග අනතුරු රැකියා ස්ථානවල අනාරක්ෂිතභාවය මෙම තත්ත්වයට ප්‍රධානවශයෙන් හේතු සාධක වෙයි.

ශ්‍රී ලංකාව තුළ ආබාධිත පුද්ගලයන් විවිධ හිංසනයන්ට හා නොසලකා හැරීම්වලට ගොදුරු වේ. ඉතා අයහපත් සනීපාරක්ෂක ක්‍රම, සෞඛ්‍ය රක්ෂණයක් නොමැතිවීම, අවධානය යොමු නොවීම, නොදැනුවත්කම, සංස්කෘතික බාධක හා සීමා, අයිතීන් හා වරප්‍රසාද ගැන සැලකිලිමත් නොවීම, නිසි ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රියාවලියක් හඳුන්වා නොදීම, සාමාන්‍යයෙන් රැකියා සඳහා සම අවස්ථා හිමි නොවීම, කළ හැකි ආරක්ෂිත රැකියා සඳහා ප්‍රවේශවීමට ඇති බාධා වැනි දුර්වලතා දක්නට ලැබේ. එහෙත් ලංකාව 2007 වසර සිට එක්සත් ජාතීන්ගේ ආබාධිත පුද්ගලයන් සඳහා වූ ප්‍රඥාප්තියට එකඟව අත්සන් තබා ඇත. පුද්ගල අබාධිතභාවය ශාරීරික ව පමණක් නොව මානසික ව සහ ඉන්ද්‍රීය සංවේදිතාව මත රඳා පවතියි. එමෙන් ම වයෝවෘධභාවය නිසා ඇතිවන විවිධ රෝගාබාධ පුදගලයකු උක්ත තත්ත්වයන් යටතේ අපහසුතාවට පත් කරයි. පොදු ආයතනවලට ප්‍රවේශවීමේ පහසුකම් තවමත් බොහෝ පොදු ස්ථාන සහ ගමනාගමනයේ දී දක්නට නොමැත. ආබාධිත ජනයාගෙන් 40% ක් පමණ කිසිදු අධ්‍යාපන ක්‍රියාවලියකට සම්බන්ධ කර ගැනීමට රාජ්‍ය ප්‍රතිපත්ති අපොහොසත් ව ඇත. දෙනෙත් නොපෙනෙන දරුවන් සඳහා මූලික බ්‍රෙල් අධ්‍යාපනය සහ දෙසවන් නො ඇසෙන දරුවන් සඳහා සංඥා භාෂාව අනිවාර්ය කිරීම ඉතා වැදගත් කාලීන අවශ්‍යතාවකි. මක්නිසාදයත් අබාධිත ජනයාගෙන් 71% ක් පමණ විරැකියාව නිසා ජීවිත කාලය ම පීඩා විඳිති.

විශේෂ අධ්‍යාපනය

ලාංකික ආබාධිත ජනයාගෙන් 96% ක් කිසි දිනක අධ්‍යාපනය සඳහා සම අවස්ථා සහ උසස් අධ්‍යාපනයට ප්‍රවේශ නොවෙති. ආබාධිත දරුවන්ගේ ආසන්න වශයෙන් 50.000 ක් පමණ විශේෂ අධ්‍යාපන ඒකක හෝ වෘත්තීය අධ්‍යාපන ආයතනවල සේවය ලබති. එහෙත් එම අධ්‍යාපන ක්‍රමයේ නිසි ප්‍රමිතියක් දක්නට නොලැබේ. එම අවස්ථා ගතානුගතික සීමා තුළ කොටුවී ඇත.

1 අධ්‍යාපනය සඳහා සමාන අවස්ථා නොමැතිවීම

2 රුකියා අවස්ථා නො ලැබීම

3 සංස්කෘතික හා සමාජ ජීවිතය අහිමිවිම

4 දේපළහිමිකාරිත්වය දැරීමේ අයිතිය අහිමිවීම

5 විවාහයේ දී නො සලකා හැරීම හෝ අවස්ථා අහිමිවීම

6 විශේෂ අධ්‍යාපන ප්‍රතිකර්ම නොමැතිවීම එකී සීමාවන්ය.

යෝජනා හා නිර්දේශ

සෑම ග්‍රාම නිලධාරි වසමක ම සිටින දරුවන් ලේඛන ගත කිරීම, විශේෂතා අනුව වර්ගීකරණය කිරීම සෑම දරුවෙක් ම අවශ්‍ය වෛද්‍ය පහසුකම් සඳහා යොමු කිරීම සහ එම ප්‍රතිකාර පිළිපැදීමට මවුපියන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය ක්‍රියාකාරකමකි. ආබාධිත දරුවන් සඳහා වූ ගොලීය ප්‍රඥාප්තිය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම හුදු පොරෝන්දුවලට පමණක් සීමා නොවී සක්‍රීය ප්‍රායෝගික වැඩසටහන් මගින් අර්ථවත් විය යුතුය. දරුවාට කුඩා කල සිට ම අධ්‍යාපන ක්‍රියාකාරකමකට යොමු කිරීම සහ ඇගයුමට ලක් කිරීම, දෛනික සනීපාරක්ෂක ක්‍රමවේද, ක්‍රියාකාරකම් සඳහා දරුවා යොමු කිරීම, හැසිරීම් රටා අධ්‍යානය මගින් සැලසුම් කළ යුතුය. විශේෂ දක්ෂතා හඳුනාගෙන එම හැකියාවන් සංවර්ධනය සඳහා ප්‍රායෝගික ප්‍රතිකාරක අධ්‍යාපනයකට යොමු කිරීම තාක්ෂණික ක්‍රියාවලියකි. සමාජ සංස්කෘතිය සන්දර්භය තුළ අනෙක් දරුවන්ට සමගාමීව සම අවස්තා ලැබෙන පරිදි සමාජ අන්තර්ග්‍රහණය හා සාමූහිකත්වය දියුණු කළ යුතුය. එක් එක් දරුවාගේ විශේෂ අවශ්‍යතා හඳුනා ගෙන එම අවශ්‍යතාව මත මාසික වාර්තාවක් සකසා වෛද්‍ය සායන හා ප්‍රතිකාර වෙත යොමු කිරීම සහ වෘත්තීය පුහුණුවක් ලබාදීම මානුෂීය අයිතියකි. මන්ද ඔවුහු අපේ දරුවෝය.

නව අදහස දක්වන්න