ජිනීවා-හොඳහිත! | දිනමිණ

ජිනීවා-හොඳහිත!

මානව හිමිකම් කොමිසමේ හතළිස් වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී මේ දිනවල පැවැත්වෙයි. එය ආරම්භ වූයේ; පසුගිය විසිපස්වන දාය. මානව හිමිකම් කොමිසමේ සැසිවාර පැවැත්වෙන බොහෝ අවස්ථාවල දී ශ්‍රී ලංකාවේ අපි යම් තැති ගැනීමකට ලක්වන්නෙමු. ඊට හේතුව කුමන හෝ චෝදනා පත්‍රයක් මේ සැසිවාරවල දී අප වෙත එල්ලවන බැවිනි. එහෙත් මෙවර සැසිවාරය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව පිළිබඳ බලාපොරොත්තු දල්වන අදහසකින් ය. එම අදහස හා යෝජනාව ඉදිරිපත් කළේ මහා බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ලෝඩ් අහමඩ් මහතා ය. ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරැකීම අතින් ඉදිරිගාමී පියවර රැසක් ගෙන ඇති බව ඒ මහතා පැහැදිලි කරයි.

අහමඩ් මහතාගේ විශේෂ අවධානයට ලක් වූ සාධක දෙකක් මෙහිලා උපුටා දැක්වීම වැදගත් ය. පළමු සාධකය වන්නේ උතුරේ හමුදාව භාරයේ පැවැති දෙමළ ජනතාවගේ ඉඩම් නැවත එම ජනතාව වෙත ම පවරා දීම ය. දෙවන සාධකය වන්නේ ප්‍රතිසන්ධානයට අදාළ කාර්යාලයක් පිහිටුවීමට පියවර ගැනීම ය. මානව හිමිකම් කොමිසම ගිය වසරේ සැසිවාරයේ දී මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර තිබිණි. ශ්‍රී ලංකා රජය වැඩි කලක් යෑමට ප්‍රථම ප්‍රතිසන්ධාන කාර්යාලය පිහිටවූ අතර දෙමළ ජනතාව සතු ඉඩම් නැවත පවරා දීම ඒ වන විටත් ආරම්භ කර තිබිණි. ඉඩම් පවරාදීමේ වැඩසටහනට අනුව පවරාදිය යුතු ඉඩම්වලින් 90% කටත් වැඩි කොටස මේ වන විටත් හිමිකරුවන් වෙත පවරා දී ඇත.

තත්ත්වය තවදුරටත් පැහැදිලි කරන මහා බ්‍රිතාන්‍ය නියෝජිතවරයා ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරැකීම අතින් ධනාත්මක පියවර ගෙන ඇතැ’යි පෙන්වා දෙයි. ඒ අනුව බ්‍රිතාන්‍යය තවදුරටත් ශ්‍රී ලංකාව සමඟ මානව හිමිකම් සුරැකීමට අදාළ කටයුතු කරගෙන යන බව කියා සිටී. මානව හිමිකම් සැසිවාර අතර දී මහා බ්‍රිතාන්‍ය නියෝජිතයන් මීට පෙර ශ්‍රී ලංකාවට මේ අයුරින් පැසසුම් කර නැත. මෙය අපට ලබා දුන් සහතිකයක් ලෙස සැලැකිය හැක්කේ කරුණු දෙකක් නිසා ය. එක; ලෝකයේ මානව හිමිකම් පිළිබඳ උනන්දු වන ප්‍රධාන රාජ්‍යයක් ලෙස මහා බ්‍රිතාන්‍යය සලකනු ලැබේ. දෙක; මෙවර සැසියේ දී ද මහා බ්‍රිතාන්‍ය රටවල් කිහිපයකට මානව හිමිකම් චෝදනා එල්ල කර ඇත.

ශ්‍රී ලංකාවට මානව හිමිකම් පිළිබඳ ‍චෝදනා එල්ලවන්නට වූයේ තිස් අවුරුදු යුද්ධයත් සමඟය. බිහිසුණු ත්‍රස්තවාදයක් පරාජය කිරීම සඳහා එම යුද්ධය පැවැතුණේ වුව මානව හිමිකම් ආරක්ෂා කිරීමට විවිධ ගිවිසුම් ඔස්සේ අපි බැඳී සිටින්නෙමු. ඒ හැරත් මානව හිමිකම් ආරක්ෂා කිරීම මානව පැවැත්මේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සලකනු ලැබේ. යුද්ධයක් අවසන් වූ වහාම එහි වින්දිතයන්ගේ ගැටලුවලට සවන් දීමත්, දෙපාර්ශ්වය අතර සංහිඳියාවට කරුණු සැලැසීමත් ශිෂ්ට සම්පන්න සමාජයක හා නීතිගරුක රාජ්‍යයක ක්‍රමය වෙයි. එහෙත් යුද්ධය නිමා වූ සැණෙන් ශ්‍රී ලංකාව එබඳු ස්ථාවරයකට නොගිය බව පැහැදිලි ය. එය වැරැද්දක් ලෙස සළකා නැවත නිවැරැදි පියවර ගැනීමට වර්තමාන දේශපාලන අධිකාරිය පියවර ගෙන තිබේ. එය වැදගත් ය.

යුද්ධයට හා භීෂණයට මුවා වී නීතියට පටහැනි ක්‍රියාවන් සිදු විය හැකි ය. යුද්ධ පැවැති සෑම රටකම පාහේ මේවා අඩු - වැඩි වශයෙන් සිදු වී ඇත. එහෙත් නීතිගරුක සමාජය ඊට ප්‍රති-උත්තර ලබා දෙන්නේ වින්දිතයන්ගේ හඬට කන්දීමෙන් ය. යුද-ගැටුම් පැවැති රටවල් ගණනාවක වින්දිතයන් උදෙසා කොමිෂන් සභා පත්කර ඇත. මෙහිදී වින්දිතයාට සිය කරුණු දැක්වීම සඳහා ද, සත්‍යය හෙළිදරව් කිරීම සඳහා ද, තම දුක තුනීකර ගැනීම සඳහා ද අවස්ථාව ලැබේ. මේ අතර චූදිතයන්ට වරද පිළිගැනීමට හෝ සමාව ඉල්ලා සිටීමට හෝ අවස්ථාව ද මෙයින් ලැබේ. එය ප්‍රතිසන්ධානයට ලබාදෙන අවස්ථාවකි. අපගේ ප්‍රතිසන්ධාන කාර්යාලයට ද ඒ අයුරින් ක්‍රියා කිරීමේ හැකියාව ඇත.

උතුරේ වාම දේශපාලනයේ නායකයකු ලෙස ක්‍රියාකළ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වරක් සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මෙහිලා උපුටා දැක්වීම වැදගත් ය. එදා ඔහු කියා සිටියේ එක්කෝ අපේ ජනතාව ආරක්ෂා කරන්න! එසේ නැතහොත් අපට වෙන් වී යන්නට ඉඩ දෙන්න! යන්න ය. මෙය දේශපාලන වශයෙන් වටහාගැනීමට බොහෝ දෙනා අසමත් වූහ. රටේ සියලු ම ජාතීන් ආරක්ෂා කිරීමට ද, ඔවුනට සමාන අවස්ථා ලබාදීමට ද රජයක් ක්‍රියා කළ යුතු ය. මීට සතියකට පමණ පෙර දී ජනාධිපතිවරයා මෙන් ම අග්‍රාමාත්‍යවරයා ද උතුරට ගියහ. එහි ගොස් සාමාන්‍ය ජනතාවගේ හඬට කන් දුන්හ. දකුණේ දේශපාලකයන් මෙන් ම නායකයන් ද උතුරට හා නැඟෙනහිරට ගොස් ගැටලු සාකච්ඡා කරන සැලැසුමක් අපට තිබුණේ නැත. එය ආරම්භ වී ඇත්තේ මෑතක දී යැයි කියන්නට පුළුවන.

සාමයට උනන්දුවීමත්, මානව හිමිකම් සම්බන්ධයෙන් සංවාද කිරීමත් දේශපාලන දුර්වලතාවක් ලෙස සලකන පිරිසක් ද ශ්‍රී ලංකාවේ සිටිති. මේ අය සංහිඳියා වැඩසටහන්වලට බාධා ඇතිකරන අතර ජාතිවාදය හා ආගම්වාදය ව්‍යාප්ත කිරීමට පසුබිම සකස් කරති. වාර්ගික අතින් ගතහොත් සෑම ජනවර්ගයක් අතර ම එබඳු අය සිටිති. අවම ලෙස නීතිය හරිහැටි ක්‍රියාත්මක විය යුතු බවවත් සමහරු නො පිළිගනිති. දියුණු රටවල ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ගැන සළකා බලන විට අපේ සමාජය පවතින්නේ බොහෝ පහළ ස්ථරයක ය. පළමුව මේ තත්ත්වය වටහාගත යුතු ය. දෙවනුව එය නිවැරැදි කිරීම සඳහා පියවර ගත යුතුය.

ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වූ ඉන්ද්‍රකුමාර් ගුජ්රාල් මහතා වරක් කියා සිටියේ අපේ රටවල් දෙක ම දීප්තිමත් හා කැපී පෙනෙන ‍පාර්ලිමේන්තු ක්‍රමයකට හිමිකම් කියන බව ය. එහි අර්ථය වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ඉන්දියාව මෙන් ම ශ්‍රී ලංකාව ද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන ඇති බවය. මේ කීර්තිය ඉදිරියටත් පැවැතිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය යනු ලෝකයේ දියුණු ම පාලන ක්‍රමවේදය යැයි පිළිගැනීමක් තිබේ. මානව හිමිකම් සුරැකීම මෙන් ම සාමය තහවුරු කිරීම ද, නීතියේ ආධිපත්‍යය රැකගැනීම ද ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ වේ. එලෙස ම ජනතාව එහිදී ප්‍රධාන වෙයි. ජනතාව යනු එක් ජන කොට්ඨාසයක් නො වේ. ඒ බව පිළිගත යුතුව තිබේ.

මහා බ්‍රිතාන්‍යය මානව හිමිකම් කොමිසම හමුවේ ලබා දුන් ප්‍රකාශයෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකා රජය සාමය හා මානව හිමිකම් සම්බන්ධයෙන් නිවැරැදි ස්ථාවරයක පසුවන බව ය. මෙය සුරක්ෂිත කරගැනීම සඳහා ඉදිරි පියවර ගැනීමට රටේ නායකයන් වගබලාගත යුතු ව තිබේ.


නව අදහස දක්වන්න