සුපර්සන් තහනම ඉවත් කරන්නැයි ඉල්ලූ යෝජනාවෙන් පාපන්දු විධායක සභාව රත්වෙයි | දිනමිණ

සුපර්සන් තහනම ඉවත් කරන්නැයි ඉල්ලූ යෝජනාවෙන් පාපන්දු විධායක සභාව රත්වෙයි

ප්‍රින්ස් ගුණසේකර

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලි නීති උල්ලංඝණය කිරීම හේතුමත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන තරග කමිටුව විසින් වසර දෙකක් තහනමට ලක්කොට ඇති බේරුවල සුපර්සන් ක්‍රීඩා සමාජයේ තහනම ඉවත් කරන ලෙස ඉල්ලා පාපන්දු විධායක සභාවට ඉදිරිපත්වූ යෝජනාවකින් උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙයි. වෙන්නප්පුව නිව්යංග්ස් ක්‍රීඩා සමාජයේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා පසුගියදා පැවැති පාපන්දු සම්මේලන විධායක සභාවේදී මේ තහනම පිළිබඳ ප්‍රශ්න කොට ඇති අතර මෙවැනි සිදුවීම් වලින් පාපන්දු ක්‍රීඩාව විනාශයට පත්වන බව පැවැසීමත් සමග මේ උණුසුම් තත්ත්වය හටගෙන ඇත.

සුපර්සන් ක්‍රීඩා සමාජය පළමු පෙළ දක්වා පහත හෙලුවද, වසර දෙකක තහනම අසාධාරණ එකක් බව පාපන්දු සභාපතිවරයා හා ලේකම්වරයා පසුව පිළිගෙන ඉදිරියේදී යම් පියවරක් ගන්නා බව පවසා ඇත. එහෙත් පනවා ඇති තහනම ඉවත් කිරීමේ නිශ්චිත දින වකවානු විධායක සභාවේදී ප්‍රකාශවී නොමැත. මේ අතර පනවා ඇති දඬුවමට එරෙහිව බේරුවල සුපර්සන් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අභියාචනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා පාපන්දු ප්‍රාදේශීය සංවර්ධන සභාපති හා සිටිලීග් සභාපති ආර්. පුවනේන්ද්‍රන් මහතාගේ සහයෝගය ලැබී ඇත.

කොළඹ සුගතදාස පිටියේ පැවැති රිනවුන් - බේරුවල සුපර් සන් අතර තරගයේ ‘ඕෆ් සයිඩ්’ ගෝලයක් පිළිබඳ විනිසුරු සමග ඇතිකරගත් මත ගැටුමකින් පසු පිටියෙන් ඉවතට ගිය සුපර් සන් ක්‍රීඩා සමාජය වසර 2021 දක්වා ප්‍රධාන තරගාවලියෙන් නෙරපා දැමූ අතර, සුපර් සන් සභාපති මොහොමඩ් රිස්වාන්, ලේකම් මොහොමඩ් රම්සාන්, පුහුණකරු ඔගස්ටින් ජෝර්ජ්, ගෝල් කීපර් පුහුණුකරු මොහොමඩ් රිසාන් යන මහත්වරුන්ට පාපන්දු ක්‍රීඩාව හා පාපන්දු කළමනාකාරීත්වය වසර 3කට තහනම් විය.

එයට අමතරව සුපර් සන් පිලට ක්‍රීඩා කරන නයිජීරියානු ක්‍රීඩක ඔලුවට්සන් ඩැනියෙල් ඇතුළු මොහොමඩ් මුෂිබර්, මොහොමඩ් අසාත්, මොහොමඩ් රිෆ්කාන්, මොහොමඩ් හර්ෆාන් හා මොහොමඩ් ෆසාන් යන ක්‍රීඩකයන්ටද පාපන්දු ක්‍රීඩාව තහනම් බවට තීන්දුවක් ප්‍රකාශ විය.

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියෙන් සුපර් සන් පිල නෙරපා දමන අවස්ථාව වනවිට තරග 13කට සහභාගීවී එයින් තරග 4ක් ජයගෙන තරග 6ක් ජය පරාජයවී තරග 3ක් ජය පරාජයෙන් තොරව නිමාකොට තිබිණි. තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 18න් සුපර් සන් පිල 11වැනි ස්ථානයේ රැදී සිටියේය.

පාපන්දු සම්මේලනය ලබාදුන් දඬුවම අනුව චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියෙන් ඉවත් කළ සුපර් සන් පිලට තරගාවලි දෙකකට සහභාගීවීමේ අවස්ථා අහිමි වේ. ඔවුන්ට එෆ්. ඒ. කුසලාන තරගාවලිය අහිමිවන අතර දෙවැනි පෙළ තරගාවලියේ සිට යළි පාපන්දු ක්‍රීඩාවට පිවිස උසස්වීම් ලබාගත යුතුව තිබේ.

නව අදහස දක්වන්න