බස් හා සිංදු! | දිනමිණ

බස් හා සිංදු!

පොදු ප්‍රවාහනයට ‍යොදා ඇති බස්රථවල ගීත වාදනය කිරීම හා වීඩියෝ පට පෙන්වීම සම්බන්ධයෙන් කිසියම් ප්‍රමිතියක් ඇතිකිරීමට ගමනාගමන කොමිසම අපේක්ෂා කරයි. දැනට ධාවනය වන බස්රථවලින් වැඩි ප්‍රමාණයක සී.ඩී. වාදන යන්ත්‍ර, වීඩියෝ ප්‍රදර්ශනය කරන මොනිටර් හා කැසට් යන්ත්‍ර තිබේ. මේවා මඟින් වාදනය කළ යුතු දේවල් තීන්දු කරන්නේ එක්කෝ කොන්දොස්තර මහතා ය. නැතහොත් රියැදුරු මහතා ය. මේ පුද්ගලයන් කැමැති - කැමැති දේවල් අසන්නට හා නරඹන්නට මගීන්ට සිදු වී ඇත. කන පැලෙන තරම් අධික ශබ්දයෙන් යුතුව මේවා වාදනය වන බව ද දැකගන්නට ලැබේ. මේ තත්ත්වය මගීන්ට හිරිහැරයකි.

ගමනාගමන කොමිෂන් සභාව උක්ත කාරණයට අදාළව විද්වත් ක‍මිටුවක් පත්කොට එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙන්වා දෙයි. ශබ්ද නිකුත් කළ යුතු ඩෙසිබල් ගණන ද කොමිසම විසින් තීරණය කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් නීතියක් පැන වූ පසු එය අකුරට ම ක්‍රියාත්මක කරන බව ද ඊට එරෙහි ව ක්‍රියා කරන අයට නීතිය මඟින් කටයුතු කරන බව ද කොමිෂන් සභාව පෙන්වා දෙයි. මෙවැන්නක් ක්‍රියාත්මක කිරීම ගැන මගී සමාජවල ප්‍රසාදය හිමිවනු ඇත. එහෙත් බස්රථ තුළ මෙවැන්නක් අකුරට ම ක්‍රියාත්මක කිරීම තරමක් දුෂ්කර බව ද පෙනී යයි. නිදසුනක් ගතහොත් සිදුවීම් නිරීක්ෂණය කරන්නේ කවුද? නිරීක්ෂණය කරන්නේ කෙසේ ද? යන ගැටලුව පවතී.

අතීතයේ දී ද මෙබඳු නීති - රීති හඳුන්වා දී ඇත. රියැදුරන්ට හා කොන්දොස්තරවරුන්ට නිල ඇඳුමක් ලබාදීම එක් නීතියකි. එය ද හරිහැටි ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. කොන්දොස්තර තැන සිය කාඩ්පත අස්සන් කිරීමට යන අවස්ථාවේ දී පමණක් නිල ඇඳුම පැලඳගෙන සිටිනු දැකිය හැකි ය. ඉනික්බිති ඔහු එය ගලවා සුපුරුදු ඇඳුමට බසී. රියැදුරන්ගෙන් බහුතරය නිල ඇඳුම් පාවිච්චි නොකරති. බස් රථවල ගීත වාදනය සම්බන්ධයෙන් නීතියක් ද එක්තරා කාලයක දී ක්‍රියාත්මක විය. අද වන විට එය ද අක්‍රීය වී ඇත. නැවතත් බස් රථ රියැදුරුට හා කොන්දොස්තරට අවශ්‍ය ලෙස පාවිච්චි වන බවක් දැකිය හැකි ය.

ප්‍රවාහන කොමිසම මඟින් කරන ලද රිය අනතුරු පිළිබඳ නිරීක්ෂණයක දී පෙනී ගොස් ඇත්තේ වැඩි ම අනතුරු ප්‍රමාණයක් බස් රථවලින් සිදුවන බව ය. එය භයානක තත්ත්වයකි. බස් රථයකට මගියකු ගොඩවන්නේ විශ්වාසය හා ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ඇතිව ය. එහෙත් මහාමාර්ගයට ප්‍රවේශ වන බස්රථ එතැන් සිට රේස් ධාවනයේ යෙදෙයි. අධික ශබ්දය සහිත නළා හඬවමින්, මාර්ග නීති කඩමින් ඉදිරියට ඇදෙන බස් රථ අප දැක තිබේ. මෙලෙස ධාවනය වන බස් රථ පදිකයාට, සෙසු වාහනවලට පමණක් නො ව; බස් රථය තුළ සිටින මගියාට ද හිසරදයකි. පුදුමයකට මෙන් මගීන් මේ පිළිබඳ වාද කරන්නේ නැත. පැමිණිල්ලක් යොමු කරන කෙ‍නකු දැකිය හැක්කේ ද කලාතුරෙකින් ය.

බස්රථ ධාවනය කරන රියැදුරන් තුළ ද ඒවායෙහි ප්‍රවේශ පත්‍ර නිකුත් කරන හා මුදල් එකතු කරන කොන්දොස්තරවරුන් තුළ ද ස්වයං විනයක් පැවැතිය යුතු ය. එහෙත් පෞද්ගලික බස්රථ සේවකයන් බහුතරයක් ළඟ විනයක් - ශික්ෂණයක් - සදාචාරයක් නැත. සමහරුන් මගියකුට කතා කරන්නට පවා දන්නේ නැත. මගීන් හා කොන්දොස්තරවරුන් අතර ඇතිවන ආරවුල් ගැන දිනපතා වාර්තා වෙයි. මේවාට බොහෝ විට හේතු - සාධක වී ඇත්තේ කොන්දොස්තරලාගේ නොහික්මුණු භාවය යි. අධික ශබ්දයෙන් යුතුව මගීන්ට නොසුදුසු ගීත හා වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කරනුයේ ද ඔවුන් ම යැයි කිව හැකි ය. ලංගම සේවකයන් බඳවා ගැනීමේ දී අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කරන’මුත් පෞද්ගලික අංශය තුළ එවැන්නක් නැත.

ලංගමය හොඳ හා දක්ෂ රියැදුරන් බිහිකළා පමණක් නො ව; විනීත කොන්දොස්තරලා ඇතිකරන්නට ද කටයුතු යොදා තිබිණි. ඒ සඳහා වූ විධිමත් වැඩසටහන් එදා ක්‍රියාත්මක විය. අද ලංගමය තුළ ද එබඳු පුහුණු වැඩසටහන් නැත. එය බලවත් පාඩුවෙකි. ශ්‍රී ලංකාවේ මගී බස්රථ අද ඉතා තියුණු තරඟයක යෙදී සිටී. ආදායම් ඉපැයීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත. ඒ අනුව අනෙකා පරයා සිය බස් රථය මගීන්ගෙන් පුරවා ගැනීම රියැදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේද ඉලක්කය වී ඇත. මොවුන් අතර ඇත්තේ මාරාන්තික ධාවන තරගයකි. ශක්තිවන්තයා ද, උපාය - මාර්ග දන්න තැනැත්තා ද තරගයෙන් දිනති. සෙස්සෝ දෛනිකව පරාජය වෙති.

මේ සියල්ලෙන් ම පෙනී යන්නේ පොදු ප්‍රවාහනයේ පවතින දුර්වලතා යැයි කියන්නට පුළුවන. විශේෂයෙන් මගී ප්‍රවාහනයේදී මගියාගේ ගෞරවය, ආරක්ෂා විය යුතුය. ඇතැම් බස්රථ තුළ දී අසන්නට හා නරඹන්නට සිදුවන ගීත පියාට හා දුවට එක තැන සිට රසවිඳින්නට බැරි ය. මවට හා පුතාට එක තැන සිට රසවිඳින්නට බැරි ය. තවත් සිංදු හා දර්ශන නරඹන විට මගියාට ලැජ්ජා සිතෙයි. පුදුමයකට මෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ තුළ හා බස් රථ තුළ ද ඉහත කී වර්ගයේ ගී - සිංදු හා දර්ශන වාදනය වෙයි. කුඩා දරුවකුගේ මනස මේ මගින් විකෘති වුවහොත් එය අනාගත පරපුරට අදාළ සමාජ ප්‍රශ්නයක් වනු ඇත. පාසල් වෑන් රථ හා පාසල් බස් රථ තුළ වාදනය වන ගීත හා සංගීත පද්ධති ගැන විශේෂ පරීක්ෂාවක් නිරන්තරයෙන් ම සිදුවිය යුතු ය.

මේ වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟ මිනිසා සතු නිදහස හා අයිතිය ගැන තවත් සංවාදයක් ඇතිවන්නට පුළුවන. එනම්; එකිනෙකාගේ පෞද්ගලික රසවින්දනයට නීති සපයන්නේ කෙසේ ද යන්න ය. නිදහස රැකිය යුතු ය. අයිතිවාසිකම් ද ලබාදිය යුතු ය. එහෙත් ඒවා සිදුවිය යුත්තේ සමාජයේ සෙසු කොටස්වලට අවහිරයක් නො වන අයුරින් ය. එංගලන්තයේ වීදියක් දිගේ පුද්ගලයෙක් පොල්ලක් කරකවමින් ගමන් කළේ ය. එම පොල්ල පාරේ ගමන් කළ පුද්ගලයකුගේ නාසයේ වැදිණි. අනතුරට ලක්වූ පුද්ගලයා පොලු කරකවන්නාගෙන් විමසා සිටියේ ප්‍රසිද්ධ පාරක පොලු කරකවන්නේ ඇයිද කියාය. පොලු කරකවන්නාගේ පිළිතුර වූ‍ෙය් එය මගේ නිදහස යන්න ය. අනතුරට පත් වූ පුද්ගලයා නැවත කියා සිටියේ ඔබේ නිදහස මගේ නාසය ළඟින් අවසන් විය යුතු බව ය.

බස් සේවකයන්ට ද ඉහත කතාව හොඳ ආදර්ශයකි. මගීන්ගේ හිසරදයට හේතුවන සිංදු වාදනය කිරීමේ නිදහසක් බස් සේවකයන්ට නැත.

 


නව අදහස දක්වන්න