ෂර්මිලා පැවරූ පෙත්සම නිෂ්ප්‍රභ කරන්න | දිනමිණ

ෂර්මිලා පැවරූ පෙත්සම නිෂ්ප්‍රභ කරන්න

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි කොළඹ නාගරික මන්ත්‍රිනී ෂර්මිලා ගෝනවල පැවරූ පෙත්සම මඟින් අධිකරණයට කරුණු වසන්කර ඇති හෙයින් පැමිණිල්ල නිෂ්ප්‍රභ කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විකුම් දි අබෲ මහතා අභියාචනාධිකරණයෙන් ඊයේ (26) ඉල්ලා සිටියේය.

අධිකරණයට කරුණු වසන්කර පවරා ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති රාජ්‍ය බැංකු විසින් දැනටමත් ප්‍රතිඋත්තර ඉදිරිපත් කරමින් සත්‍ය කරුණු හෙළිදරව් කර ඇති බවට මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කළේය.

පෙත්සම වෙනුවෙන් දෙපාර්ශවය දැක්වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විත්තියේ මූලික විරෝධතාවය පිළිබඳ නියෝගය මැයි 21 දින ඉදිරිපත් කරන බවත්, දෙපාර්ශවයේ ලිඛිත දේශන අප්‍රේල් 01 දින අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් දන්වා සිටියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවර‍ෙයකුව සිටිමින්, කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹෙමින් රජය සමඟ ව්‍යාපාර කටයුතුවල නියැළී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවර‍ෙයකුට රජය සමඟ ව්‍යාපාර කිරීමට නොහැකි බැවින් මන්ත්‍රී ධුරය අහෝසිකරන කෝවොරන්ටො රීට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.

වික්‍රමසිංහ මහතා ලේක්හවුස් ප්‍රීන්ටර්ස් සමාගමේ කොටස් හිමිකරුවකු ලෙස රජය සමඟ ව්‍යාපාරවල නියැළී ඇති බවද පෙත්සම මඟින් කරුණු ඉදිරිපත් කර තිබිණි.

පොදු ජන පෙරමුණ කොළඹ නාගරික මන්ත්‍රිනී ෂර්මිලා ගෝනවල පැවරූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රනිල් වික්‍රමසිංහ, අකිල විරාජ් කාරියවසම් මහත්වරුන් හා ලංකා බැංකුව, මහජන බැංකුව නම්කර තිබිණි.

ඊයේ (26) මෙම පෙත්සම ශිරාන් ගුණරත්න හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරුවන් දෙපල ඉදිරියේ විභාග කළේය.

වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙත්සමට මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ අතර දෙපාර්ශවයේ මූලික දේශන අවසන් කළ අතර අප්‍රේල් 01 දින ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය දන්වා සිටියේය.

මූලික විරෝධතාව පිළිබඳ නියෝගය මැයි 21 දින ලබාදීමට නියමිතය.

රෝෂාන් තුෂාර


නව අදහස දක්වන්න