රූකාන්තට පහරදීම! | දිනමිණ

රූකාන්තට පහරදීම!

සංගීත ශිල්පී රූකාන්ත ගුණතිලක මහතාට පහරදීමත්: ඔහුගේ මෝටර් රථයට අලාභහානි සිදුකිරීමත් අතිශය නින්දිත ක්‍රියාවක් බව සඳහන් කළ යුතුය. කලාකරුවන්ට පහරදීම, තර්ජනය කිරීම, අයුතු බලපෑම් සිදුකිරීම යහපත් සමාජය කිසිවිටෙක අනුමත කරන්නේ නැත. කලාකරුවා සැලකෙන්නේ ආරක්ෂාකරගත යුතු; ජාතික වස්තුවක් හැටියට ය. නූතන සමාජයේ ඇතැම් ‍කොටස් සාරධර්ම හඳුනන්නේ නැත. යුක්තිය - අයුක්තිය දන්නේ නැත. කොටින් ම ඔවුන් සමාජය සමඟ යහපත් ගනුදෙනු ඇතිකර ගැනීමට දන්නේ ද නැත. රූකාන්ත මහතාට පහර දී ඔහුගේ මෝටර් රථයටත් අලාභහානි සිදුකරන්නට ඇත්තේ එබඳු අමන පිරිසක යැයි අනුමාන කරන්නට පුළුවන.

සිද්ධිය නිරීක්ෂණය කරන විට පෙනීයන්නේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවැති ගායනා තරගයක් මීට හේතු - සාධක වී ඇති බව ය. ගායනා තරගයේ විනිශ්චයකාරයකු හෙවත් තීරකයකු ලෙස රූකාන්ත ගුණතිලක මහතා ක්‍රියා කර ඇත. මේ තරගයෙන් ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි වූ තරගකරුවකුගේ ආධාරකරුවන් පසුව එම ස්ථානයට පැමිණ තීරකයාට පහර දී ඇත. ගායනා තරගය සංවිධාන කළ සංවිධායකයන් සිද්ධිය සමහන් කිරීම සඳහා ඉදිරිපත් වී නැති බවක් ද පෙනෙන්නට තිබේ. එයින් පෙනීයන්නේ ඇතැම් සංවිධාන හා ආයතන තරගයක් හෝ වැඩසටහනක් හෝ නිසි ලෙස පැවැත්වීමට නොදන්නා බව ය.

ගායනා තරග, නැටුම් තරග, රියැලිටි සංදර්ශන ආදියෙන් ශ්‍රී ලංකාවට අඩුවක් නැත. මුළු රට ම පාහේ මේවායින් උන්මාදයට පත් වී ඇත. තරුවක්වීමේ සිහිනය යොවුන් පරපුරට පමණක් නො ව; ළමා පරපුරට ද කාවැදී ඇත. ඇතැම් මාපියෝ දරුවාට ද වඩා මේ ගැන උනන්දු වෙති. කෙනකුගේ සහජ හැකියාව උදෙසා වේදිකාවක් තනාදීම සාධනීය ක්‍රියාවකි. දක්ෂ දරුවන් තෝරා - බේරාගෙන ඔවුන් අගය කිරීම ඔවුන්ට ත්‍යාග ලබාදීම නරක දෙයක් නොවේ. එයින් දරුවාගේ අනාගතය ශක්තිමත් වනු ඇත. එහෙත් තරුවක්වීමේ අපේක්ෂාවෙන් ජීවිතයේ වටිනා දේවල් අත්හැරීම බලවත් පාඩුවකි. එලෙස ම එය අපරාධයකි.

මෙබඳු තරගවලදී ගැටුම් ඇති නොවන පසුබිමක් ඇති කිරීමට සංවිධායකයන් උත්සුක විය යුතුය. මෙහිලා එවැන්නක් සිදු වී නැති බව පෙනෙයි. අනෙක් අතට පරාජයක් භාරගත නොහැකි තැනැත්තන් තරගවලට ඉදිරිපත් නොවිය යුතුය. විනිශ්චය මණ්ඩලයක තීරණය හිස නමා පිළිගත නොහැකි අය ද මෙබඳු තරගවලට ඉදිරිපත් නොවිය යුත්තෝ ය. සිද්ධියට සම්බන්ධ තරගකරුවා මෙන් ම ඔහුගේ සහචරයන් ද අධිමානයකින් පෙළෙන බව සිතන්නට පුළුවන. මෙය රෝගයකි. රූකාන්ත මහතා සිංහල සංගීත ක්ෂේත්‍රයෙහි පෙරැළිකාර ශිල්පියෙකි. ඔහු කිසිවිටෙක වැරැදි විනිශ්චයක් ලබාදුන් බවක් වාර්තා වී නැත. විනිශ්චය කුමක් වුව තීරකයාට පහරදීමේ අයිතියක් කිසිවකුට නැත.

රූකාන්ත ගුණතිලක මහතා මීට වසර කිහිපයකට පෙර ද පහරදීමකට ලක් වූ බව මුළු රට ම දනිති. එම පහරදීමෙන් පසු ඔහු සිය දරු පවුල ද කැටුව විදේශගත වූහ. එදා පහරදීම පසුපස දේශපාලනයක් තිබූ අතර නීතිය පවා හරිහැටි ක්‍රියාත්මක වූයේ නැත. පසුව ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ රසිකයන්ගේ මෙන් ම රටේ නායකයන්ගේ ද ඉල්ලීම මත ය. රූකාන්ත මහතා නැවත ශ්‍රී ලංකාවට එන්නට ඇත්තේ යුක්තිගරුක සමාජයක් පිළිබඳ විශ්වාසයෙන් විය යුතුය. එහෙත් එවැන්නක් දකින්නට නැති බව පෙනෙයි. අද පොලිසියට හෝ අධිකරණයට හෝ බලපෑම් සිදුවන්නේ නැත. එම ආයතන ස්වාධීන ලෙස ක්‍රියාත්මක වෙයි. එසේ නම්; වරදකරුවන්ට උපරිම දඬුවම් ද ලබාදිය යුතුය.

යථෝක්ත සිද්ධිය පසුපස දේශපාලන බලපෑමක් තිබුණේ ද යන්න ගැන පැහැදිලි අවබෝධයක් අපට නැත. එහෙත් රූකාන්ත මහතාට එක්සත් ජාතික පෙරමුණෙහි දඹදෙණිය ආසනයේ සංවිධායක පදවිය ලැබුණේ මීට සතියකට පමණ පෙර ය. එම පදවිය හා ඔහුගේ සංගීත කලාව අතර කිසිඳු සම්බන්ධයක් නැත. අප දන්නා හැටියට රූකාන්ත මහතා සංගීත කලාව හා දේශපාලනය පටලවා ගන්නේ ද නැත. ඔහු මෑත කාලයේ රියැලිටි වැඩසටහන් ගණනාවක තීරකයකු ලෙස කටයුතු කළ අතර ඒ සෑම අවස්ථාවකම රසික ප්‍රජාවගේ ඉමහත් ගෞරවයට ලක් විය. රූකාන්ත මහතා ඉහත ගායනා තරගයේදී ද සාධාරණ විනිශ්චයක් ලබාදෙන්නට ඇතැ’යි විශ්වාස කළ හැකි ය.

ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව කිහිපවරක්ම දිනාගත් මොහොමඩ් අලි කිසිදිනෙක විනිශ්චයකාරයන්ට පහර දුන්නේ නැත. ඔහු ජයග්‍රහණ සේ ම පරාජයන් ද ලැබී ය. ඔහු එම අවස්ථා දෙකට ම හොඳින් මුහුණ දුන්නේ ය. මොහොමඩ් අලි බිම වැටුණු ප්‍රතිවාදියාට පහරදුන්නේ ද නැත. ඔහු ලෝකය පිළිගත් කීර්තිමත් බොක්සිං ක්‍රීඩකයකු වූයේ ඒ නිසා ය. සංගීත කලාවේ යෙදෙන තැනැත්තන් ඊටත් වඩා සංවර විය යුතුය. නිවුණු - තැන්පත් මනසක් නැති අයට කලාව ගැළපෙන්නේ නැත. සිද්ධියට සම්බන්ධ තරගකරුවා ද නොහික්මුණු පුද්ගලයකු විය යුතුය. ඔහු තමාගේ පරාජය හා දුර්වලතා නොපිළිගත් බැවින් පහරදීම සිදුවන්නට ඇත.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති එක්තරා සාකච්ඡාවකදී මතු වූ අදහසක් අපට මේ මොහොතේ සිහිපත් වෙයි. එහිදී එක් විචාරකයෙක් කියා සිටියේ ශ්‍රී ලංකාවේ රියැලිටි සංදර්ශන බහුල බැවින් ඒවායෙහි ප්‍රමිතිය ගැන සොයා බලන ක්‍රමවේදයක් ඇති කළ යුතු බව ය. එම අදහස ඉතා නිවැරැදි බව දැන් පෙනීයයි. ප්‍රචාරණය සඳහා ඇතැම් ආයතන රියැලිටි වැඩසටහන් එකක් නොව; කිහිපයක් ම පවත්වාගෙන යන බව දකින්නට තිබේ. නිදහස් සමාජ - ආර්ථික පරිසරයක් තුළ ඒවාට එරෙහිවීමේ හැකියාවක් නැත. සමාජ කණ්ඩායම්වල කලා හැකියාවන් සඳහා ඉඩ ලැබෙන බැවින් ඒවායෙහි ප්‍රයෝජනයක් ද තිබේ. එහෙත් මේවා ප්‍රමිතියකට අනුව පවත්වා ගැනීම වැදගත් ය.

මෙබඳු තරගවලදී තීරකයන්ගේ ආරක්ෂාව හා ගෞරවය තහවුරු විය යුතුය. තරගකරුවන් ද ශික්ෂණයක් ඇති අය බවට සහතිකයක් තිබිය යුතුය. කලකට පෙර මෙබඳු තරග පැවැත්වීමේදී තරගකරුවන් ආගමික නායකයකුගෙන් හෝ සමාදාන විනිශ්චයකාරයකුගෙන් හෝ චරිත සහතිකයක් රැගෙන ආ යුතුව තිබිණි. දැන් එබඳු ක්‍රම‍වේදයක් භාවිත වන බවක් පෙනෙන්නට නැත. සමහර තරගකරුවන් ප්‍රසිද්ධ සභාවක හෝ ජනමාධ්‍යයක හෝ වචන හසුරුවාගන්නට නොදන්නා බව ද පෙනී ගොස් තිබේ. මේ සියල්ල සලකා බලන විට පෙනීයන්නේ රියැලිටි සංදර්ශන හා සංගීත තරග පැවැත්වීමට පෙර ඒවායෙහි පිළිවෙළ හා සංවිධාන ක්‍රමය ගැන වැටහීමක් ලබාගත යුතු බව ය.

රූකාන්ත මහතාට සිදු වූ ඇබැද්දිය ගැන වැඩි දෙනකු කම්පාවන බවට සැකයක් නැත. අපිදු මේ පහරදීම හෙළා දකින්නෙමු. දැන් සිදුවිය යුත්තේ වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒම ය.

 

නව අදහස දක්වන්න