කෙටි ම රැයක අත්දැ­කීම | දිනමිණ

කෙටි ම රැයක අත්දැ­කීම

හමු වීම් වෙන් වීම් මේ ජීවිතයේ අනන්තය අප්‍රමාණය. සෑම හමුවීමක්ම වෙන්වීමක්ම එක සේ මතකයේ නොතිබුණ ද සියුම් ලෙස හද දවන හමුවීමක් වෙන්වීමක් නැති කෙනකු සොයා ගැන්ම නම් අසීරුය.

එවැනි සංසාර බැඳීම්වලින් තැවෙන සැනසෙන හදවත්වල ඇති දුක කෙසේ නම් විස්තර කරන්න ද?

ඇසුවත් නෑසුවත් බලෙන් අස්සවන ප්‍රේම අදෝනා ගී අසන්නට සිදු වන්නේ උදේ හවස බස්රථවලදීය. දැන් ගුවන් විදුලි නාළිකාවල අලුත් ගීතයක් අසන්නට ලැබෙන්නේ ද කලාතුරකිනි. නව පද රචකයකුගේ, ගායන ශිල්පියකුගේ සංගීතඥයකුගේ නිර්මාණයක් රසවිඳිය හැක්කේ අන්තර්ජාලය ඔස්සේය. මුහුණු පොත ඔස්සේය. නැවුම් නිර්මාණ සොයමින් සිටි මොහොතක ‘කෙටිම රෑ‘ අසන්නට ලැබුණේ අහම්බෙනි. ගායකයා පදරචකයා හෝ සංගීත ශිල්පියා යන කිසිවෙක් හඳුනන්නේ නැත. නමුදු ඒ ගී හඬ මෙන්ම පද රචනයද සංගීතයේ ඇති අපූර්ව බව වින්දෙමි. ඒ විඳීම නිසාම මෙවර ගී අරුමය සඳහා ‘කෙටිම රෑ‘ ගැන ලියන්නට සිතුවෙමි.

සරත් කොඩිකාර නම් වූ පද රචකයා විසින් ලියා තිබූ ‘කෙටිම රෑ ‘ ගයන්නේ ලලී සමරු සමරක්කොඩි නම් ගායන ශිල්පියා විසිනි. ඔහු දැනට ඉතාලියේ රැකියාවක නිරත වන්නේය. ජාතික තරුණසේවා සභාවෙන් සංගීතය හැදැරූ ලලී මීට පෙරද ගීත කිහිපයක්ම ගායනා කර ඇත්තේය.

‘කෙටිම රෑ‘ අසා අවසානයේ සිතෙහි ඉතිරි වුයේ සියුම් දුකකි. ඒ දුක දෙපසට වු පෙම්වතුන් වෙනුවෙනි. නමුදු ගී පද රචකයා කියූ අත්දැකීම ඇසු විට ඒ සිතෙහි වූ දුක දෙගුණ තෙගුණ වූවා මිස අඩු වුයේ නම් නැත.

“ඒ දෙදහස් නවය අවුරුද්ද. මම හිටියේ මොනරාගල. තරුණ සේවා සහකාර අධ්‍යක්ෂ හැටියට. ඒ වෙනකොට බිබිලේ යොවුන් කඳවුරක් තිබුණා. මම එහෙ යමින් හිටියේ. මේ යන මාර්ගයේ දී හුලංදා ඔය හන්දියෙන් හැරෙන තැන තියෙන බස් නැවතුමේ මම දැක්කා බොහෝම ප්‍රසන්න පුද්ගලයෙක් ඉන්නවා. මේවා දුෂ්කර පළාත් නේ. මම සාමාන්‍යයෙන් කෙනෙක් දැක්කොත් කතා කරලා මම යන පැත්තට නම් යන්න ඔහුව වාහනයේ නංවාගෙන යනවා. එදා මම අර පාරේ හිටපු මහත්මයාටත් කතා කළා. ඔහුත් වාහනයට නැගුණා. ඔහුගේ කතාවත් ප්‍රිය මනාපයි. අපි රටේ තරුණයෝ ගැන, දේශපාලනය, කලාව ගැන බොහෝ දේ කතා කළා. ඔහු වයස අවුරුදු පනහ ඉක්ම වූ අයෙක්. ඔහු 1970 ගණන් වල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉඳලා තියෙන්නේ. ඔහු බොහෝම ප්‍රගතිශිලී අදහස් දැරු කෙනෙක් කියලා මට හිතුණා. ඒ වගේම ඔහුත් 71 තරුණ අරගලය සමයේ සිටිය කෙනෙක් කියලා මට දැනුණා. ඒ ඔහුගේ කතා බහෙන්. අපි මඟදි වෙන්වුණා. නමුත් අපේ යාළුකම ඉතිරි වුණා. අප දුර කථනයෙන් නිතර කතා කළා. ඔහු බොහොම ප්‍රසන්න අයෙක් වුණත් ඔහු අවිවාහකයෙක්. අපේ කතා බහ අතරතුර දවසක් මම ඔහුගෙන් විවාහ නොවී සිටීමට හේතු විමසුවා. ඔහු නිහඬ වුණා. නමුත් කෙටි වේලාවකට පසුව ඔහු සිය කතා ව කියන්න පටන් ගත්තා.

ඔහුට පෙම්වතියක් සිටියා. ඇයත් ඔහුත් ආදරයෙන් බැඳුණා. ඔහු ඇය ගැන හැම විටම හිතුවේ බොහෝම ගෞරවයෙන්. ආදරයක් නැතිව කායික බැඳිමක් ඇති වන්නේ නැහැ කියන මතයේ ඔහු හිටියේ. ප්‍රේමයේ අවසානය කියන්නේ රාගය පමණක් නොවෙයි. එයට එකිනෙකා ගැන අවබෝධය, විශ්වාසය, පරිත්‍යාගය, මේ හැමදෙයක්ම සම්පුර්ණ වීම අවසානයේ තමයි ඔවුන්ගේ ජීවිතය පටන් ගන්නේ කියලා ඔහු විශ්වාස කළා. ඔහුගේ සිතේ ඇයට තිබුණූ අසීමිත ආදරය ඔහු ඇයට කිව්වා. දවසක් දෙදෙනා හමු වුණා. ඒ තමයි ඔහුත් ඇයත් හමු වූ පළමු හා අවසන් රාත්‍රිය. නමුත් ඒ රාත්‍රිය බොහෝම කෙටියි. ඒ ඔහු මට ඒ රාත්‍රිය ගැන කියූ විදිහ. මේ කෙටිම රැය කියන වචනය මගේ හිතේ තදින් කා වැදුණා. තරුණ අරගලයේ සිටි ඔහු පොලිස් අත්අඩංගුවට පත් වුණා. වසරකට වැඩි කාලයක් ඔහුට සිරගෙදර ඉන්න සිදුවුණා. ඔහු හිරෙන් එළියට ආවාට පසු ඇය ගැන සෙව්වා නමුත් සොයාගන්නට බැරි වුණා.

“ඒ කාලේ හුඟක් තරුණ තරුණියෝ අතුරුදන් වුණා. මට තවමත් ඇස නොගැසුණ ඇයත් එවැනි ඉරණමකට ලක්වෙන්න ඇති. ඈ වෙනුවෙන් මගේ හිතේ ඉපදුණ ප්‍රේමය සමඟ මම තනිකඩ වුණා.‘‘

ඔහු එහෙමයි ඒ කතාව අවසන් කළේ. කතාව අසාගෙන හිටිය මගේ හිත වේදනාවෙන් පෙළුණා. ඔවුන්ගේ ජීවිතයේ පළමු රාත්‍රිය අවසන් රාත්‍රිය වේවි කියලා ඒ දෙදෙනාගෙන් කිසිවකු සිතනන්න නැතිව ඇති. මේ සිද්ධිය මගේ හිත කැලඹිල්ලට පත් කලා. ඒ කැලඹිල්ල තමයි, වේදනාව තමයි කෙටිම රැය ලියැවෙන්න අත්දැකීම වුණේ. මෙය කාලයක් මා ළඟ තිබුණා. කරුණාරත්න විජේවර්ධන සංගීතවේදියා මා මිත්‍රයා. ඔහු තමයි මට කිව්වේ ලලී කියලා හොඳට සින්දු කියන කලාව ගැන උනන්දුවක් තියෙන තරුණයෙක් ඉන්නවා. ඔහුට අප හොඳ ගීතයක් දෙමු කියලා. පස්සේ මම කරුට මේ වචන ටික දුන්නා. ලලී බොහෝම හොඳට මෙය ගයනවා. කරූගේ තේරීම හොඳටම හොඳයි කියලා දැන් මට හිතෙනවා.“

සරත් කොඩිකාර සිය ගී නිර්මාණය ගැන කීවේ එලෙසිනි (ඔහු දැනට ජාතික තරුණ සේවා සභාවේ සංස්කෘතික අංශයේ සහකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේය.)

“කරුණාරත්න විජේවර්ධන කියන්නේ මගේ සංගීත ගුරුවරයා. එතුමා මගේ අතට මේ ගීපද; තනු නිර්මාණය පත්කළේ “මම ලලී ඔබට තැග්ගක් දෙනවා“ කියලා. මට මෙය මිල කළ නොහැකි තැග්ගක්.“

ලලී පවසන්නේ සියල්ලෝ ගැනම සිත උපන් ආදරයෙනි.


නව අදහස දක්වන්න