අභියාචන ඉල්ලීම ඉවතට: ගෝඨාභයට එරෙහි නඩුව | දිනමිණ

අභියාචන ඉල්ලීම ඉවතට: ගෝඨාභයට එරෙහි නඩුව

කුමුදු හෙට්ටිආරච්චි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පහකට එරෙහි නඩුව විභාගයට ගන්නා අධිකරණයේ, අධිකරණ බලය සම්බන්ධයෙන් විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොනු කිරීමට අවසර ඉල්ලා විත්තිකරුවන් ඉදිරිපත් කළ ඉල්ලීම ද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (22) ප්‍රතික්ෂේප කළේය.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මේ නඩුව විභාග කිරීමට අධිකරණමය බලයක් නොමැති බව පවසමින් විත්තිකරුවන් ඉදිරිපත් කළ එම මූලික විරෝධතාව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් පසුගිය 11 වැනිදා ප්‍රතික්ෂේප කරන ලදී.

එම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ‍ගොනු කිරීමට අවසර ඉල්ලා අධිකරණයෙන් කළ ඉල්ලීම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (22) එසේ ප්‍රතික්ෂේප ක‍ෙළ්ය.

වීරකැටිය, මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේ දී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු රුපියල් ලක්ෂ තුන්සිය තිස්නවයක් ලබාගෙන එම මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව අධි චෝදනා 07ක් යටතේ මේ නඩුව ගොනුකර ඇත.

හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, භද්‍රා උදුලාවතී කමලදාස, සුදම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ආබ්‍රහම් ගලප්පත්ති, මහින්ද සාලිය හා ශ්‍රීමතී මල්ලිකා කුමාරි සේනාධීර යන විත්තිකරුවනට එරෙහිව මේ නඩුව පවරා ඇත.

නඩුවේ 06 වැනි විත්තිකරු රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් ඊයේ (22) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් ඊළඟ දිනට නිසි වෛද්‍ය සහතික ඉදිරිපත් කරන ලෙසට විනිසුරු මඬුල්ල නියම කළේය.

විත්තිකරුවන් හට අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව අධිකරණය වෙත විත්තිකරුවන් විසින් ඉහත මූලික විරෝධතාව ඉදිරිපත් කරන ලදී.

අධි චෝදනා සම්බන්ධව විත්තිකරුවන්ගේ උත්තරවාද ලබාදීමට නියමිතව ඇති අතර අධිකරණයේ නොමැති විත්තිකරු වෙනුවෙන් උත්තරවාද ලබාදීමට ඔහුගේ නීතිඥවරයාට බලය පවරනවාද යන්න සම්බන්ධව ඊළඟ දින අධිකරණයට දන්වා සිටින ලෙසට විනිසුරු මඬුල්ල 06 වැනි විත්තිකරුගේ නීතිඥ සෙනරත් ජයසුන්දර මහතාට ඊයේ (22) දැනුම් දුන්නේය.

විත්තිකරුවනට නඟා ඇති අධි චෝදනා නිසි ලෙස එකිනෙකට සම්බන්ධ කර ගොනු කර නොමැති බවට තමා විරෝධතාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට ඊයේ (22) දන්වා සිටියේය.

නඩුව නැවත කැඳවීම මාර්තු මස 01 වැනිදාට කල් තැබුණි.

නව අදහස දක්වන්න