කතානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයයි | දිනමිණ

කතානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයයි

රජය සහ රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කිරීමට ව්‍යවස්ථාදායක සභාව ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන බවත්, ඉතාම කෙටි කාලයකින් එය ක්‍රියාවට නංවන බවත්, එහි ඒකායන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට එම සභාවට හැකි වන බව පෙන්නුම් කරන බවත් ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය.

2015 වසරේ දී සිදු කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පුරවැසියන් සහ අන්තර්ජාතික ප්‍රජාව දැක් වූ සුබවාදී ප්‍රතිචාර ද ඉක්මවමින් මෙවර මේ කටයුත්ත ප්‍රශංසාවට ලක්වෙමින් ඇතැයි ද ඔහු වැඩි දුරටත් කීවේය.

‘පසුගිය කාලයේ මේ පාර්ලිමේන්තුව ලබාගත් ඉහළම ජයග්‍රහණය වන මෙය ජනාධිපති සිරිසේන බලයට පත්වී ගත වූ වසර හතරකට වැඩි කාලය ඇතුළත ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණය ද වේ.’

පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේ පසුගිය දා පැවැති ඒකාබද්ධ විවාදය අතරතුර දී මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ මේ ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා ඉතිහාසයේ දීප්තිමත්ම මංසලකුණක් වන අතර, යහපාලනය හමුවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සවිමත් වී ස්ථාවර, ප්‍රජාතන්ත්‍රවාදී සහ සෞභාග්‍යමත්, සාමකාමී ජාතියක් ලෙස සවිමත් වන ආකාරය මෙයින් පිළිබිඹු වන බවයි.

‘2015 මැයි 15 වැනිදා නීතියක් බවට පත් කළ 19 වැනි සංශෝධනය එදා එවකට කතානායක ධුරය දැරූ චමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව සම්මත වුණා. විරුද්ධ වුණේ එකම මන්ත්‍රීවරයකු පමණක් බව මගේ විශ්වාසයයි. මේ සභාවේ සියලුම සාමාජිකයන්ගේ ඡන්දයෙන් ඉදිරිපත් වූ මේ යෝජනාව කිසියම් පුද්ගලයකුගේ හෝ කණ්ඩායමකගේ පෞද්ගලික න්‍යාය පත්‍රයට අයත් නොවන බව මාගේ විශ්වාසයයි.

මේ සඳහා ජීවය සැපැයූ රැසකගේ පුළුල් උත්සාහයක ප්‍රතිඵලයක් වන මෙය වසර ගණනක සිහිනයක් මල්ඵල ගැන්වීමකි. එය ප්‍රගතිශීලී සහ පුළුල් මනසක් ඇති බහුතර ජනතාවගේ බලාපොරොත්තුව ද වෙනවා. දුරකතනයෙන් අධිකරණ මෙහෙයුම් සිදු කළ යුගය සිහිපත් කරන විට මෙය ඉතා විශාල ජයග්‍රහණයක් යැයි ද අධිකරණ ක්‍රියාදාමය දුරස්ථ පාලකයකින් එකම පුද්ගලයකු පාලනය කළ යුගය සහ අධිකරණයේ සියලුම විනිසුරුවන් සහ සියලුම ඇමැතිවරු එකම පුද්ගලයකු විසින් පත් කළ යුගයක් තිබූ බව ද ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ සියලුම බලතල මේ එකම පුද්ගලයාට සේවය කිරීමට පැවැති ඒ යුගයට නැවත ගියොත් කවර ආකාරයේ හෝ අපරාධයකට දඬුවම් පැමිණවීම සිදු කළ නොහැකි වනු ඇතැයි ද එදා ඔහුට හෝ ඔහුගේ පවුලේ අයට එරෙහි වූ ඕනෑම අයකුට ව්‍යාජ චෝදනා නඟනු ඇතැයි ද 2014 නොවැම්බරයේ දී මේ බලවේගය දණ ගැස්වීමට මෛත්‍රීපාල සිරිසේන තම ජීවිතය පරදුවට තබා ඉදිරිපත් වී යැයි ද ඔහු පැවැසීය. මේ රටට නිදහස දිනා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ සැමදෙනා එක්සත් කිරීමට හැකි වූ අතර, 2015 ජනවාරි 8 වැනිදා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ නව යුගයකට රට ගෙන ඒමට හැකි වී යැයි ද ඇමැතිවරයා වැඩි දුරටත් කීවේය.

රජයේ ප්‍රධාන තනතුරුවලට, විනිසුරු තනතුරුවලට පත් කිරීම දේශපාලනයෙන් තොර ක්‍රියාවලියක් බවට පරිවර්තනය කිරීම නිසා දශක ගණනාවකට පසු රටේ විනිසුරුවන් තවත් කාගේ හෝ ඔඩොක්කු කුක්කන් නොවන බව සත්‍යයක් වී යැයි ද සමරවීර ඇමැතිවරයා කීවේය.

නිදහස් තීරණ දෙනු ඇතැයි ද විනිශ්චය ක්‍රියාවලිය පැහැදිලි සාක්ෂි මත සිදුවනු ඇතැයි ද මේ රටේ මිනීමැරුම්වලට වරදකරුවන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට මරණ දඬුවම නියම වී ඇතැයි ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය. දින 56 රාජපක්ෂ පාලනයේ දී ඔහුට අවශ්‍ය කුමක් දැයි හොඳින්ම පෙන්නුම් කළ අතර, පරීක්ෂණ සිදු කරන FCID පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ දරු පවුල්වලට තර්ජනය කිරීමත්, රටේ ජාතික ගුවන් සේවය කොල්ල කෑ බවට චෝදනා නැඟුණ අයම නැවත එහි ප්‍රධානියා බවට පත් කළ බව ද නිදහස් අධිකරණය ඔවුන්ගේ පැහැදිලි හතුරා ලෙස හඳුනාගෙන ඇතැයි ද ඇමැති සමරවීර මහතා වැඩි දුරටත් කීවේය.

ව්‍යවස්ථා සභාව සහ එහි සභාපතිවරයා නිදහසේ ක්‍රියා කරන බවත් විනිසුරුවරු සහ කතානායකවරයා තර්ජනවලට නැමෙන්නේ නැති බවත් හදිසියේම ඔවුන්ට පෙනී ගොස් ඇතැයි ද, ස්වාධීන අධිකරණයක් සහ ස්වාධීන කතානායකවරයා රාජපක්ෂවරුන්ට වහකඳුරු යැයි ද, එවැනි දේ විෂ වන්නේ ‘සහෝදරවරුන්ට’ විනා කරු ජයසූරිය වැනි සැබෑ දේශප්‍රේමීන්ට නොවන්නේ යැයි ද සමරවීර ඇමැතිවරයා වැඩි දුරටත් කීවේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක් ලෙස කතානායකවරයා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ආඩම්බරයක් ගෙන එන්නේ යැයි ද ඇමැතිවරයා කීය.

බුද්ධි කරුණාරත්න

නව අදහස දක්වන්න