ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට පක්ෂ භේදයෙන් තොරව එක්වෙමු | දිනමිණ

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට පක්ෂ භේදයෙන් තොරව එක්වෙමු

රුපියල් ලක්ෂ පන්සිය හැටක වියදමින් ඉදිකළ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඊයේ (22) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කළ අයුරු. මේ අවස්ථාවට ඇමැතිවරුන් වන පී. හැරිසන් සහ පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුද සහභාගි වූහ. ඡායාරූපය හිරන්ත ගුණතිලක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනය ඓතිහාසික නීතියක් බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට පක්ෂ භේදයකින් තොරව එක්වී එය ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සංවිධානාත්මකව දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට ස්වාධීන කොමිෂන් සභාවලට බලපෑම් කරන බවත් ඒ පිළිබඳ පියවරක් ගන්නා බව වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ ඊයේ (22) ආණමඩුව ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් බවට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහි දී අදහස් දැක් වූ වික්‍රමසිංහ මහතා,

ඒ නිසා එදා තිබූ 18 වැනි සංශෝධනය මගින් ක්‍රියාත්මක කෙරූ ආයතන සියල්ල නැති වුණා. එම දහඅට වැනි සංශෝධනය මගින් අධිකරණයේ නිදහස, පොලිසියේ නිදහස නැති වුණා. රාජ්‍ය සේවයට දේශපාලනය ඇතුළු වුණා.

මේ රටේ ණය ගැනීමේ ප්‍රශ්නය තිබුණේ කලින් සඳහන් කළ රාජ්‍ය අංශයේ ආයතන ස්වාධීනව ක්‍රියාත්මක නොවීමෙන්. ඒ ගැන මාධ්‍යයෙන් කතා කරන්න බය වුණා. ඒ ගැන කතා කළේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු පමණයි. ඒ නිසා අපි 2012 සිට විශාල සටනක් ආරම්භ කළා සේම අනෙකුත් පක්ෂ, සිවිල් සංවිධාන, ආගමික නායකයන් ද එක්ව ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න උත්සාහ කළා.

එහි ප්‍රතිඵලයක් ලෙසයි 19 වැනි ව්‍යවස්ථාවක් ගේන්න කටයුතූ කළේ. ව්‍යවස්ථාදායක සභාවක් ඇති කරලා, ස්වාධීන කොමිසන් සභා සියල්ල ක්‍රියාත්මක කළා . පක්ෂ බේදයකින් තොරව සියල්ලෝම එක තීරණයේ සිටියා.

අපි 19වැනි සංශෝධනය ඉදිරිපත් කළා. ජනාධිපතිවරයා මැදිහත්ව තමන්ගේ පක්ෂයේ සහයෝගයත් ලබා දුන්නා. සමහරු කැමැත්තෙන් සමහරු අකමැත්තෙන් ඡන්දය දුන්නා. දැන් විපක්ෂයේ සිටින කණ්ඩායම 2015 මැතිවරණයට පෙර කටයුතු කළේ අධිකරණය සහ පරිපාලනය දේශපාලනීකරණය කොට අනාගත බලය තමන්ගේ පෞද්ගලික අණසකයේ තබා ගැනීමටයි. අපි ඒකට විරුද්ධ වුණා.

19 වැනි සංශෝධනය ක්‍රියාත්මක කර අපි ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ඇති කළා. සමහරු කිවුවා එම මණ්ඩලයේ මන්ත්‍රීවරු තුන්දෙනයි සිටිය යුත්තේ කියලා. ඒ අය කිවුවා සාමාජිකයන් හත් දෙනකු අවශ්‍යයි කියා.

19 වැනි ව්‍යවස්ථාව මගින් ලැබුණු ප්‍රතිඵල අද අපිට පේනවා. අද ආණ්ඩුවට දොස් කියන්න, පෙළපාළි යන්න, තමන්ට වුවමනා තොරතුරු ලබා ගන්න, විගණකාධිපති කොමිසමට යන්න පුළුවන්, අධිකරණය ස්වාධීනයි, සෑම අංශයෙන්ම අද ජනතාව නිදහස්.

එදා 19 ව්‍යවස්ථාවට අකමැත්තෙන් ඡන්දය දුන් මන්ත්‍රීවරු දැන් ස්වාධීනත්වය ආරක්ෂා කරන කොමිෂන්වලට ගහනවා,

විපක්ෂයේ කණ්ඩායම් පාර්ලිමේන්තුවෙත් පිටත් සංවිධානාත්මකව ස්වාධීන කොමිෂන් නවත්වන වැඩසටහනක් තමයි පසුගිය සති කීපයේ දැක්කේ. යළිත් දූෂිත යුගයට යනවද නැතිනම් ස්වාධීන ආයතනවල වැඩ කරනවද කියා ජනතාව තීරණය කළ යුතුයි.

අසේල ලියනගේ
ජායාරූපය හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න