මන්ත්‍රීවරු 59කට නඩු පැවරිය යුතුයි | දිනමිණ

මන්ත්‍රීවරු 59කට නඩු පැවරිය යුතුයි

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සුභාෂිණී සේනානායක

රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කරමින් මිරිස් කුඩු ඇතුළු අතට හසුවන (පොත්පත් ඇතුළු) දෙයින් දමා ගසමින් පාර්ලිමේන්තු දේපළවලට අලාභහානි කර කලහකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් 59 දෙනකුට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත නඩු පැවරිය යුතු බව සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කමිටුව තීරණය කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 55ක්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් 3ක් හා ජවිපෙ මන්ත්‍රීන් එක් අයෙක් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත උල්ලංඝනය කරමින් දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවත්, ඒ අනුව මන්ත්‍රීවරුන් 59ටම එරෙහිව නිසි පියවර ගත යුතු බවත් කමිටුව නිර්දේශ කර ඇත.

2018 නොවැම්බර් 14, 15, 16 තෙදින පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී තත්ත්වය පිළිබඳ දින අටක විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව මේ නිර්දේශ ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුත් හය දෙනකුගෙන් සමන්විත කමිටුවක් මේ විමර්ශනය සිදුකර ඇති අතර, කමිටුවට නම් කළ චමල් රාජපක්ෂ හා චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රීවරු විමර්ශන කටයුතුවලට සහභාගිවීම ප්‍රතික්ෂේප කර ඇත.

ආර්. එම්. රංජිත් මද්දුමබණ්ඩාර, බිමල් රත්නායක, මාවෙයි සේනාධිරාජා මහත්වරු විමර්ශනය සිදුකර ඇති අතර, ඊට නීතිපති දෙපාර්තමේන්තුවේ හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් කණ්ඩායමක සහාය ලබාගෙන ඇති බව ද කමිටු වාර්තාවේ සඳහන් වේ.

පාර්ලිමේන්තු සී. සී. ටී. වී. කැමරා දර්ශන එම දින තුනෙහි මාධ්‍ය ආවරණය කළ විද්යුත් මාධ්‍ය ආයතන සංස්කරණය නොකළ කැමරා දර්ශන ද කමිටුවේ විමර්ශනයට ලක්කර ඇත.

පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට පහරදීම, තර්ජනය කිරීම, දේපළ අලාභහානි කිරීම, කතානායකවරයාට පහරදීමට දමා ගැසීම, රුපියල් 325000.00ක දේපළ හානියක් කිරීම ඇතුළු චෝදනා මේ මන්ත්‍රීවරුන්ට කමිටුව මඟින් ඉදිරිපත් කර ඇත.

එක් එක් මන්ත්‍රීවරුන් සිදුකර ඇති වරප්‍රසාද කඩ කිරීම්, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කිරීම් ඇතුළු වරදේ ස්වභාවයන් ප්‍රකාරව පාර්ලිමේන්තු විවාදයකින් තොරව ‍යෝජනාවකින් පමණක් පාර්ලිමේන්තු සේවය අත්හිටුවීම, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා දඬුවම් පැමිණවීම, පාර්ලිමේන්තුව සති, දින හෝ ගණනකට අත්හිටුවීම ඇතුළු දඬුවම් ලබාදිය හැකි බවට කමිටුව සඳහන් කර ඇත.

අදාළ කමිටු වාර්තාවට අනුව ජොන්ස්ටන් සෙනවිරත්න මහතා දඬුවම් ලැබිය හැකි වරද 16ක් පමණ සිදුකර ඇත. ප්‍රසන්න රණවීර මහතා වරද 12ක්, විමල් වීරවංශ මහතා වරද 10ක්, පද්ම උදයශාන්ත මහතා නවයක්, ප්‍රියංකර ජයරත්න මහතා නමයක්, මහින්දානන්ද අළුත්ගමගේ මහතා වරද හතක් හා ආනන්ද අළුත්ගමගේ නවයක් ලෙස මේ වරද සිදුකර ඇත.

සෙසු මන්ත්‍රීවරුන් වන එස්. බී. දිසානායක, පියල් නිශාන්ත, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුණවර්ධන, ලොහාන් රත්වත්තේ, ජයන්ත සමරවීර, රෝහිත අබේගුණවර්ධන, තිලංග සුමතිපාල, දිළුම් අමුණුගම, සිසිර ජයකොඩි, කංචන විජේසේකර, සුසන්ත පුංචි නිලමේ, පවිත්‍රාදේවි වන්නිආරච්චි, රංජිත් සොයිසා, එස්. එම්. චන්ද්‍රසේන, ඩී. වී. චානක, අරුන්දික ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම, විමලවීර දිසානායක, ෂෙහාන් සේමසිංහ, තේනුක විදනාගම, අනුරාධ ජයරත්න, සාරතී දුෂ්මන්ත, සනත් නිශාන්ත, කනක හේරත්, උදය ගම්මන්පිල, සාරානාත් බස්නායක, නිමල් ලංසා, සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, රමේෂ් පතිරණ, විජිත බේරුගොඩ, මොහාන් ප්‍රියංකර, රෝෂාන් රණසිංහ, වාසුදේව නානායක්කාර, සී. බී. රත්නායක, ටී. බී. ඒකනායක, ලක්ෂ්මන් යාපා, තාරක බාලසූරිය, ජානක වක්කුඹුර, බන්දුල ගුණවර්ධන, නිරෝෂන් ප්‍රේමරත්න, සාලින්ද දිසානායක, ප්‍රේමලාල් ජයසේකර හා දිලිප් ‍වෙදආරච්චි මන්ත්‍රීවරු වරද අටකට අඩුවෙන් සිදුකර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම, චන්දිම ගමගේ, රන්ජන් රාමනායක හා තුෂාර ඉඳුනිල් මහත්වරු ද වරද සිදුකර ඇති බව සඳහන් වන අතර, ජනතා විමුක්ති පෙරමුණ විජිත හේරත් මහතා ද නම් කර ඇත.

නව අදහස දක්වන්න