පාසල් සිසුන්ට නිල ඇඳුම් තිළිණ පත් ලබාදීම පළමු පාසල් වාරය අවසන් වීමට පෙර | දිනමිණ

පාසල් සිසුන්ට නිල ඇඳුම් තිළිණ පත් ලබාදීම පළමු පාසල් වාරය අවසන් වීමට පෙර

සිතාරා සේනානි

දිවයිනේ සියලු ම පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන්ට 2019 වර්ෂය වෙනුවෙන් නිල ඇඳුම් තිළිණ පත් ලබාදීමේ වැඩපිළිවෙළ පළමු පාසල් වාරය අවසන් වීමට පෙර සිදුකිරීමට සියලු කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පසුගිය වසරවල මෙන්ම මෙම වසරේ ද ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බවද, නිල ඇඳුම් තිළිණ පත් ලබාදීමෙහි ප්‍රමාදයක් ඇතැයි පවසමින් ඇතැම් වෘත්තීය සංගම් විසින් මාධ්‍ය හරහා ගෙන යන ප්‍රචාර කිසිදු සත්‍යතාවකින් තොර බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

2019 වර්ෂයේ පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කෙරුණේ 2019 ජනවාරි 17 දින බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේ වුවත් අභියාචනා හා විරෝධතා පරීක්ෂණයෙන් සැකසු අවසන් ලේඛනය ප්‍රදර්ශනය කළ පසුව ද මතුවන යම් යම් ගැටලු සහ දෝෂ තත්ත්වයන් මත අවසන් ලේඛනයේ සියලු සිසුන් ඇතුළත් කර, අවසන් වීමට දළ වශයෙන් මාස එක හමාරකට පමණ කාලයක් ගතවන බැවින් හා පන්ති භාර ගුරුවරුන් විසින් එකවර පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට නිල ඇඳුම් තිළිණපත් ලබා දිය යුතු හෙයින් පළමු ශ්‍රේණියේ සිසුන්ට නිල ඇඳුම් තිළිණපත් ලබා දීම සෙසු ශ්‍රේණිවල දරුවන්ට නිල ඇඳුම් තිළිණ පත් ලබාදීමෙන් පසු සිදු කිරීමට සිදුව තිබෙන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත්ව සිටින සියලු සිසු දරුවන්ට පසුගිය වර්ෂවල බෙදා හරින ලද පරිද්දෙන් ම කිසිදු ප්‍රමාදයකින් තොරව, පළමු පාසල් වාරය අවසන්වීමට පෙර නිල ඇඳුම් තිළිණපත් ලබා දීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


නව අදහස දක්වන්න