අධ්‍යාපන විප්ලවයකින් රට නවීකරණය කරනවා | දිනමිණ

අධ්‍යාපන විප්ලවයකින් රට නවීකරණය කරනවා

සිතාරා සේනානි

13 වසරක සහතික කළ අධ්‍යාපන ක්‍රමය රටට හඳුන්වා දී මේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අපතේ යන මිනිස් සම්පත ඵලදායී වෘත්තීය අධ්‍යාපනයකට යොමුකර සමාජයට හා රටේ ආර්ථිකයට අවශ්‍ය මූලික දැනුම සහිත වැඩදායී පරපුරක් බිහිකිරීම ආරම්භ කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ජාතික වශයෙන් ආරම්භ කිරීම සඳහා අරලියගහ මන්දිරයේ පෙරේදා (21) පැවැති උත්සවයේදී ය.

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසහනට යටතේ අලුතින් හඳුන්වා දී ඇති වෘත්තීය විෂය ධාරාව නිල වශයෙන් හඳුන්වා දෙමින් එම විෂයයන් ඉගැන්වීම සඳහා අවශ්‍ය මොඩියුල කට්ටල පළාත් නවය නියෝජනය වන පරිදි තෝරා ගත් පාසල් සඳහා ප්‍රදානය කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

එම අවස්ථාවෙන් පසුව අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

අධ්‍යාපනයේ විප්ලවකාරී පියවරකින් අපි ශ්‍රී ලංකාව නවීකරණය කරනවා. එක් කාලයක් මේ රටේ ප්‍රධානතම ආර්ථික සම්පත වූයේ වියළි කලාපයේ වී වගාවයි. එයට පසුව අපි අපේ ප්‍රධාන ම ආර්ථික සම්පත ලෙස පිළිගත්තේ කුළුබඩුයි. විශේෂයෙන් ම කුරුඳු. අද නූතන ලෝකයේ අපේ ප්‍රධානතම සම්පත කෘෂි භාණ්ඩවත්, ඇඟලුම්වත්, ධීවර කර්මාන්තයවත් නෙවෙයි. අපේ ප්‍රධාන සම්පත මිනිස් සම්පතයි. අපට තිබෙන්නේ ඉන්දියන් සාගරය මැද අපේ පිහිටීම සහ අපේ මිනිස් සම්පතයි.

ශ්‍රී ලංකාවේ පමණක් නොවයි ඕනෑම රටක් දියුණු වෙන්න නම් ඒ රටේ මිනිස් සම්පත දියුණු වෙන්න ඕනෑ. අධ්‍යාපනය හොඳ රටවල් දියුණු වෙනවා. මධ්‍යම යුරෝපයේ මුහුදු නැති චෙක් රාජ්‍යය, හන්ගේරියන් රාජ්‍යය කෙතරම් දියුණු වුණාද කිවහොත් දැන් චීනයට යන්න තරම් අලුත් රේල් පාරවල්, දුම්රිය සේවා ඇති කරනවා. එහෙම නම් අද තිබෙන්නේ දැනුමයි. අමෙරිකාව ලෝකයේ පළමුවැනි රට වුණේ දැනුම නිසා. ඒ දැනුම තිබෙන රටවල් තමයි ඉදිරියට යන්නේ.

ශ්‍රී ලංකාවේ අපි දැන් නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. එසේ වුවත් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ඉදිරියට යන්න අපිට ඉතිරි වෙන්නේ එක වයස් සීමාවකට අයත් 50%ක් හෝ 55%ක් විතරයි. සමහරුන් අට පාස් වෙනකොට අයින් වෙලා. අනෙක් අය සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙන්න බැරි නිසා ඉවත් වෙනවා. එතැන සිට 50%ක් ඉදිරියට ගියාම එයිනුත් විශ්වවිද්‍යාලයට යන්නේ 5% යි. අනෙකුත් දේවල් කරන්න 10%ක් 15%ක් ඉන්නවා. එසේ නම් තවමත් අපේ තිබෙන්නේ මිනිස් සම්පත අපතේ යාමයි.

අපේ අධ්‍යාපන ක්‍රමය අපි ඇති කළේ සුද්දන්ගේ කාලයේ විශ්වවිද්‍යාලයට යන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුහුණු කිරීමයි. ඒත් අද ලෝකයේ දියුණු රටවල පාසල් ක්‍රමය තිබෙන්නේ සමාජයට වුවමනා පුරවැසියන් බිහිකරන්නයි. එසේනම් විශ්වවිද්‍යාලයට යන්න නොවෙයි සමාජයට ඕනෑ ඒ දැනුම, ජීවත් වන ආර්ථිකයට අවශ්‍ය මූලික දැනුම ලබා දෙන්නයි. මේ විප්ලවය තමයි අද අපි ලංකාවේ ආරම්භ කර තිබෙන්නේ. එය අධ්‍යාපනයේ විප්ලවයක්. පළමුවෙනි වතාවට මේ රට පිළිඅරන් තිබෙනවා අවුරුදු 13ක අධ්‍යාපනය වුවමනායි කියලා. අපිට කියන්න පුළුවන් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා ගැන, නිදහස් අධ්‍යාපනය ගැන. අපි මේවා කළේ 1940 දශකයේ. ඒ වෙනකොටක් අපි හිටියේ ඉදිරියෙන්.

දැන් ජපානය, කොරියාව, චීනය, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව හා ඉන්දුනීසියාවේ අවුරුදු 13ක අධ්‍යාපනය තිබෙනවා. ඉස්සරවෙලා ම නිදහස් අධ්‍යාපනය පටන් ගත්තේ ලංකාවේ. 50%ක් සාමාන්‍ය පෙළින් ඉවරයි, ඉතිරි අය ඉදිරියට යනවා. අන්න ඒ වෙනස නැති කරන්නයි අපි මෙතැනට ආවේ.

අපි මේ දරුවන්ට වුවමනා පහසුකම් දුන්නා. දියුණුව ඇති කළා. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ඇමැතිතුමාගේ කාලයේ පාසල්වල අඩුපාඩුකම් හදන්න අපි ඉස්සර වෙලාම 'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. සුරක්ෂා වැඩසටහන ආරම්භ කළා. මේ සියල්ලම පසුබිම සකස් කිරීම පමණයි. අපේ පරමාර්ථය වුණේ හැම කෙනකුට ම යම්කිසි අධ්‍යාපනයක් ලබා දීමයි. රටේ සමාජය දියුණු කරන්න නම් අද අපට මහාචාර්යවරුත් වුවමනායි, අපේ ටෙස්ට් මැච් එක දිනන්න පුළුවන් ක්‍රිකට් කණ්ඩායමකුත් වුවමනායි. මහාචාර්යවරුන් විශ්වවිද්‍යාලයේ සිටියා, හොඳම විශ්වවිද්‍යාල තිබෙනවා කියලා පමණක් අපේ අය සෑහීමකට පත් වෙන්නේ නෑ. හැබැයි ඒ අය බලන්නේ ටෙස්ට් මැච් එකේ, ඕවර 50 මැච් එකේ, ඕවර 20-20 මැච් එකේ අපේ අය දිනනවා ද නැද්ද කියලයි. විශ්වවිද්‍යාලයෙන් බිහිවුණාම ඒ ගැන විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. මැච් එක දිනන්න බැරිවෙන කොට ඊටත් වඩා ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි කොච්චර කතා කළත් අපට විශ්වවිද්‍යාල උපාධිධාරීන් වගේම අපේ රටට තොරතුරු තාක්ෂණය දැනගත් ලාංකිකයන්, උපාධිධාරීන් ලක්ෂ 3ක් වුවමනායි. දැන් ලක්ෂයක් රටේ ඉන්නවා. මේ ලක්ෂ තුන තිබෙනවා නම් අපේ ණය ගෙවන එක ලේසියි. තව රුපියල් මිලියන 2000ක් 3000ක් විතර අපට උපයා ගන්න පුළුවන් වෙනවා. හැම අංශයේම දැනුම තිබෙනවා නම් අපේ නිෂ්පාදනය වැඩි වෙනවා. ඒවගේම මිල අඩුවෙනවා. තරගකාරී වෙනවා. හැම අංශයටම මේ දැනුම ඕනෑ වෙනවා. ඉතින් අද අපි මේ අලුත් වැඩසටහන ඉදිරිපත් කළේ එය ලබා දෙන්නයි.

මෙතැන ඉන්නවා නැටුම්වලට දක්ෂ පුද්ගලයෝ. හොඳට නටන කෙනකුට ගුරුවරයකුට වඩා හොඳට හම්බ කරන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. අද සංගීතයේ ඉන්න අය, ඇඳුම් මෝස්තර මහන අයත් එහෙමයි. අද හැම හන්දියක ම තිබෙනවා මොකක් හෝ 'ෆැෂන් ෂොප්' එකක්. ඉස්සර කිව්වේ 'ටේලර් ෂොප්'. දැන් ඒකට කියන්නේ ෆැෂන් ෂොප් කියලා. ඒව ළඟම ගහනවා 'බියුටි පාලර්' එකක්. ඒකෙනුත් හම්බ කර ගන්නවා. අද මඟුල් ගෙදරක යන්න ම කොච්චර වියදම් වෙනවා ද? දැන් ලෝකයට එනවා රියදුරන් නැති වාහන. රට අනුව අපි වෙනස් වෙලා නෑ. හම්බ කරන මාර්ග තිබෙනවා. තව කීදෙනෙක් මේ මාර්ගවලින් ජීවත් වෙනවාද? දැන් මෙහි විප්ලවය අපි ආරම්භ කළා.

ලෝකයේ හොඳ ම අධ්‍යාපන ක්‍රමය තිබෙන්නේ ෆින්ලන්තයේ. ඒ රටේ හැම ශිෂ්‍යයකු ම අවුරුදු 13 ම අධ්‍යාපනය ලබනවා. ඒ හැම කෙනාම විශ්ව විද්‍යාලයට යන්න සුදුසුත් නෑ. වුවමනාත් නෑ එහෙම යන්න. ෆින්ලන්තය ගැන කතා කරමින් නොසිට අධ්‍යාපන ඇමැතිතුමා ඒ වගකීමත් භාර ගත්තා. මේක වැඩිකල් නොයවා අපි ආරම්භ කළා. දැන් පාසල් 800ක් තෝරා ගෙන තිබෙනවා එය අත්හදා බලන්න පළමුවැනි පියවර වශයෙන්. දැන් මේ පාසල් 800ට සහාය දක්වන්න තිබෙනවා. විශේෂයෙන් ම කාර්මික හා වෘත්තීය අධ්‍යාපන අංශ ඒ වගේම ප්‍රතිසංස්කරණය කර මීට වඩා හොඳ පාඨමාලාවන් ලබා දෙන්න ඕනෑ. ඒක අපේ යුතුකම. එය සාර්ථක වුණාම මේවා හදාරන්න එන සංඛ්‍යාව තවත් වැඩිවෙනවා. මේ වැඩකටයුතු කරන්න අපට අවස්ථාව ලැබෙන්නේ රටේ විශාල සංවර්ධනයක් තිබෙනවා නම් හෝ ආර්ථික සංවර්ධනයක් තිබෙනවා නම් විතරයි. ඒකට තමයි අලුත් වෙළෙඳ කලාප, අලුත් වැඩසටහන් කරගෙන යන්නේ. මේ තුනම එකට සම්බන්ධයි. ආර්ථිකයේ දියුණුව එක්ක ආර්ථිකයේ දියුණුවට අවශ්‍ය කණ්ඩායම හැදෙනවා. ආර්ථිකයේ දියුණුව එක්ක වෘත්තීය කාර්මික දියුණු වෙනවා. වෘත්තීය කාර්මික දියුණුව විශේෂයෙන් ම මේ පාසල්වල සිදුවෙනවා. ඒ මාර්ගය තමයි අපි මෙතැන ආරම්භ කර තිබෙන්නේ.

දැන් ලංකාවට මේක විප්ලවයක්. අපි නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නා වගේම, එය අර්ථවත් කරන්න තමයි නිදහස් අධ්‍යාපනය අවුරුදු 13ක් කරන්න මේ වැඩසටහන ගෙනල්ලා අද තිබෙන ආර්ථිකයට සුදුසු විදිහට රැකියා ආදායම් මාර්ග අපි ලබා දෙන්නේ. ඒ ගැන ආඩම්බර වෙනවා. රටේ ඉතිහාසයේ විශාලම ණය බර තිබෙන තැන අපි මුදල් සොයාගෙන මේ වැඩකටයුත්ත ආරම්භ කර තිබෙනවා.

ගිය සතියේ මම කුරුණෑගලට ගියා විශ්වෝදා විද්‍යාලය ආරම්භ කරන්න මේ රටේ පළමු ස්මාට් විද්‍යාලය ලංකාවේ. තව එකක් මහනුවර, තව තුන හතරක් කොළඹ ආරම්භ කරනවා. මට මතකයි එදා මම රූපවාහිනිය දුන්නාම මොකටද රූපවාහිනී පාසල්වලට කීවා. පරිගණක දුන්නාම ඒ මොකටද කියලා ඇහුවා. දැන් මේ හැම එකක් ම තිබෙනවා. අපි යන්නේ නවීන අධ්‍යාපන ක්‍රමයකට. මේ වැඩපිළිවෙළට සහභාගී වන මේ ආරම්භක සිසු සිසුවියන්ට හොඳ අනාගතයක් ලබා දීමට, හොඳ පුහුණුවක් ලබා දීමට අපට යුතුකමක් තිබෙනවා. ඒ පුහුණුව අවසානයේ පැවැත්වෙන විභාගයෙන් NVQ 4 මට්ටමේ සහතිකයක් අරගෙන මේ අය පිටත් වෙනවා. එයයි බලාපොරොත්තු වෙන්නේ. මේ වැඩපිළිවෙළ ආරම්භ කළ අධ්‍යාපන ඇමැතිතුමාටත්, අධ්‍යාපන ලේකම්තුමාටත්, හිටපු ලේකම්තුමාටත්, අනෙකුත් නිලධාරීන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ පියවර වැදගත් පියවරක්. මේ පියවර රටේ වෙනසක් ඇති කරන පියවරක්. මේ පියවර අපට මීට වඩා හොඳ ජීවන ක්‍රමයක් ලබා දෙන පියවරක්. එවැනි වැඩසටහනක් ආරම්භ කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වැඩසටහන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා-

මම ඉතා සතුටට පත් වෙනවා වසර 13ක සහතික කරන ලද අධ්‍යාපන ක්‍රමය අද අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට හැකිවීම ගැන. මෙය දැවැන්ත වැඩපිළිවෙළක්. මේ රටේ අධ්‍යාපනය සුවිශේෂිත වෙනස්වීමකට මෙමඟින් බඳුන් කළා. මේ රටේ සාමාන්‍ය පෙළින් පසුව දරුවන් විශාල ප්‍රමාණයක් පාසල් හැර යනවා. නැතිනම් ඒ අය වෙනත් අවස්ථාවලට යොමු වෙනවා. මේ තත්ත්වය වටහා ගත් අපේ රජය හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම ප්‍රධානීන් කැඳවා මේ පිළිබඳ අවශ්‍ය දැනුවත් කිරීම සිදුකළා. අද එය මල් ඵල ගැන්වෙන දවස. 2017 දී අපි නියාමක වැඩසටහනක් විදිහට වසර 13ක සහතික කළ අධ්‍යාපන වැඩසටහන පාසල් 42ක ආරම්භ කළා. ගිය වසරේ පාසල් පාසල් 154ක පටන් ගත්තා. මේ වසරේ පාසල් 150කට ආසන්න ප්‍රමාණයකට මේ වැඩපිළිවෙළ ආරම්භ කරන අතර, ඊළඟ වසරේ අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ පාසල් 800කට වැඩි ප්‍රමාණයක මේ වසර 13ක සහතික කළ අධ්‍යාපනය ලබා දෙන්න. මෙමඟින් සාමාන්‍ය පෙළ සමත් වුවද, අසමත් වුවද තමන්ගේ හැකියාව දක්ෂතාව අනුව වෘත්තීය විෂයයන් 26ක් අතුරින් එකක් තෝරා ගෙන ඉදිරියට යන්න පුළුවන්. එයින් ඉදිරියට යන්න අවශ්‍ය නම්, විශ්වවිද්‍යාල උපාධිය වෙන්න පුළුවන්, නැතිනම් උසස් තාක්ෂණ ආයතනයක වෙන්න පුළුවන් ඒ සඳහා යෑමට අවශ්‍ය කටයුතුත් මෙමඟින් සිද්ධ වෙනවා.

මේ සම්බන්ධයෙන් විවිධ අයට විවිධ අදහස් තිබෙනවා. හුඟක් අය පැවසුවා මෙය ප්‍රායෝගික ලෝකයට ගැළපෙන, වැඩ ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් කියලා. ඒ විතරක් නෙවෙයි මේක රැකියා වෙළෙඳ පොළට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක්. අපට අවශ්‍ය වෙන්නේ පුහුණු මානව සම්පතක්. අපේ රට අද වේගයෙන් දියුණු වෙනකොට සංචාරක ව්‍යාපාරය වෙන්න පුළුවන්, උසස් තාක්ෂණය, කෘෂිවිද්‍යාවට අවශ්‍ය මානව සම්පත වෙන්න පුළුවන් විෂය ධාරා 26ක් ඔස්සේ තමන්ගේ ඒ හැකියාව ඉදිරියට ගෙන යන්න මෙමඟින් හැකියාව ලැබෙනවා. මෙහි ක්‍රීඩා විෂයයන් තිබෙනවා. කලා විෂයයන් තිබෙනවා. විවිධ වෘත්තීය විෂයයන් තිබෙනවා. එදා සාමාන්‍ය පෙළ සමත්වී උසස් පෙළ ආදිය බලනවා නම් අමරදේවයන්, වික්ටර් රත්නායකලා, නන්දා මාලිනීලා බිහි වෙන්නේ නෑ. නැතිනම් ක්‍රීඩාවට සුදුසුකම මත ඉදිරියට යන්න පුළුවන් නම් තමයි සුසන්තිකා ජයසිංහලා, සුගත් තිලකරත්නලා, සනත් ජයසූරියලා බිහි වන්නේ. ඒ නිසා මේ දැවැන්ත වෙනස මඟින් තමන්ගේ හැකියාවෙන් ඉදිරියට යන්න හැකිවෙනවා. මෙයට රජය විශාල වියදමක් දරා තිබෙනවා. රජයෙන් අගමැතිතුමාගේ නායකත්වයෙන් අපට හැකිවුණා මේ සඳහා ගුරුවරුන්, සම්පත් ආදිය ලබා ගන්න. මේ වනවිට පාසල් අටසිය ගණනක ගොඩනැඟිලි හදා දී තිබෙනවා. නැතිනම් ප්‍රතිසංස්කරණය කර දී තිබෙනවා. ඒ නිසා මේ පැමිණ සිටින දරු දැරියන් විතරක් නොවෙයි මේ වසරේ සහ එන වසරවලත් අධ්‍යාපනය ලබන්න එන දරුවන්ට මෙමඟින් තමන්ගේ ජීවිතයේ සැබෑ වෙනසක් ඇති කර ගන්න පුළුවන්. මම විෂය භාර ඇමැතිවරයා ලෙස ඉතා සතුටු වෙනවා මෙවැනි දැවැන්ත වෙනස්කම් රාශියක් සිදුකරන්න හැකිවීම ගැන.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. භෞතික සම්පත් පමණක් නොව මානව සම්පත් ද ලබා දෙනවා. පාසල් සුපරීක්ෂණ මණ්ඩල ක්‍රමය ඉදිරියේදී එනවා. විභාග දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කෙරෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයෙන් විෂය මාලා යාවත්කාලීන කෙරෙමින් තිබෙනවා. මානව සම්පත ශක්තිමත් කිරීම, පුහුණු කිරීම ආරම්භ කර තිබෙනවා.

මෙහිදී විශේෂ දේශනයක් පැවැත්වූ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා-

අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ සමහර වැරදි ආකල්ප තිබෙනවා. එයින් එකක් තමයි අධ්‍යාපනය වෘත්තීයවේදයට සමඟ සම්බන්ධ විය යුතු නැතැයි කීම. විශේෂයෙන් ම උපාධිය රැකියාවකට සම්බන්ධ කළ යුතු නැති බවට මතයක් විශ්වවිද්‍යාල පද්ධතියේ තිබෙනවා. නමුත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නා දරුවන්ගෙන් වැඩිදෙනා දුප්පත් මවුපියවරුන්ගේ දරුවන්. ඒ නිසා තමන් ලැබූ අධ්‍යාපනයෙන් පසු ප්‍රතිඋපකාරයක් ලෙස රැකියාවක් කර තමන්ගේ මවුපියන් රැකබලා ගැනීම ගැන ඒ අයට වගකීමක් හා යුතුකමක් තිබෙනවා. එතැනදී තමයි රැකියාවක අවශ්‍යතාව මතු වෙන්නේ. මෙහිදී අපට අකමැත්තෙන් හෝ කියන්න සිදුවෙනවා අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් සිදුකළ යුතුයි කියලා. අපේ අධ්‍යාපන ක්‍රමයේ බොහෝ නොගැලපීම් තිබෙනවා වෙනස්කම් කළ යුතු.

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ගත්තොත් දරුවන් ටිකක් තෝරා ගෙන උසස් පෙළට ගෙන යාමත්, එයින් තෝරා ගත් පිරිසක් උසස් අධ්‍යාපනය කරා ගෙන යාමත් සිදුවෙනවා. මෙහිදී සාමාන්‍ය පෙළින් හැලෙන දරුවන් ගැන අපේ අධ්‍යාපනයේ දැක්වූ අවධානය ඉතා අඩුයි. ඒ දරුවා පාසලෙන් එළියට යන්නේ තමන් ලැබූ අධ්‍යාපනයෙන් රැකියාවක් සඳහා සුදුසුකමක් ඇතිව නොවෙයි. එය තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන අවාසනාවන්ත තත්ත්වය. පාසල් හැර යාමේ කුලසතාවයක් ලෙස අපි අධ්‍යාපන ක්‍රමය සාදා නොගැනීම වරදක්. මේ තත්ත්වය වළක්වා ගැනීම වසර 13ක සහතික කළ අධ්‍යාපන ක්‍රමයෙන් අපේක්ෂා කිරීමට අප අගය කළ යුතුයි.

අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ද, අධ්‍යාපන ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීහු, පළාත් අධ්‍යාපන බලධාරීහු ද, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය, විදුහල්පතිවරු, ගුරුවරු, පාසල් දරුදැරියෝ ඇතුළු විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප- හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න