හිටපු ඇමැති ජෙයරාජ් ඝාතන නඩු විභාගය | දිනමිණ

හිටපු ඇමැති ජෙයරාජ් ඝාතන නඩු විභාගය

ගම්පහ සංචාරක - නිමල් ජයසිංහ

පළමු විත්තිකරුගේ පාපොච්චාරණයක් සටහන් කරගත් බව කීවා මතකද?
- නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්

පෙර දිනක දුන් සාක්ෂිය මතකයි
- සාක්කිකරු

2019.01.22 ඔබ මේ අධිකරණයේදී සාක්ෂි දෙමින්, මේ නඩුවේ පළමු විත්තිකරුගේ පාපොච්චාරණයක් සටහන් කරගත් බව කීවා මතකදැයි හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතන නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදෙන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්. එම්. නිමල් රත්නායක මහතාගෙන් විමසීය.

සාක්ෂිකාර පොලිස් අධිකාරිවරයා-

පෙර දිනක දුන් සාක්ෂිය මතකයි. 2010.04.19 දින මේ පාපොච්චාරණය ලියා ගන්නා අවස්ථාව, ලියාගන්නා ආකාරය ඔහුට දැන්වූවාද? ඔහුට සිංහල, දෙමළ භාෂා පුළුවන් බව කීවාද? මොන භාෂාවෙන්ද ලියාගන්න කීවේ?

සාක්ෂිකාර පො. අධිකාරිවරයා - ඔහු කීවා සිංහල, දෙමළ භාෂා හොඳට පුළුවන් කියා. ඔහුමයි කීවේ සිංහල භාෂාවෙන් ලියාගන්න කියා.

නි. සොලිසිටර් ජනරාල් - ඔහුට සටහන් කර ඉදිරිපත් කරන්න අවස්ථාවක් දුන්නාද? ඒ ගැන ඔහු ඔබට කීවේ කුමක් ද?

සාක්ෂිකරු - ලොකු විස්තරයක් ලියන්න වෙනවා. ටයිප් කරන්න කීවා සිංහලෙන් ලියා දුන්නේ නැහැ.

නි. සොලිසිටර් ජනරාල් - ටයිප් කරන්න පොලිස් නිලධාරිනියක් කැඳවා ගන්න කීවා. කවුද ඇය? ඇය සැකකරු සම්බන්ධ කිසිදු විමර්ශනයකට සහභාගිවූ නිලධාරිනියක්ද?

සාක්ෂිකරු - ඇය කාන්තා පො. කො. ශ්‍යාමලි නැමැත්තියයි. ඇය සැකකරු සම්බන්ධ කිසිම විමර්ශන පරීක්ෂණයකට සහභාගි නොවූ තැනැත්තියක්. මෙවැනි කටයුතු රාජකාරියට යොදවන්නේ සොයාබලා විමසීමෙන් පසුය.

නි‍. සො. ජනරාල් - කොයි ආකාරයෙන්ද ටයිප් කළේ?

සාක්ෂිකරු - චූදිත ද්‍රවිඩ භාෂාවෙන් කීවා. මම පරිවර්තනය කළා. විටෙක ඔහු සිංහලෙන් කීවා. මා පරිවර්තනය කරන දේ ඇය ටයිප් කළා.

මේ අවස්ථාවේ සාක්ෂිකරුට නි. සොලිසිටර් ජනරාල්වරයා විසින් පාපොච්චාරණය සඳහන් ලේඛන පොත පෙන්වාදේ. එය සාක්ෂිකරු හඳුනාගනී.

නි. සොලිසිටර් ජනරාල් - මේ ලේඛන පොතේ අනුක්‍රමික අංක තිබේද?

සාක්ෂිකරු - අනුක්‍රමික අංක ඇත. සෑම සටහනකටම පසු අධ්‍යක්ෂතුමා සහතික කරනවා.

නි. සොලිසිටර් ජනරාල් - පාපොච්චාරණය ගන්නාවිට විත්තිකරු හොඳ මානසික සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියා ද? නොඑසේ නම් ප්‍රකාශයක් ගන්නවා ද?

සාක්ෂිකරු - හොඳ යහපත් තත්ත්වයෙන් සිටි නිසා පාපොච්චාරණය ගත්තා.

නි. සොලිසිටර් ජනරාල් - විටින්විට ඔහු පාපොච්චාරණය කරනවිටත් ඔහුව දැනුවත් කළාද? ඔහුට තර්ජනයක් තිබූ බවත් කීවාද?

සාක්ෂිකරු - ඔහුව දැනුවත් කරලයි පාපොච්චාරණය සටහන් කළේ. තර්ජනයක් තිබූ වගක් කීවේ නැහැ. පාපොච්චාරණයෙන් ඔහු සෑහීමට පත්වූවා.

නි. සොලිසිටර් ජනරාල් - සම්පූර්ණ පාපොච්චාරණය ගත්පසු විත්තිකරු ඉදිරියේදීම ඔහුගේ අත්සන ඊට ලබාගත්තා ද?

සාක්ෂිකරු - ඔහුට කියවාදී අත්සන් ගත්තා. අඩුපාඩු ඇත්නම් සකස්කිරීමට ද හැකි බව ඔහුට පහදා දුන්නා. ඔහු සෑහීමට පත්වුණා ටයිප්කළ ‍පො. කො. ශ්‍යාමලී ද එය නිවැරදිව ටයිප් කළ බවට අත්සන් කළා.

විත්තියේ නීතිඥ මහතා - මේ පාපොච්චාරණය ලකුණු කර ඉදිරිපත් කිරීමට විරුද්ධ වෙමි. පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් ඉදිරිපත්කර නැත. විරෝධය පළකරමි. සත්‍යුතා පරීක්ෂණයට ඉදිරිපත් කරන්න ඉල්ලමි.

විත්තියේ නීතිඥ මහතා - ඔබ සත්‍යය ප්‍රකාශ කරනවා කියා දිවුරුවා. ඔබ ඔය පාපොච්චාරණය ගත් අවධියේ සේවය කළේ කොහේද?

සාක්ෂිකරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්නායක මහතා - මම සේවය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ අංශයේය.

විත්තියේ නීතිඥවරයා - ඔබේ සාක්ෂියේදී ඔබගේ සේවා පිස්තෝලයද වව්නියාවේ තිබුණේ යැයි කීවා ඒ සම්බන්ධය කුමක් ද?

සාක්ෂිකාර පොලිස් අධිකාරිවරයා - මා එවකට සේවය කළේ වව්නියාව කොට්ඨාසයේ හදිසි මාරුවක් කොළඹට ලැබුණා. ඒ වේලාවේ සේවා පිස්තෝලයද වව්නියාවේ සේවා ස්ථානයේ රඳවා තබා කොළඹ ආවේ.

විත්තියේ නීතිඥවරයා - සේවා පිස්තෝලය ළඟ තබා ගත්ත බයද? පිස්තෝලය නිල ඇඳුමේ කොටසක් නොවේද?

සාක්ෂිකරු - නිල ඇඳුමේ කොටසක් නොවේ. මේ කාලයේ මම විශ්‍රාම යන්න ආසන්නවයි සිටියේ. පිස්තෝලයේ ආරක්ෂාව පිළිබඳ මට මානසික පීඩනයක් තිබුණා.

විත්තියේ නීතිඥවරයා - පිස්තෝලයක් එපා කියන්න තිබුණනේ. කාටද පිස්තෝලය භාරදුන්නේ?

සාක්ෂිකරු - ආයුධයක් භාවිතා කිරීමට අවශ්‍යවූවිට භාවිතයටයි දෙපාර්තමේන්තුව එය ලබාදෙන්නේ. මගේ සේවා පිස්තෝලය වව්නියාවේ අවි ගබඩාවට භාරදී පැමිණියා.

විත්තියේ නීතිඥවරයා - ඔබ කොළඹ කොතනද රාජකාරි කළේ?

සාක්ෂිකරු - කොළඹ ත්‍රස්ත විමර්ශන කඳවුරේය.

වැඩිදුර විභාගය පෙබරවාරි 26 දිනට කල්තැබිණි.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරංග බණ්ඩාර, ගාමිණී අල්විස් මහතා සමඟ නීතිඥවරු රැසක් පෙනී සිටියහ.

නව අදහස දක්වන්න