කිසිම භේදයක් නැතිව රටේ සිවුකොන විසිරුණු සංවර්ධනයක් රජයේ දැක්මයි | දිනමිණ

කිසිම භේදයක් නැතිව රටේ සිවුකොන විසිරුණු සංවර්ධනයක් රජයේ දැක්මයි

ජයසිරි මුණසිංහ

කිසිම බේදයකින් තොරව රටේ සිවුකොන විසිරුණු සංවර්ධනයක් ඇති කිරීම රජයේ දැක්ම බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

උතුරු පළාතේ ආර්ථික සංවර්ධනය ඇති කරලීමේ අරමුණින් සකස් කළ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. කොළඹ, කොටුව පිහිටි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඊයේ (22) උදේ මේ වාර්තාව එළිදැක්වීම සිදුකෙරිණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ වාර්තාව හඳුන්වාදීමේ කාර්යය ඉටු කෙළේය.

තවදුරටත් ඇමැති මංගල සමරවීර මහතා මෙසේද කීය. අද ඉතාමත්ම වැදගත් කාර්යයක් අපි ඉටු කරන්නේ. අපේ රටේ දශක තුනක යුද්ධය නිසා උතුරේ සංවර්ධනය ආපස්සට තල්ලු වුණා. උතුරේ සංවර්ධනය පසුගාමී වී තිබීම පිළිබඳව අප ගැඹුරින් කල්පනා කොට බැලිය යුතුයි.

ඒ අනුව අපි කිසිම බේදයකින් තොරව මුළු රටේම සංවර්ධනයක් ඇති කරන්න සූදානම් වෙනවා.

ඒ යටතේ උතුරේ සංවර්ධනය ඇති කරන මහා සංවර්ධන සැලැස්ම අපි තවත් මාස 06ක් තුළ ඉදිරිපත් කරනවා. එයට සහායවීම සඳහා තමයි අද මේ ආර්ථික සංවර්ධන සැලැස්ම එළිදැක්වූවේ. පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාත්, කොළඹ සිට සංගමන්කන්ද තුඩුව දක්වාත් එකසේ පැතිරුණ සංවර්ධනයක් සිදුවිය යුතුයි.

රටේ සෑම ප්‍රදේශයකම එකසේ දියුණු කර යටිතල පහසුකම් ජාලයක් බිහි කිරීම අපේ අරමුණයි. ඉදිරි වසර කිහිපයේදී මේ සැළැස්ම ක්‍රියාත්මක කොට සෑම ජන කොටසකටම, සෑම අංශයකටම දියුණුව, සංවර්ධනය ගෙන ඒමට කටයුතු කරනවා.

රටේ දරිද්‍රතාව, විරැකියාව, ආදායම් බෙදීයෑමේ විෂමතා දුරු කිරීමට අපි සූදානම්. උතුරේ මඟ හැරුණු යටිතල පහසුකම්, ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් ලබාදෙනවා. මේ සැලසුම් තිරසාර ආර්ථික, සාමාජික සංවර්ධනයක් අැති කරන එකක්.

උතුරේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, කෘෂිකර්මාන්ත, සේවා අංශ නව ව්‍යවසායක් ඇරැඹීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනින් ණය මුදල් ලබාදෙනවා. ඉන් ප්‍රයෝජන ලබා ගැනීමට ව්‍යවසායකයන් දිරිමත් කරන්න.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා-

මේ සැලැස්ම ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කරදෙන එකක් බවට පත්කර ගත යුතුයි. මෙයින් අප පළාතේ නව රැකියා අවස්ථා ජනිත කිරීමට පියවර යෝජනා විය යුතුයි.

අපේ පළාතේ කෘෂිකාර්මික, කාර්මික සේවා අංශවල නව කර්මාන්තශාලා ඇරැඹීමට පියවර ගත යුතුයි. දැනට පරන්තන්වල, කන්කසන්තුරේ වසා ඇති කර්මාන්තශාලා ආරම්භ කළ යුතුයි.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා-

අපේ පළාතේ තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා ඉක්මනින් ජනිත විය යුතුයි. යුද්ධයෙන් පසු අවතැන් වූ පිරිස් වගේම වැන්දඹුවන් බවට පත්වුණු කාන්තාවන්ට ජීවිතය ජයගන්න උදව් කළ යුතුයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, සංහිඳියාව ඇති කරලීම පිළිබඳව ලේකම් කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ල, ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති රාමුව සකස් කළ කමිටුවේ සභාපති බී. ෂීවතීපන්, කමිටු සාමාජික ආචාර්ය අහිලන් කදිරගාමර් මහත්වරු ඇතුළු කිහිපදෙනකු මෙහිදී අදහස් දැක්වූහ.

උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත, ද්විපාර්ශ්වික ණය දෙන ආයතනවල ප්‍රධානීන්, විදේශීය තානාපතිවරු, රාජ්‍ය අංශ උසස් නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


නව අදහස දක්වන්න