19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කිසිම කරුණක් මෙතෙක් ඉටු වී නෑ | දිනමිණ

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කිසිම කරුණක් මෙතෙක් ඉටු වී නෑ

* ශ්‍රී ලංකාවේ තරම් දන්සල් ලෝකේ කොහෙවත් නැහැ. ආහාර දන් දෙනවා. ඇඳුම් පැළඳුම් දන් දෙනවා. තමන්ට තිබෙන වස්තුව ධනය ගෙවල් ඉඩකඩම් දන් දෙනවා. සමහර වෙලවාට අපි අපේ යුද්ධය මතක් කළොත් අවුරුදු 30 කට ආසන්න රට වෙනුවෙන් රණවිරුවන් ජීවිතය දන් දුන්නා.
* 19 වැනි සංශෝධනෙය් තිබෙන කිසියම්ම දෙයක් අපි කරලා නැහැ. අපේ රටේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ඇතුළු කරන ලද පළාත් සභා පනතින් පළාත් සභා පිහිටුවලා දැන් වසර 30 කටත් වැඩියි.
* මානව හිමිකම් ගැන ලෝකයේ මහා කයිවාරු ගහන රටවල ලොකු ලොක්කෝ ත්‍රස්තයෝ අල්ල ගත්තහම කුඩු කාරයෝ අල්ල ගත්තහම පාතාලය අල්ල ගත්තහම ඔය කියන එක මානව හිමිකමක්වත් ඒ රටවල ක්‍රියාත්මක වෙනවද?.
* අද පළාත් සභාවලට වෙන් කරන සල්ලිවලින් සියයට 85ක් නඩත්තුවට. සියයට 15ක් සංවර්ධනයට. නිලධාරීන් දහස් ගණනක් පළාත් සභාවල අද බොහෝ වේලාවට වැඩක් හරි වගකීමක් නැතිව ඉන්නවා
* 19 වැනි සංශෝධනය මඟින් බලගන්වනු ලැබූ නව ව්‍යවස්ථා සභාවේ කාර්ය මඟින් බලාපොරොත්තු වූ උසස් අරමුණු වන්නේ මේ මූලික අභිමථාර්ථයන් සාක්ෂාත් කර ගැනීමයි.
* දැනට කටයුතු කරන ආකාරයට ව්‍යවස්ථා දායකය විධායකය සහ අධිකරණය යන අංශ 3 ම අද ව්‍යවස්ථාදායක සභාවෙන් පාලනය වෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ.
* අපි හදපු 19 වන සංශෝධනයෙන් බිහි වූ අනිත් දරුවෝ තමයි ස්වාධීන කොමිෂන් සභා. මේවා වැරදි පැත්තකට යනවනම් ඉතාමත් බරපතළයි.

19 වැනි සංශෝධනයට අනුව ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට කටයුතු කළ නමුත් එහි වගකීම්, ප්‍රතිපත්ති සහ මගපෙන්වීම පිළිබඳව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පැහැදිලිව සඳහන්ව තිබුණ ද එම කිසියම්ම කරුණක් මෙතෙක් ඉටු වී නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේ දී පෙරේදා (21) ප්‍රකාශ කෙළේය.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ තමා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය පිළිබඳ ඉතා වැරදි අර්ථ කථනයක් ලබාදෙමින් සිදුකරන දැඩි විවේචන තරයේ ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා යම් විනිසුරුවරයෙකුගේ නමක් ව්‍යවස්ථා සභාවෙන් ප්‍රතික්ෂේප වන්නේ නම් එය එසේ වන්නේ ඇයි ද යන්න දැන ගැනීමට එම විනිසුරුවරුන්ට අයිතියක් ඇති බව ද තමන්ගේ උසස්වීමක් අහිමිවන අවස්ථාවේ එසේ ප්‍රශ්න කිරීමට කම්කරුවෙකුට පවා ශුද්ධ වූ අයිතියක් ඇති බව ද සඳහන් කළේය.

මේ ගරු සභාවේ අද මේ ව්‍යවස්ථා සභාවේ කටයුතු සම්බන්ධයෙන් කරන ලද සාකච්ඡාවේ දී වගේම ඉන් පිටත විවිධ උත්සව සභාවල ප්‍රවෘත්ති සාකච්ඡා තුළ දේශපාලන වේදිකාව තුළ මා විසින් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයට පිළිතුරු වශයෙන් අවස්ථා කිහිපයක දී ම ගරු අගමැතිතුමාත් පිළිතුරු දී තිබුණා. ඒ වගේම මම එදා මේ ගරු සභාවේ කතා කළ දිනට පසු දින ඔබතුමන් ඒ පිළිබඳව මට පිළිතුරු ප්‍රකාශයක් රටට නිකුත් කර තිබුණා. අද මේ විවාදය ආරම්භ වූ අවස්ථාවේ සිට ඊට සහභාගි වූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමතිවරු කිහිප දෙනෙක් මේ ප්‍රශ්නයේ දී දැනට මා දරන ස්ථාවරය පිළිබඳව ඉතාමත් වැරදි අර්ථකථනයක් දෙමින් මා පිළිබඳව දැඩි විවේචනයන් කර තිබුණු බවත් මට දැනගන්නට ලැබුණා. නමුත් ගරු කථානායකතුමනි මම අද මේ ගරු සභාවට ආවේ ඔබතුමාගේ අවසරය තුළ විශේෂයෙන්ම ඒ එකම කතාවකටවත් පිළිතුරු දීමට නම් නොවන බව මා මුලින්ම ප්‍රකාශ කරන්නට ඕනෑ. මා මීට පෙර මේ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ පිළිබඳව දී ඇති විග්‍රහයන් සහ විවේචන මා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා.

ගරු අගමැතිතුමාගේත් ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශ තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර ඇති විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් මම විවේචනයක් නැත්නම් විරෝධයක් පළ කර ඇති බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පෙනී ගියා. මම ඉතා පැහැදිලිවම කියන්නට ඕනෑ ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අභියාචනාධිකරණයට පත් කර ඇති, පත්වීම් ලබා ඇති විනිශ්චයකාරතුමාලා සම්බන්ධයෙන් මගේ කිසිදු විවේචනයක් නැහැ. ඒ පිළිබඳව මගේ කිසිදු දෝෂාරෝපණයකුත් නැහැ. ඒ පිළිබඳව මගේ කිසිම විරුද්ධත්වයකුත් නැහැ. ප්‍රශ්නය කණපිට හරවා අධිකරණයට සහ රටට මා පිළිබඳව ඉතාම වැරදි රූපයක් පෙන්වන්න මේ ප්‍රශ්නයේ දී ඇතැම් පිරිස් උත්සාහ ගන්නා බව මට පෙනී ගියා. ගරු කථානායකතුමනි ඔබතුමත් මේ ගරු සභාවේ සියලූ මැති ඇමතිතුමාලත් දන්නා පරිදි මේ ගරු උත්තරීතර සභාවේ මම සාමාජිකයෙක් නොවෙයි. මා අද මේ කතා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට තිබෙන ප්‍රතිපාදනත් ඒ වගේම පාර්ලිමේන්තුවේ කතා කිරීමට තිබෙන ප්‍රතිපාදනත් ඒ පදනම මුල් කරගෙන බව මා විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනෑ.

2015 ජනවාරි මාසේ 08 වෙනිදා පැවැති ජනාධිපතිවරණයේ දී අප ගරු කථානායකතුමනි ඔබතුමාලා සියලු දෙනාම මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කළා. ඒ මැතිවරණ ප්‍රකාශනයට අත්සන් තැබූ පිරිස් කවුද යන්න ඔබතුමා ඇතුළු මේ ගරු සභාවේ විශේෂයෙන්ම අද ආණ්ඩු පක්ෂ නියෝජනය කරන වගේම විපක්ෂයේ සිටින පිරිස්වලට මතක ඇතැයි කියා මා විශ්වාස කරනවා. දේශපාලන පක්ෂ වෘත්තිය සමිති සිවිල් සංවිධාන 49 ක් ඒ ඓතිහාසික ප්‍රකාශනයට විහාර මහා දේවි උද්‍යානයේ දී අත්සන් තැබුවා. ඒ අත්සන් තැබූ ප්‍රකාශනයේ තිබුණු කරුණු මුල් කර ගත් විට මූලික වශයෙන්ම ඉතාමත් වැදගත් වූ සංකල්පයක් ජාතික දේශපාලනය සහ අන්තර්ජාතික දේශපාලනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බොහෝ යහපාලනයන් උද්දමන පිළිබඳව දක්වන අදහස්වල දී අපි ඒ ඇතුල් කළේ මූලික වශයෙන්ම මේ යහපාලනය කියන සංකල්පය සහ ඊට අදාළ මුල් වූ කරුණු රාශියක්. ඒ කරුණු ඉදිරිපත් කිරීම තුළ මූලික වශයෙන්ම ඒ මැතිවරණ ප්‍රකාශනයෙන් රටේ ජනතාවට දුන් පොරොන්දුවක් තමයි අපි ඉෂ්ට කළේ ගරු කථානායකතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය.

ඔබතුමාට වගේම මේ ගරු සභාවේ සියලූ දෙනාට මතකයේ තිබෙනවා මා ජනාධිපති ධුරයට පත් වන විට මා පත්වනවාත් සමඟම ඒ මොහොතේම මා දිවුරුම් දුන් මොහොතේම ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නා මා ඉදිරියේ දී. ඒ අපි ඇති කර ගත් එකඟතාවක්. සම්මුතියක්. ඒවගේම ඒ එකඟතාවය මත අප කටයුතු කිරීමට ඇති කර ගත් සම්මුතීන් ගිවිසුම් තුළ මැතිවරණ ප්‍රකාශනයේ කරුණු ඒ සියල්ල ගත් විට ඔබතුමාට මතක ඇති අපි අගෝස්තු මාසයේ 2015 මහා මැතිවරණය දක්වා ගරු රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය භාර ගන්නා විට දිවුරුම් දෙන විට මේ ගරු සභාවේ මගේ මතකයේ හැටියට එක්සත් ජාතික පක්ෂයේ ගරු මන්ත්‍රීවරු ඇමතිවරු සිටියේ 41 ක් හෝ 47 ක්. මට හරියට ම මතක නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 142 ක් මන්ත්‍රී ධුර තිබුණා. එයින් ඉතාම සෘජුවම 127 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු. අනිත් සංඛ්‍යාව වාම ප්‍රගතිශීලී දේශපාලන පක්ෂවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදර දේශපාලන පක්ෂවල ගරු මැති ඇමතිවරු.

එදා ජනාධිපති ධුරයට මා පත් වී සති තුනකින් පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය මට පිරිනැමීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව ද විපක්ෂය ද කියන භේදයක් නොමැතිව අලූත් ආණ්ඩුවක් විදියට වැඩ කරන්න ජනාධිපති විදියට මට වැඩ කරන්න මේ ගරු සභාවේ අති බහුතරය අපිට කාලයක් ලබා දුන්නා. එහි දී එක්සත් ජාතික පක්ෂය ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය ද ජනතා විමුක්ති පෙරමුණ ද ද්‍රවිඩ ජාතික සන්ධානය ද මේ සියල්ල ඒ මාස කිහිපය තුළ දැඩි සහයෝගිතාවකින් සහ මිත්‍රශිලීභාවයකින් රජයට සහයෝගය දුන්නා. ගරු කථානායකතුමනි ඒ සහයෝගය සහ අනුග්‍රහය දීමේ පදනම තුළ තමයි 19 වෙනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපිට සම්මත කරන්න පුළුවන්කම ලැබුණේ, මන්ත්‍රීවරු 215 කගේ කැමැත්තෙන්. 225 න් 215 දෙනෙක් එහි දී ඡන්දය පාවිච්චි කළා. අද විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුත් සෑහෙන පිරිසක් එදා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මේ ගරු සභාව නියෝජනය කළ ඒ සියලූදෙනාම ඡන්දය පාවිච්චි කළා. ඒ ඡන්දය පාවිච්චි කළ මේ බිහිකළ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු පැහැදිලි කාරණයක්. පොරොන්දුවක්. එකඟතාවයක්.

2015 අප්‍රේල් මාසේ 27 වන දා සහ 28 වැනි දා දෙදින මේ ගරු සභාවේ දී දීර්ඝ ලෙස දින දෙකක් විවාද කළා 19 වෙනි සංශෝධනය වෙනුවෙන්. මුලින් පක්ෂ නායක රැස්වීමේදීත් එදා තීන්දු කර තිබුණේ ගරු චමල් රාජපක්ෂ මැතිතුමා කථානායකතුමා විදියට දින එකහමාරක් විවාද කර 28 වන දා දවල් 12.00 ට ඡන්ද විමසීමටයි. මා ඊයේත් අදත් හැන්සාඩ් වාර්තා හොඳින් කියෙව්වා ගරු කථානායකතුමනි. 27 වනදා උදේ පටන් ගත් විවාදය 28 දවල් 12.00 ට අවසන් කළ ඡන්ද විමසීමට නියමිතව තිබුණු මුත් එය සවස 5.00 දක්වා එදින දහවල් කල් දැම්මා. පක්ෂ නායකයන්ගේ එකඟත්වයෙන්. එදා සවස 5.00 ට ඡන්ද විමසීම තිබුණු 19 වෙනි සංශෝධනය විශේෂයෙන්ම මේ ගරු සභාවේ සන්ධ්‍යාවේ ඇති වූ කාරක සභා අවස්ථාවේ දැඩි සංශෝධන පිළිබඳව ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ තමයි ඒ දවල් 12.00 ට ඡන්ද විමසීම සවස 5.00 ට කල් දැම්මේ. ඒ සවස 5.00 ට කල් දැමූ ඡන්දය සවස 5.00 ට ඡන්ද ගැනීමටත් නොහැකි තත්ත්වයකට හවස 4.00 5.00 වෙන කොට තත්ත්වය උණුසුම් වුණා.

එහි දී පක්ෂ නායකයන්ගේ එකඟතාව තුළ රාත්‍රී 7.00 ඡන්දය විමසන්න කල් දා ගත්තා. මේ දවස් දෙකේම 2015 අප්‍රේල් මාසේ 27 සහ 28 දෙදින මුළු දවස් දෙකම සම්පූර්ණයෙන්ම මා මේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළයි සිටියේ. ඒ සිටියේ යම් කිසිවක් නිසා නොව ගරු කථානායකතුමනි, ගරු මංගල සමරවීර මැතිතුමා දැන් මීට පෙර ප්‍රකාශ කළ ආකාරයට මා විසින් බිහි කළ දරුවා 19 වෙනි සංශෝධනය. සුජාත දරුවෙක් මම බිහි කළේ. ඒ සුජාත දරුවා බිහි කළේ බලාපොරොත්තු රාශියක් ඇතිවයි. ලෝකයේ උපදින දරුවන් සුජාත අතිජාත සහ තවත් දරුවන් විදියට වෙන් කෙරෙනවා. අපි බිහි කෙළේ අතිජාත සුජාත දරුවෙක්. මේ රටේ යහපත් රාජ්‍ය පාලනයක් සඳහා. එසේ බිහි කළ ඒ දරුවා 19 වැනි සංශෝධනයෙන් 2015 අප්‍රේල් 28 සන්ධ්‍යා යාමේ ආණ්ඩුව වෙනුවෙන් ගොඩගත්තේ මම ප්‍රධාන වශයෙන්ම ස්තූතිවන්ත වෙනවා මෙතන මට පේන්න නම් නැහැ. ගරු විජයදාස රාපක්ෂ මන්ත්‍රීතුමා ඇමතිවරයෙක් විදියට එදා මෙතන සම්පූර්ණයෙන් ප්‍රශ්නවලට මුහුණ දුන්නේ. විපක්ෂයේ ආ වාද විවාද තර්ක ඔබතුමාලට මතක ඇති ව්‍යවස්ථා සභාව පිළිබඳව ආපු කාරණාවලදිත් ඉන්පසු කාලීනවත් ව්‍යවස්ථා සභාවේ සංයුතිය පිළිබඳව ඇති වුණු තත්ත්වයත් දේශපාලනඥයින් කී දෙනෙක් ද? සිවිල් සංවිධාන කී දෙනෙක් ද? වෘත්තිකයින් කී දෙනෙක්ද? මේ කියන ප්‍රශ්නය දැඩි ලෙස සාකච්ඡාවට භාජනය වුණා.

කෙසේ හෝ වේවා සුජාත දරුවෙක් බිහි කිරීමේ පරම ශ්‍රේෂ්ඨ අභිමථාර්ථයෙන් කළ ඒ කාර්යයේ දී පැහැදිලි ලෙස යහපත් රාජ්‍ය පාලනයක තිබිය යුතු ගති ලක්ෂණවල දි ව්‍යවස්ථා සභාවක අද ලංකාදීප පුවත්පතේ කුසල් පෙරේරා මාධ්‍යවේදියා සඳහන් කරන ආකාරයටම උපතින්ම හොරෙක් නැත්නම් අංගවිකළ දරුවෙක් බවට 19 වෙනි සංශෝධනය පත් වුණා. මම හිතන්නේ ඔබ කවුරුත් ගරු කථානායකතුමනි විශේෂයෙන්ම අද සිටින ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරු කුසල් පෙරේරා මහතා රට පිළිගත් නිදහස් අදහස් දරන මාධ්‍යවේදියෙක් කියා පිළිගන්නවා. එතුමාගේ අදහස් සියයට 90 ක් මම පිළිගන්නවා. අද ලංකාදීපයේ එතුමාගේ ලිපිය නම් සියයට 99‍ ක් මම පිළිගන්නවා. මම නෙවෙයි කියන්නේ මාධ්‍යවේදියෙක්. 19 වෙනි සංශෝධනය මුලින්ම බිහි වෙන කොට ම ආබාධිතවයි ඉපදුනේ කියලා. එයට ඔහු කරන විග්‍රහය තමයි ව්‍යවස්ථා සභාවේ දේශපාලනඥයින්ගේ සංඛ්‍යාව වැඩි වීමත් යහපත් රාජ්‍ය සංකල්පයකට තිබිය යුතු වෘත්තිකයින් බුද්ධිමතුන් උගතුන් බහුශ්‍රැතයින්, සිවිල් සංවිධාන නියෝජනයට වඩා දේශපාලන පිරිසක් එක්වීම නිසා ව්‍යවස්ථා සභාවක් විදියට බලාපොරොත්තු වුණු දේ ඉටු නොවී වෙන පාරක යන බව මෙයින් ඉතාම ඒ ලිපියේ අද පැහැදිලිව සඳහන් කරලා තිබුණා.

මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්තහම ගරු සභාපතිතුමනි මා පැහැදිලිව කියන්නට ඕනෑ 19 වෙනි සංශෝධනයෙන් ‍ෙකළේ අසීමිත බලයක් තිබුණු විධායක ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට ගන්න එක. පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාවට එතනින් ස්වාධීන කොමිෂන් සභාවලට. ගරු කථානායකතුමනි මෙතන සිටින බෞද්ධ වේවා වෙනත් ආගමික ඒ සියලූ අංශවල කවුරුත් අපි දන්නවා දානයට කැමතියි. අපේ ලාංකික සංස්කෘතිය සිංහල වේවා හින්දු වේවා ඉස්ලාම් වේවා ක්‍රිස්තියානි වේවා ලෝකයේ කිසිම රටක නැති ආකාරයට දන් දෙනවා. ශ්‍රී ලංකාවේ තරම් දන්සල් ලෝකේ කොහෙවත් නැහැ. ආහාර දන් දෙනවා. ඇඳුම් පැළඳුම් දන් දෙනවා. තමන්ට තිබෙන වස්තුව ධනය ගෙවල් ඉඩකඩම් දන් දෙනවා. සමහර වෙලවාට අපි අපේ යුද්ධය මතක් කළොත් අවුරුදු 30 කට ආසන්න රට වෙනුවෙන් රණවිරුවන් ජීවිතය දන් දුන්නා. එල්ටීටීඊ සංවිධානය එන විට ඔවයුන්ගේ යුධ ටැංකි ඒවාට පැන්නා. ජීවිතය දන් දුන්නා. ඒවගේම රුධිරය පූජා කරනවා. නමුත් බලය දන් දුන්න අය ලෝකයේ හරිම අඩුයි.

ගරු කථානායකතුමනි, 2015 ජනවාරි 08 මට ලැබුණු ජයග්‍රහණයේදි මම ජානතාවට දුන් පොරොන්දු අනුව ලෝකයේ ඉතාමත් මම දන්නේ නැහැ කී දෙනෙක් ඒ වැඬේ කරලා තිබෙනවද කියලා තමා බලයට පත් වීමෙන් පසුව තමාගේ බලය දන් දුන්න කෙනෙක් මම. ඒක මම දන්නේ නැහැ කී දෙනෙක් කරලා තිබෙනවද කියලා ලෝකයේ. ඒ නිසයි මම ඒකයි කිව්වේ. මෑත යුගයේ ලොක්යේ කිසිම නායකයෙක් නොකළ තමා අතේ තිබුණු බලයට පත්වීමෙන් පසුව තමාගේ බලය දන් දීලා තිබෙනවා. මම එහෙමයි මේ ආණ්ඩුවේ කටයුතුවලට සහයෝගය දීලා තිබෙන්නේ. ඉතාම පවිත්‍ර චේතනාවෙන් ඒ අරමුණු ඉෂ්ට කර ගන්න. නමුත් මම කියපු සුජාත දරුවා 19 වැනි සංශෝධනය මට කණගාටුයි කියන්න සමාවෙන්න ඒ සුජාත දරුවා මට පේන විදියට නම් අපචාරයට ලක් වී තිබෙනවා. එහෙම කියන්න මට කරුණු තිබෙනවා ගරු කථානායකතුමනි. ප්‍රධාන වශයෙන්ම මේ කරුණු පිළිබඳව කතා කරන විට අපි මූලික වශයෙන් බලය දන් දුන් මිනිස්සු විදියට ජනතාවට ඉතා පවිත්‍ර චේතනාවෙන් අපි 19 වෙනි සංශෝධනය ව්‍යවස්ථා සභාව හැදුවා. ස්වාධීන කොමිෂන් සභා හැදුවා. ස්වාධීන කොමිෂන් සභා සහ විශේෂයෙන්ම ව්‍යවස්ථා සභාවේ කාර්යය වගකීම ප්‍රතිපත්ති එහි මගපෙන්වීම් මේවා පිළිබඳව 19 වැනි සංශෝධනයේ පැහැදිලිව තිබෙනවා.

නමුත් ඒ 19 වැනි සංශෝධනයේ තිබෙන කිසියම්ම දෙයක් අපි කරලා නැහැ. අපේ රටේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ඇතුළු කරන ලද පළාත් සභා පනතින් පළාත් සභා පිහිටුවලා දැන් වසර 30 කටත් වැඩියි. නමුත් කිසිම ආණ්ඩුවක් ගරු කථානායකතුමනි, පළාත් සභා ක්‍රමයේ සාර්ථක අසාර්ථකභාවය අඩුපාඩු දුර්වලකම් ඒවා ශක්තිමත් කරනවද නොකළ යුතුද ශක්තිමත් කරනවා නම් කෙසේද. මේ කියන කරුණු අවුරුදු 30 ක් ගත වෙලත් පළාත් සභා පිළිබඳව පසුවිපරමක් කිසිම ආණ්ඩුවක් කරලා නැහැ. අපි කරලත් නැහැ. මම කරලත් නැහැ. ඒ තුළ පළාත් සභාවේ අපි බලාපොරොත්තු වුණු අරමුණූ කොතෙක් දුරට සාර්ථකද අසාර්ථක ද කියලා අපිට නිවැරදිව මෙච්චරයි කියලා ගණන් හදලා කියන්න පුළුවන්කමක් නැහැ. එවැනි අධ්‍යයනයක් පසුවිපරමක් කර නැති නිසා. අද පළාත් සභාවලට වෙන් කරන සල්ලිවලින් සියයට 85ක් නඩත්තුවට. සියයට 15ක් සංවර්ධනයට. නිලධාරීන් දහස් ගණනක් පළාත් සභාවල අද බොහෝ වේලාවට වැඩක් හරි වගකීමක් නැතිව ඉන්නවා. පළාත් සභා විසුරුවලා වසර එකහමාරක් නිසා. එතකොට පළාත් සභා ක්‍රමය ගැනත් තමාගේ වගකීම අපි සෑම කෙනෙක්ම ඉෂ්ට කරලා නැහැ.

ඒ වගේම තමයි ගරු කථානායකතුමනි මා මෙහිදි හෘද සාක්ෂියට එකඟව මේ කියන්නේ මම මේ කථාකරන්නේ ඔබතුමාට විරුද්ධවත් අගමැතිතුමාගේ අදහස්වලට විරුද්ධවත් අද දවසේ දී මේ ගරු සභාවේ දී මාව විවේචනය කළ අයට විරුද්ධවවත් නොවෙයි. අපි අතේ යම්කිසි වැරැද්දක් සිදුවෙනවා නම් ඒ වැරැද්ද අපි නිවැරදි කර ගත යුතුයි. අපි වාහනයක් එළවගෙන යන කොට ඒක පාරෙන් පනින බව පේනවා නම් ඒක ඉක්මනට අපි පාරට ගන්න ඕන විදුලි කණුවක ටෙලිෆෝක් කණුවක හැප්පෙන්න කලින්. කාණුවකට වැටෙන්න කලින්. දැන් මේ ව්‍යවස්ථා සභාවේ ප්‍රශ්නයේදි ප්‍රධාන වශයෙන්ම සහ ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රශ්නයේදි. දැන් ස්වාධීන කොමිෂන් සභා පිළිබඳවත් මීට සති තුනකට හතරකට කලින් මෙහි දී මම කළ ප්‍රකාශය ඉතාමත් බරපතළ විදියට වැරදි අර්ථකථනයක් දී තිබෙනවා. මේ ගැන කත කළ බොහෝ අය. මම එතනදි කිව්වේ ස්වාධීන කොමිෂන් සභාවලට විරුද්ධව නෙවෙයි. මම එතනදි කිව්වේ ව්‍යවස්ථා සභාවේ වගේම ස්වාධීන කොමිෂන් සභාවලත් සීමාව කොතනද? ඊට අදාළ කරුණු කාරණා මොනවද? ප්‍රතිපත්තිය කුමක්ද? මගපෙන්වීම් මොනවද? .ඒ කිසිම දෙයක් ස්වාධීන කොමිෂන් සභා වලත් නැහැ. මෙහි දී මම එදා කිව්වේ පැහැදිලි ලෙසම බරපතළ අපරාධකාරයෝ කුඩුකාරයෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුයෝ ගරු කථානායකතුමනි. මම එදා කියපු දේ මම මේ කියන්නේ.

පාතාල අපරාධ කල්ලි නායකයෝ වැලිකඩ හිරගෙදර පාලනය කරන්න බැරි නිසා අපි සාකච්ඡා කරලා අධිකරණ ඇමැතිවරයා අපි තීරණයක් අරගෙන අගුණුකොලපැළැස්සට දැම්මා. අගුණකොළපැලැස්සට දාපුවහම මහා මත්කුඩු ජාවාරම්කාරයෝ, අපරාධකාරයෝ, පාතාල කල්ලි නායකයෝ මානව හිමිකම් කොමිෂන් සභාව මේ වගේ දිග මාගලක් වගේ එකක් එවනවා විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියාගෙන් උත්තර අහලා මෙන්න මේවට ප්‍රශ්න දෙන්න කියලා. කවුද අගුණකොළපැළැස්සේ යන්න දුන්නේ. කවුද අපරාධකාරයින්ට ආරක්ෂාව දෙන්න කිව්වේ. කාගේ උපදෙස් අනුවද ඔබ ගියේ. ඔබ එහේ ආරක්ෂක කටයුතු කරන්නේ කුමන ආකාරයටද? .මෙහි ඇති වගකීම ඔබ භාර ගන්නවද? .මම එදත් කිව්ව එක අදත් කියනවා. මානව හිමිකම් කොමිෂන් සභාව මංගල සමරවීර ඇමැතිතුමනි පෙනී සිටින්නේ පාතාලයින්ගේ අපරාධකාරයින්ගේ කුඩුකාරයින්ගේ මානව හිමිකම් සඳහා ද?. මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිතුමිය මම දැක්කා මගේ කතාවෙන් පස්සේ සාකච්ඡාවක් කළා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ප්‍රකාශයක් කරලා තිබෙනවා ජනාධිපතිතුමා මෙහෙම කියලා තිබෙනවා. එහෙම කියපුවහම අපිට වැඩ කරන්න හිතෙන්නේ නැහැ. මේවායින් ඉල්ලා අස්වෙලා යන්න හිතෙනවයි කියලා. මම අහන්නේ මේ රටේ මිලියන් 21 කට ආසන්න ජනතාවගේ මානව හිමිකම් ද රකින්නේ මානව හිමිකම් කොමිෂන් සභාව. අපරාධ පාතාල කාරයින්ගේ මානව හිමිකම් ද රකින්නේ.

මේ මානව හිමිකම් ගැන ලෝකයේ මහා කයිවාරු ගහන රටවල ලොකු ලොක්කෝ ත්‍රස්තයෝ අල්ල ගත්තහම කුඩු කාරයෝ අල්ල ගත්තහම පාතාලය අල්ල ගත්තහම ඔය කියන එක මානව හිමිකමක්වත් ඒ රටවල ක්‍රියාත්මක වෙනවද?. ඒවගේ තමයි මම මෙතන ප්‍රධාන වශයෙන්ම මේ කාරණාවේදි පැහැදිලි කෙළේ ඉතාම කරුණු සහිතව. විනිශ්චයකාරතුමාලා පත් කිරීම පිළිබඳව යන මේ සංවාදය දැන් අද කතා කළ ආණ්ඩු පක්ෂයේ ගරු ඇමැතිතුමෙක් සහ විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් දෙන්නෙක් ඉතාම දැඩි ලෙස මාව විවේචනය කරලා තිබුණා. මම දැන ගත්තා මේ විනිශ්චයාකරතුමාලා පත් කිරීම ගැන මම දොස් කියනවයි කියලා. මගේ ප්‍රශ්නය මම කලිනුත් කිව්වේ පත් කරලා ඉන්න අය ගැන නොවෙයි. මගේ ප්‍රශ්නය ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරන අය පිළිබඳව මොකද්ද කුමක්ද වගකීම කියන අය. ව්‍යවස්ථා සභාව මේ වන විට විනිශ්චයකාරවරු 14 දෙනකුගේ නම් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. සමහර අයගේ නම් මම තුන් සැරේ එවලා තිරෙබනවා. ඇයි ඒ එවන්නේ. ඒ විනිශ්චයකාරතුමාලට ව්‍යවස්ථා සභාව ඉදිරියට එන්න බැහැ. ඒගොල්ලන්ට අග්‍රවිනිශ්චයකාරතුමා මුණගැහෙන්න බැහැ. ඒගොල්ලන්ට අල්ල ගන්න පුළුවන් මිනිහා මම විතරයි.

මාව පාරේදි හරි අල්ලගන්න පුළුවන්. ඉතින් ඒ අය දුක් ගැනවිල්ල කියන්න පුළුවන් තැනට ඇවිල්ලා කියනවා. ඒ ගොල්ලන්නට අසාධාරණයක් වෙලා කියලා ඒ අය කියනවා. ඒ ගොල්ල කියනවා ඔබතුමා තමයි අපේ නම් ගැන බලන්නේ නැත්තේ කියලා. එතකොට මේ නම් කපන්නේ මම කියලා ඒ අයගේ මුලින් හැගිමක් තිබුණා. දැන්නම් ඒක නැහැ. එතකොට ඉතා පැහැදිලි ලෙසම විනිශ්චයකාරතුමකුගේ නමක් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරනවා නම් ඒ විනිශ්චයකාර ධුරය දරන පුද්ගලයාට ඒ මහත්මයාට හෝ මහත්මියට අයිතියක් තිබෙනවා තමාගේ සේවා කාලයට අයත් උසස්වීම තමාට ව්‍යවස්ථා සභාව හෝ වෙනත් ආයතනයකින් ලබා නොදෙන්නේ ඇයි කියන කාරණය දැන ගන්න. සාමාන්‍ය කම්කරුවෙක් ගත්තත් කම්කරුවෙක්ගේ උසස්වීමක් සුදුසුකම් සේරම හරිනම් එයට උසස් වීම දෙන්නේ නැත්නම් ඔහුට අයිතියක් තිබෙනවා තමාට තමාගේ උසස්වීම දෙන්නේ නැත්තේ ඇයි කියලා අහන්න.

එතකොට විනිශ්චයකාරවරයෙක් කියන්නේ පොඩි කෙනෙක් නෙවෙයි. මේ ප්‍රශ්නයේදි ප්‍රාථමික අධිකරණය, දිසා අධිකරණය මහාධිකරණය මේ සියලූ අධිකරණවල සේවය කරන ගරු විනිශ්චයකාරතුමාලගේ තුමියන්ලාගේ අද අපේක්ෂා භංගත්වයක් ඇති වෙලා තිබෙනවා. බලාපොරොත්තු සුන් වෙලා තිබෙනවා. ඒ අය මගෙන් අහනවා අපිටත් මේ දේ වෙයිද?. අපිටත් උසස්වීමක් ගන්න කාගේ හරි පස්සේ යන්න වෙයිද? .අපි මේ පුංචි තැන ඉඳලා ප්‍රාථමික අධිකරණයේ ඉඳලා අපි මේ යන්නේ අපේ උසස්වීම් එක්ක අනාගත බලාපොරොත්තු එක්ක. ඒකට අපි හුගක් මහන්සි වෙනවා. නමුත් මේ නම් ප්‍රතික්ෂේප කරන අයට ඒ අයගේ නම් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියන කාරණාව දැන ගැනීමේ පැහැදිලි ශුද්ධ වූ අයිතියක් තිබෙනවා මම දන්න විදියට නම් ගරු කථානායකතුමනි. මේ තත්ත්වයන්වලදි මම ගරු කථානායකතුමනි ඔබතුමාට මම දැන් කියනවා 2015 අප්‍රේල් මාසේ 27 වැනි දා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන වෙලාවේ ඔබතුමා ගරු කරු ජයසූරිය මැතිතුමා ඇමැතිවරයෙක් විදියට මේ ගරු සභාවේ දී කරන ලද කතාවේ කොටසක්. එවකට ගරු කථානායකතුමා චමල් රාජපක්ෂ මැතිතුමා. ඔබතුමා එවකට රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ බුද්ධ ශාසන ගරු අැමැතිතුමා. ඔබතුමා 19 වැනි සංශෝධනයේ විවාදයට සහභාගි වෙමින් මෙන්න මෙහෙම කියනවා.

මට මේ අවස්ථාවේදි මතක් වෙනවා පසුගිය ජනාධිපතිවරණයේ මෛත්‍රි චින්තනය නමැති අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අරන් අපි හන්දියක් හන්දියක් ගානේ ගිහින් ජනතාවගේ වරමක් ඉල්ලූවා. අපිට දින 100 ක් දෙන්න. ඒ දින සීය තුළ මේ රටේ යුක්ති ගරුක හා සාධාරණ සමාජයක් ඇති කරලා මේ රට නිර්දේශපාලනීකරණය කරනවා කියා අපි කිව්වා. ඊළඟට ඔබතුමා ඒ විවාදයේදි කියනවා මේ දේශපාලනීකරණය වූ සමාජය දේශපාලනීකරණය වූ රාජ්‍ය සේවය දේශපාලනීකරණය වූ පොලීසිය දේශපාලනීකරණය වූ අධිකරණය පිරිසිදු කිරීම සඳහා අපට සමාජයේ වැදගත් පුද්ගලයින් අවශ්‍යයි. අද අපි බලාපොරොත්තු වන්නේ ඒකයි. අපි මහ ජනතාවටත් කිව්වේ එහෙමයි. ගරු කථානායකතුමනි, අගමැතිතුමනි, ගරු විපක්ෂනායකතුමනි, වැනි දේශපාලනඥයින් මෙන්ම කීර්තිමත් පුද්ගලයින් මෙතන සිටීම ඉතා වැදගත් ලෙස මා දකිනවා. අප යම් විදියකින් එතනින් කීර්තිමත් පුද්ගලයින් අයින් කරන්න බලාපොරොත්තු වෙනවා නම් කොමිෂන් සභාවලට දේශපාලනඥයින් විතරක් පත් කරන්න බලාපොරොත්තු වනවා නම් ගරු කථානායකතුමනි, මේ පණත් කෙටුම්පත ගැන කතා කිරීමේ වැඩක් නැහැ. මේක ගෙනැල්ලා වැඩකුත් නැහැ. එහෙම වුණොත් අපේ මූලික පරමාර්ථය සාර්ථක වූ බවක් අප දකින්නේ නැහැ.

ගරු කථානායකතුමනි, ඔබතුමයි මේ එහෙම කියන්නේ. එසේ ඒ අධිකරණයද පොලීසියද රාජ්‍ය සේවයද සමාජයද සියල්ල දේශපාලනීකරණය වූ බව එදා ඔබතුමා සඳහන් කළ ආකාරයටම අද චෝදනාවක් තිබෙනවා. රටේ විනිශ්චයකාරතුමාලගේ ඉඳලා උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ අපක්ෂපාතී මධ්‍යස්ථ මත දරන්නන්ගේ ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වෙලයි කියලා. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමිද ඒ කතාව කියලා කතාවක් තිබෙනවා. කථානායකතුමනි. ඔබතුමා මට ලිපියක් එව්වා විනිශ්චයකාරතුමාලා පත් කිරීම ගැන. ඔබතුමා එවපු ලිපියේ මට එවපු ලිපිය 2019 ජනවාරි 2 වැනිදා මෙසේ තිබෙනවා. එහි මැද තිබෙනවා එසේම යම් පුද්ගලයකු තෝරා ගැනීමේ දී ජ්‍යෙෂ්ඨත්වය පමණක් අප කිසිවිටක උපයෝගී කර නොගන්නෙමු. නීති සහ අධිකරණ ක්ෂේත්‍රයන්හි ලබාගත් කුසලතාව හැකියාව කාර්යක්ෂම බව හා ස්වාධීනත්වය මෙන්ම අවංකභාවය ද අපගේ අවධානයට ලක් වේ.

මේ අනුව දක්ෂ පුද්ගලයින් අල්ලස් චෝදනා ලත් පුද්ගලයින් මෙන්ම ස්වාධීනව කටයුතු නොකළ බවට සාධක ඇති පුද්ගලයන් ද සභාව මඟින් අතීතයේ දී ප්‍රතික්ෂේප කර ඇත. දැන් මනම් ප්‍රතික්ෂේප කළ අය පිළිබඳව තමයි මේ ඔබතුමා කියන්නේ. දැන් මෙතන ප්‍රශ්නය ගරු කථානායකතුමනි ඔබතුමාගේ අපේයි වගකීමක් විතරක් නොවෙයි .අග්‍රවිනිශ්චයකාරතුමාගෙත් වගකීමක් තිබෙනවා මම දන්න විදියට .විනිශ්චයකාරවරයකුගේ උසස්වීමට ඔහු නුසුදුසු නම් ඔහුට දැනුම් දෙන්න මෙන්න මේ තත්ත්වය තුළ ඔබ නුසුදුසුයි කියා. විනය පරීක්ෂණයක්ද අල්ලස් පිළිබඳව ප්‍රශ්නයක් ද වෙනත් කාරණයක්ද සේවයේ අකාරයක්ෂමතාවය ද වෙනත් යම් යම් ඉන් බාහිර වූ කරුණු ද එහෙම නම් ඔහුට කිව යුතු වෙනවා. දැන් මේ 14 දෙනෙක් මගේ පස්සේ එන්නේ ඒ අයට වුණු දේ නිසායි දැන් එතනින් භාගයක් විශ්‍රාම ගිහිල්ලා. ඒගොල්ලෝ ඒ ගැනත් කියනවා. අපිට උසස්වීම් හම්බ වුණා නම් අපි 65 වෙනකන් ඉන්නවා.අපි 60 න් යන්න වුණා උසස්වීමක් නැති නිසා. හැබැයි අපිට උසස්වීම දුන්නේ නැත්තේ ඇයි කියලා අපි කියන්නේ නැහැ කියලා.

එතකොට අර වෙනත් සමාජයේ අයගේ වගේ ඒ අය මා සමඟ කියනවා ජනාධිපතිතුමා අපේ දරුවෝ අපිට මොකද කියන්නේ. අපේ දරුවෝ අපේන් අහනවා අපේ තාත්තලා මොනවද කරලා තිබෙන වැරදි කියලා. උසස්වීම හම්බ වුණා නම් අපි 65 වෙනකන්. දැන් අපිට 60 න් යන්න වුණා .උසස්වීමක් නැති නිසා. හැබැයි අපිට උසස්වීම් දුන්නේ නැත්තේ ඇයි කියලා අපිට කියන්නේ නැහැ. එහෙම නම් ඇයි අපිට මේකට උත්තරයක් දෙන්නේ නැත්තේ.

මේ කියන කාරණාව ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම එහි ප්‍රශ්නයක් විදියට ඇතුළත් වෙනවා. ඊළඟට 2019 ජනවාරි 2 වැනි දින ඔබතුමා මට එවපු ලිපියෙම මැද සඳහන් වෙනවා එලෙස සුදුසු පුද්ගලයින් තෝරා ගැනීමේ දී සාධාරණ හා විනිවිදභාවයෙන් යුත් ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමින් සභාවේ සියලූම සාමාජිකයන්ගේ තීරණ තීන්දු බලපෑමකින් තොරව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසන බවත් සියලූ අදහස් සලකා අපක්ෂපාතී අවසන් තීරණයකට එළැඹෙන බවත් කාරුණිකව දන්වමි.

සාධාරණ හා විනිවිදභාවය එහෙම නම් විනිවිදභාවය නම් මේ පත්වීම්වලට නම් එවන ජනාධිපතිවරයාට අයිතියක් නැද්ද ඇයි මේ නම ප්‍රතික්ෂේප කෙළේ කියලා දැන ගන්න. මට එහෙම එවලා නැහැ. අහවලා නුසුදුසු මේ හේතුව නිසා කියලා. ඔබතුමා එවන්නෙත් නැහැ. අග්‍රවිනිශ්චයකාරතුමා එවන්නෙත් නැහැ. එත කොට විනිවිදභාවය සාධාරණය කියන ප්‍රශ්නයේදි මේ නම් ප්‍රතික්ෂේප වුණු 14 දෙනාම කියන කාරණය තමයි මේ වචනම තමයි ඒ අයත් පාවිච්චි කරන්නේ. සාධාරණය සහ විනිවිදභාවයක් නැහැ උසස්වීම්වලට අපේ නම් ප්‍රතික්ෂේප කරලයි කියලා.

ඉතින් මේ තත්ත්වයන් සැලකිල්ලට ලක් වීමේ දී අපිට මෙහි දී කියන්න පුළුවන් කරුණු ප්‍රධාන වශයෙන් මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීමත් සමඟ ඉෂ්ට කර ගැනීමට බලාපොරොත්තු ඉතාම වැදගත් අරමුණක් වූයේ නීතියේ ආධිපත්‍ය බලගැන්වීම සහ ව්‍යවස්ථාවට අනුකූලව රාජ්‍ය පාලනය පවත්වා ගෙන යෑමයි.

එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවීමේ අරමුණ පෙරදැරි කර ගෙන එම සංශෝධනයට එක් කරනු ලැබූ වැදගත්ම යාන්ත්‍රණය වනුයේ ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීමයි.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය කර එය විධායක ජනාධිපතිවරයාගේ බලතලවලට යටපත් කර ඇතැයි යන මතය අප 2015 මැතිවරණයට ඉදිරිපත් වන කාලයේ දී තදින් සමාජ ගත වී තිබූ විශේෂ විවේචනයකි. මේ තත්ත්වය අනිසිදායක ප්‍රතිඵල ගෙනදුන් තත්ත්වයක් ලෙසට අප සියලූ දෙනාගේම මතය විය. එය ප්‍රජාතන්ත්‍රවිරෝධී සහ විනිවිදභාවයකින් තොර තීරණ ගැනීම සඳහා විධායක ජනාධිපතිවරයකු පොළඹවන ක්‍රමවේදයක් ලෙසට දිගින් දිගටම විවේචනයට සහ අප්‍රසාදයට ලක් වූ ක්‍රමවේදයක් විය.

එවැනි පසුබිම් තලයක දී අප ජනතාව වෙත දෙනු ලැබූ එක්තරා වැදගත්ම දේශපාලන පොරොන්දුවක් වූයේ නව ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් වඩා යහපත් විනිවිදභාවයකින් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් හඳුන්වාදීම මඟින් රාජ්‍ය පාලන ක්‍රමය ජනහිතවාදී වඩා කාර්යක්ෂම ක්‍රමයක් බවට පරිවර්තනය කිරීමයි.

19 වැනි සංශෝධනය මඟින් බලගන්වනු ලැබූ නව ව්‍යවස්ථා සභාවේ කාර්ය මඟින් බලාපොරොත්තු වූ උසස් අරමුණු වන්නේ මේ මූලික අභිමථාර්ථයන් සාක්ෂාත් කර ගැනීමයි. නමුත් මේ උසස් අභිමථාර්ථයන් මේ වසර 3 කට මදක් වැඩි කාලයක් තුළ ඉටු කර ගැනීමට හැකි වූවාද යන උභතෝකෝටික ප්‍රශ්නය අද සමාජය පුරා පැතිර ඇත.

මේ සභාව පිහිටුවා එය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සලසා දීම විධායකයේ මූලික බලය දරන්නා ලෙසින් මා වෙත පැවරී ඇති වගකීමක් බව කණගාටුවෙන් යුතුව මතක් කරනු කැමැත්තෙමි. එහි ඇති වැදගත්කම හොඳින් අවබෝධ කරගත් බැවින් 33 වැනි ව්‍යවස්ථාවේ ඈ උප ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමට මා ප්‍රමුඛත්වයක් ගත් බව නොරහසකි.

තමුන්නාන්සේලා සියලූ දෙනා දන්නා පරිදි ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිත්වය දරන්නේ රටේ තුන් වැනියා වූ ඉහළ ම පුරවැසියා වූ ඔබතුමාය. එහි සංයුතියේ දී රටේ අගමැතිතුමා විපක්ෂ නායකතුමා ඇතුළු ඉතාමත් සුවිශේෂී පුද්ගලයින් සිටින බව අප සියලූ දෙනාම දනිමු. මෙවැනි සංයුතියකින් ඉතාමත් සුවිශේෂී සහ බලවත් සභාවක වැඩකටයුතු සම්බන්ධයෙන් ඇගිලි ගැසීමක් බලපෑමක් කිරීම අනිසි අන්දමේ යෝජනාවක් කිරීමක් වැනි කිසියම් ආකාරයේ ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් මා විසින් මෙම පසුගිය වසර 04 තුළ නොකළ බව සියලූ දෙනා දන්නා අවිවාදාත්මක කරුණකි. එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී හෝ ව්‍යවස්ථා විරෝධී බලපෑමක් නොකර ව්‍යවස්ථා සභාවට තම අභිමතයට අනුව කටයුතු කිරීමට මම ඉඩ ප්‍රස්ථාව සලසා දෙනු ලැබුවේ ඉහත කී 33 (ඈ) ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමට මට ඇති යුතුකම සහ වගකීම ගැන මම හොඳින් වටහා ගෙන සිටි බැවිනි. එසේ වුවත් අද පැන නැ‍ඟී ඇති තත්ත්වයන් තුළ තවදුරටත් නිහඬව සිටීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. ව්‍යවස්ථා සභාව තම කටයුතු කර ගෙන යනු ලබන්නේ ව්‍යවස්ථාවට අනුකූලව ද යන්න පිළිබඳව අද විශාල සැකයක් සමාජය තුළ ඇත.

ඒ අනුව ව්‍යවස්ථාවේ මා වෙත බල පවරා ඇති යුතුකම් සහ කාර්යභාරය අනුව විශේෂයෙන් 33(1) (ඈ) යටතේ ක්‍රියා කරමින් ව්‍යවස්ථා සභාවේ කටයුතු පිළිබඳව සොයා බැලීමට මට නීතිමය වගකීමක් පමණක් නොව සදාචාරාත්මක වගකීමක් ද ඇත. ව්‍යවස්ථා සභාවක් ක්‍රියාත්මක වීමේ දී එය විධායක ජනාධිපතිවරයාගේ බලතල අභිබවා ක්‍රියාත්මක වීමක් විය නොයා යුතුය. එයට හේතුව නම් ව්‍යවස්ථාවේ තුන් වැනි සහ හතර වැනි ව්‍යවස්ථා මඟින් ජනතාවගේ විධායක ස්වෛරී බලය පවරා ඇත්තේ ජනතාව විසින් මැතිවරණයක දී තෝරා ගනු ලැබූ විධායක ජනාධිපතිවරයා වෙත වීමයි. මුල්වරට ව්‍යවස්ථා සභාවක් පත් කිරීමේ සංකල්පය 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධව කරනු ලැබූ ව්‍යවස්ථා අනුකූලත්වය පිළිබඳව නඩු තීරණයේ දී ඉතා පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ ව්‍යවස්ථා සභාවකට ජනාධිපතිවරයාගේ බලතල අභිබවා ක්‍රියා කිරීමට නොහැකි බවයි. එය තම රාජකාරි කටයුතු සිදු කිරීමේ දී විධායක ජනාධිපතිවරයා සමගාමීව සහ සහයෝගයෙන් ක්‍රියා කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව ප්‍රකාශ ඇත. මෙම නීතිමය මූලධර්මයන් එදා මෙන්ම අදටත් එක හා සමානව වලංගුය. එමෙන්ම වර්තමාන තත්ත්වයන්ටත් එක හා සමානව ආදේශ කර ගත හැකිය.

නමුත් අද වන විට ව්‍යවස්ථාදායක සභාව හැසිරී ඇති ආකාරය එහි ක්‍රියාකාරිත්වය එහි ආකල්ප සහ එය තුළින් විද්‍යාමාන වන සංස්කෘතිය තුළින් පැහැදිලි වන්නේ ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම මඟින් ප්‍රජාතන්ත්‍රවාදයට සහ යහපාලනයට ගරු කරන සමාජය බලාපොරොත්තු වූ කිසිවක් ඒ ආකාරයෙන් සිදු නොවන බවයි.

මම පැහැදිලි උදාහරණයක් මඟින් මෙම කියනු ලබන කරුණ පැහැදිලි කරමි. ව්‍යවස්ථාවේ 41 (ඌ, 1 අනුව සභාව විසින් මා වෙත සෑම මාස 03 කට වරක්ම ඊට පෙරාතුව වූ මාස 03 තුළ එහි කටයුතු පිළිබඳ වාර්තාවක් මා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේය. ඒ වාර්තාව මට ලැබිලා තියෙනවා මාස 3 කට වරක්. නමුත් ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මේ නම් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව සහ එම තෝරාගැනීම පිළිබඳ වාර්තාවල එවැනි දෙයක් පැහැදිළිව සඳහන් වෙන්නේ නැහැ. දැනට කටයුතු කරන ආකාරයට ව්‍යවස්ථා දායකය විධායකය සහ අධිකරණය යන අංශ 3 ම අද ව්‍යවස්ථාදායක සභාවෙන් පාලනය වෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මට ඒකට කරුණු ඕනෑ තරම් තිබෙනවා. ඒවා කියන්න මම මේක අවස්ථාවක් කර ගන්නේ නැහැ.

මේ විනිසුරුවරුන් පත් කිරීම විතරක් නෙවෙයි. නීතිපතිවරයා පොලිස්පතිවරයා පත් කිරීමේ දී ව්‍යවස්ථා සභාව එදා අනුගමනය කළ වැඩපිළිවෙළ මා දන්නා පරිදි සදාචාරාත්මක නොවන බවයි මාගේ අදහස. ඒ තනතුරුවලට පත් කිරීමේ දී සිවිල් සංවිධානවල පුද්ගලයන් වැඩි පිරිසක් එම තීන්දු ගන්නා අවස්ථාවේ නියෝජනය වෙලා නැහැ. ඒගොල්ලෝ හිතාමතා නොගියද එන්න එපා කිව්වද කියන කාරණාව තිබෙනවා. ඒ තනතුරුවලට පත් කළ පුද්ගලයන් පිළිබඳව අද රටේම ප්‍රශ්න තිබෙනවා. විශේෂයෙන් පොලිස්පතිවරයා සම්බන්ධව. මම එසේ පවසන්නේ මෙය ඉතාමත් බරපතළ ලෙස බලපා ඇත්තේ මෙරට ඉහළම අධිකරණ වන ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරිමේදීය. මෙහි දී වැදගත් වන්නේ (41) ඈ 04 ව්‍යවස්ථාවයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධ කර්තව්‍ය ඉටු කිරීමේ දී සභාව විසින් අගවිනිසුරවරයාගේ අදහස් ලබාගත යුතු බවට සඳහන් කර ඇත. මෙය 19 වැනි ව්‍යවස්ථාවට අනුව අනිවාර්යයෙන් කළ යුතු කරුණකි. එය ව්‍යවස්ථාවට ඇතුළත් කරනු ලැබුවේ බලය බෙදීමේ න්‍යාමයට අප පිළිපදින ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමය තුළ ඇති මුලික සංකල්පයන්ට දක්වන දැඩි ගෞරවය පදනම් කර ගෙනයි.

විනිසුරුවරුන්ගේ ක්‍රියාකාරකම්, අවංකභාවය, කාර්යක්ෂමතාවය, වෘත්තියට අදාළ අනෙකුත් කරුණු පිළිබඳව විමසීමක් හෝ නිගමනයකට එළැඹිමේ බලයක් මට හෝ ව්‍යවස්ථා සභාවට හෝ ව්‍යවස්ථාවෙන් පවරා නොමැති බව නොරහසකි. එහි වගකීම පැවරී ඇත්තේ අගවිනිසුරුවරයාට, සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට වන අතර එසේ නොමැතිනම් අදාළ ව්‍යවස්ථාව මගින් සකසා ඇති ක්‍රමවත් ක්‍රියා පටිපාටියක් මගින් පමණි. මේ පිළිබඳ මම ඉතා සංවේදි මෙන්ම මනා දැනුමක් තිබු බැවින් ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත් කිරිමේ දී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සලකා ඔවුන්ට උසස්වීම් ලබාදීමට ව්‍යවස්ථා මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කර ඇත. නමුත් මෙම නිර්දේශයන් දිගින් දිගටම කිසිදු හේතුවක් නොදක්වා ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. මෙයට හේතුව කුමක්ද, මෙයට හේතුව කුමක්දැයි සොයා බැලීම සඳහා ව්‍යවස්ථා සභාව විසින් මා වෙත එවනු ලැබු වාර්තා මම දැඩි ලෙස පරිශීලනයට ලක් කළෙමි. නමුත් එම කිසිදු වාර්තාවක අදාළ කිසිදු දැනුම්දීමක් මා වෙත දන්වා නොමැති බව දන්වන්නේ බලවත් කණගාටුවෙනි. එපමණක් නොව අවම වශයෙන් මෙම නිර්දේශ සම්බන්ධව අගවිනිසුරුවරයා සඳහන් කර ඇත්තේ කුමක් ද, ඔහුගේ නිර්දේශ මොනවා ද, ඔහු මෙම විනිසුරුවරුන් පිළිබඳ දරන මතය කුමක්ද යන්න කිසිදු දෙයක් සම්බන්ධව අදවන තුරු ව්‍යවස්ථාදායක සභාව වචනයක් හෝ මා වෙත දන්වා නොමැත.

මා වෙත ඉතා විශ්වාසනීය ලෙස දැන ගැනීමට ලැබී ඇත්තේ මා උසස් අධිකරණවල විනිසුරුවරුන් සම්බන්ධව කරනු ලබන නිර්දේශවලට අග්‍රවිනිශ්චයකාරතුමා විසින් කිසිඳු විරුද්ධත්වයක් දක්වා නොමැති බවයි. ඒවා සියල්ල අග්‍රවිනිශ්චයකාරතුමා විසින් පිළිගෙන ඇති බව මා වෙත තොරතුරු ලැබී ඇත. එවැනි පදනමක් යටතේ මාගේ නිර්දේශයන් ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථා සභාවට පේ‍්‍රෂණය කරගෙන ඇති බලය කුමක් දැයි මට ප්‍රශ්නයකි.

ව්‍යස්ථාවේ 41 (ඇ) 06 සහ 41 (උ) 3 යන ව්‍යවස්ථාවන් මෙහි දී ඉතා වැදගත් වේ. විශේෂයෙන් මම මෙහි දී ඒ පිළිබඳව ව්‍යවස්ථාවේ කරුණු පැහැදිළි කිරීමට බලාපොරොත්තු වෙමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) 04 ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සහ සහ අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ විනිසුරුවරුන් පත් කිරීම හා සම්බන්ධ කර්තව්‍ය ඉටුකිරීමේ දී සභාව විසින් අග්‍රවිනිශ්චයකාරවරයාගේ අදහස් ලබාගත යුතුය. ඊළඟට 41 (ඇ) 6 ව්‍යවස්ථාව යටතේ යම් පත් කිරීමක් සඳහා යෝග්‍ය තැනැත්තා නිර්දේශ කිරීමේ දී හෝ අනුමත කිරීමේ දී අනුගමනය කළයුතු කාර්ය පටිපාටිය ද ඇතුළුව රැස්වීම් සහ ඒ රැස්වීම්වලට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අනුගමනය කළයුතු කාර්ය පටිපාටිය සභාව විසින් තීරණය කරනු ලැබිය යුත්තේ ය. ව්‍යවස්ථාව 41 (උ) 01 සභාව විසින් සෑම මාස 03 කට වරක් ඊට පෙරාතුව හෝ මාස 03 තුළ එහි කටයුතු පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුත්තේ ය. 41 (උ) 02 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ යම් ලිඛිත නීතියකින් පවරනු ලැබිය හැකි පරිදි හෝ වෙනත් කාර්යන් සහ කර්තව්‍යය සභාව විසින් ඉටු කිරීම ද ක්‍රියාත්මක කිරීම ද කරනු ලැබු යුත්තේ ය.

41 (උ, 03 ස්වකීය කාර්ය හා කර්තව්‍යය ඉටු කිරීමට අදාළ රීති සැකසීමට සභාවට බලය ඇත්තේ ය. එකී සියලූ රීති ගැසට් පත්‍රයේ පළ කළයුතු අතර, එකී පළ කිරීමෙන් මාස 03 ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේ ය. ගරු කථානායකතුමනි, මෙන්න මේ කාරණාව ඉෂ්ට වෙලාද කියලා මම නම් දන්නේ නැහැ. මට නම් දැන ගන්න නැහැ. කොමිෂන් සභාවේ කාර්යය පිළිබඳ 41 (උ) 3 තිබෙන ව්‍යවස්ථා සභාව කටයුතු කිරීමට අවශ්‍ය ස්වකීය කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්ම කිරීම සහ ඉටු කිරීමට අදාළව රීති සැකසීමට සභාවට බලය ඇත්තේ ය. එකී සියලූ රීති ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර, එකී පළ කිරීමෙන් මාස 3 ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේය. මෙන්න මේ රීති හදලා, ගැසට් කරලා ඒක පාර්ලිමේන්තුවේ අනුමත කරලා තිබුණා නම් අද මේ විනිසුරුතුමන්ලා පත් කිරීමේ දී ඇති වන ප්‍රශ්නය ඇතිවන්නේ නැහැයි කියලයි මම විශ්වාස කරන්නේ. 41(ඈ) 06 ව්‍යවස්ථාව සහ 41 (උ) 03 යන ව්‍යවස්ථාවන් ව්‍යවස්ථා සභාවේ කාර්යයන් සම්බන්ධව අතිශයින්ම වැදගත් වගන්ති වේ. මෙම ව්‍යවස්ථාවන් නිසියාකාරව පිළිපැදීම මඟින් ව්‍යවස්ථා සභාවේ ක්‍රියාදාමයන් විනිවිදභාවයට පත් වන අතර ඒවා ව්‍යවස්ථා සභාව මගින් බලාපොරොත්තු වන්නා වූ අපක්ෂපාතිත්වය යුක්තිසහගත බව ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අනුව ක්‍රියාත්මක කිරීම වැනි යුක්ති සහගත සමාජයක් සෑදීමේ ක්‍රියාදාමයන් කැඩපත් කරන සංසිද්ධීන් ය. ඒවායින් පරිබාහිරව ක්‍රියාත්මක වීම තුළින් සිදුවන්නේ ව්‍යවස්ථාදායක සභාව එහි ඇති ගෞරවය නැති කර ගැනීමයි. එය දේශපාලනීකරණය වීමයි. එය අත්තනෝමතික වීමයි.

මෙම ව්‍යවස්ථා සභාව අද වන තුරු තම ක්‍රියාපටිපාටියෙන් තම නීති රිති සහ තම ප්‍රතිපත්ති සකස් කර ඒවා ගැසට් පත්‍රයේ පළ කර ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමක් සිදු කර නොමැති බව මා දන්නා පරිදි සඳහන් කරන්නේ බලවත් කණගාටුවෙනි. මේ පිළිබඳ ව්‍යවස්ථා සභාව තම නිදහසට කරුණු වශයෙන් දක්වන්නේ ඔවුන් 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ සංශෝධනය වූ පැරණි ක්‍රියාදාමයන් දැනට අනුගමනය කරන බවයි. මෙය කිසිසේත් සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් නොවේ. 17 වැනි සංශෝධනය යටතේ කරනු ලබන ක්‍රියාපටිපාටියන් අනුගමනය කිරීමට තීරණය කිරීම මේ ව්‍යවස්ථා සභාවට හැකි වුවද එසේ කිරීමට ප්‍රථම එම ගැසට් පත්‍රයේ පළ කර මාස 3 ක් ඇතුළත කාලය තුළ ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක කළයුතු බව මගේ මතයයි. එය 19 වැනි සංශෝධනයට අනුව අත්‍යාවශ්‍ය කාරණයකි. අද වැනි තුරු ව්‍යවස්ථා සභාවෙන් එම කාර්යයන් නොකිරීම තුළින් පිළිඹිඹු වන්නේ එම ආයතන දේශපාලනීකරණය වී ඇති බව නොවේ ද, එපමණක් නොව 19 වැනි ව්‍යවස්ථාවෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ බලතළ ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය අනුව මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් අධිකරණයට නඩුවක් ගෙන යෑමට ඇති බලයට යටත් කර ඇත. එවැනි තත්ත්වයක් තුළ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ගොඩනැගු නීති රිති හා ක්‍රියා පටිපාටිය 19 වැනි සංශෝධනය යටතේ ආදේශ කර ගත හැක්කේ කෙසේ ද යන්න මට ප්‍රහේළිකාවකි. මේ ව්‍යාකූලත්වය යටතේ ව්‍යවස්ථා සභාව ක්‍රියා කරන ආකාරය පිළිබඳව නිවැරදි වැඩපිළිවෙළක අවශ්‍යතාවය සඳහන් කරමි.

දැන් උදාහරණයක් විදියට ගත්තොත් පොලිස් කොමිෂන් සභාව පොලිසියේ ඉහළ නිලධාරියාගේ ඉදලා රාළහාමිගේ මාරුවීම දක්වා ඒගොල්ලෝ ඇතුල්වෙලා ඉන්නවා. හැබැයි කොමිෂන් සභාවේ අරමුණ ඊට වඩා වෙනස් දෙයක්. හොද ගුණාත්මක පොලිස් සේවාවක් ඇති කරන්න, හොද මහජන සේවාවක් ඇති කරන්න, පොලිසියේ නව පර්යේෂණ අංශ වගේම දැනුම වැඩි කරන අංශ එක්ක ප්‍රමිතිය උසස් කිරීම ඒවා තමයි කිරීම අවශ්‍ය වන්නේ.

අද මේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 16 ක් ඉන්නවා. දැන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සීමාව කොතනද කියලා නැහැ. අමාත්‍යාංශ ලේකම්ගේ ඉදලා කම්කරුවා දක්වා කොමිෂන් සභාවෙන් තමයි කළමණාකරණය වෙන්නේ. ඉතින් දෙපාර්තමේන්තු ප්‍රධානියා, අමාත්‍යාංශ ලේකම් ඒ අයටත් යම්කිසි වගකීමක් තිබෙනවා.

අපි හදපු 19 වන සංශෝධනයෙන් බිහි වූ අනිත් දරුවෝ තමයි ස්වාධීන කොමිෂන් සභා. මේවා වැරදි පැත්තකට යනවනම් ඉතාමත් බරපතළයි. ඒ මොකද පුළුල් බලතල රාශියක් දී තිබෙන නිසා ඒවා දේශපාලනීකරණය වුවහොත් රට තුළ අපක්ෂපාතිත්නය, මධ්‍යස්ථභාවය සහ ස්වාධීනත්වය කරුණු සම්බන්ධයෙන් බරපතළ අභියෝගයකට සමාජය ලක්වෙනවා. ඒ නිසා මම ඉතාමත් සද්භාවයෙන් මෙම කරුණු සඳහන් කලේ මේ තත්ත්වය පැහැදිළි කිරීමටයි.

මේ උත්තරීතර සභාවේ මම මන්ත්‍රීවරයෙක් නෙවෙයි, ජනාධිපතිවරයා විදියට ජනාධිපතිවරයාටත් දැනට තිබෙන බලතල සම්බන්ධව මේ කරෙන කටයුතුවලදි ඒ පිළිබඳවත් ප්‍රශ්න මතුවී තිබෙන නිසා තමයි මම මේ කරුණු පැහැදිළි කිරීම කරනු ලැබුවේ. 2015 මැතිවරණ ප්‍රකාශයේ මම කිවිවේ ජනාධිපති ධූරය අහෝසි කරන්න තමයි මම එන්නේ කියලා. ඒක අහොසි කිරීම මම අතින් සිදුනොවුණු දෙයක් නෙවේ. පාර්ලිමේන්තුවට අයිති දෙයක්. ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ මේ උත්තරීතර සභාව ගන්නේ කුමන් තීරණයක් ද ඒ ඕනෑම තීරණයකට මගේ එකඟත්වය අදත් එහෙමයි, එදත් එහෙමයි. ඒ නිසා මෙම කරුණු පැහැදිළී කිරීම පිළිබඳ ඔබ සියලූදෙනාගේ කාරුණික අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමින් මම නිහඩ වෙනවා.


නව අදහස දක්වන්න