අඟුණකොළපැලැස්සේ රැඳවියන්ට පහරදීම ගැන පරීක්ෂණයක් ඉල්ලා පෙත්සමක් | දිනමිණ

අඟුණකොළපැලැස්සේ රැඳවියන්ට පහරදීම ගැන පරීක්ෂණයක් ඉල්ලා පෙත්සමක්

නෙල්කා මැදගෙදර

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන්ට බන්ධනාගාර නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට සහ පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඊයේ (22) රිට් පෙත්සමක් ගොනු කරන ලදී. සිරකරුවන් සුරැකීමේ සංගමයෙහි ලේකම් වි. සුදේශ් නන්දිමාල් සිල්වා විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර පොලිස්පති පූජිත් ජයසුන්දර, අඟුණකොළ පැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

විවිධ වැරැදි සම්බන්ධයෙන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයෙහි රඳවා සිටි රැඳවියන් පිරිසකට ඉකුත් 2018 වසරේ නොවැම්බර් මස 22 දින පහරදීමක් සිදුව ඇතැයි පෙත්සමෙහි දැක්වේ. බන්ධනාගාර නියාමකයන් සහ එහි බන්ධනාගාර අධිකාරිවරයා විසින් ඉතා අමානුෂික ලෙස මෙම පහරදීම සිදු කර ඇති බවද පෙත්සමෙහි සඳහන් වේ.

එම පහරදීමේ සිදුවීම සම්බන්ධ දර්ශන ඇතුළත් සී. ඩී. පටයක් නිර්නාමික පුද්ගලයකු විසින් තමන්ට එවා තිබූ බවත්, එය අධිකරණයට ඉදිරිපත් කරන බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

අධිකරණය භාරයෙහි සිටි රැඳවියන්ට මෙලෙස අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිඥ සේනක සිල්වා මහතා විසින් පැමිණිල්ලක් කළ නමුත් මෙතෙක් ඒ සම්බන්ධ විමර්ශනයක් පවත්වා නැතැයි පෙත්සම්කරු කියයි.

නව අදහස දක්වන්න