රටේ සදාචාරය හා සමෘද්ධිය ඇති කිරීමට ලේක්හවුස් පුවත්පත් කැප වුණා | දිනමිණ

රටේ සදාචාරය හා සමෘද්ධිය ඇති කිරීමට ලේක්හවුස් පුවත්පත් කැප වුණා

සමන්මලී ප්‍රියශාන්ති

- ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්.විජේවර්ධන ශ්‍රීමතාණන්ගේ 133 වැනි ජන්ම දින සැමරුමේ දී අමරපුර නිකායේ මහානායක කොටුගොඩ ධම්මාවාස මාහිමි කියයි

විජේවර්ධන පරම්පරාව බුදු දහමට අති මහත් සේවයක් කළා
- මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නා හිමියෝ 

ජනතාවට තොරතුරු සැපයීමේ වගකීම මැනවින් ඉටු කරන අතර ම රට, ජාතිය, ආගම, සදාචාරය මෙන්ම රටේ සාමය, සමඟිය ස්ථාපිත කිරීම කෙරෙහි ද ලේක්හවුස් ආයතනය සිය අවධානය යොමු කරන බව ගල්කිස්ස ධර්මපාලාධිපති, අග්‍ගමහාපණ්ඩිත, අමරපුර නිකායේ මහානායක, කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමියෝ පැවසූහ.

රටේ සාමය, සදාචාරය, සමෘද්ධිය ඇති කිරීමට මුල් වූ ආයතනය ලෙස අදත් පැරැණි ජනතාව ලේක්හවුස් ආයතනයට ගෞරව කරන බවත් ඒ තත්ත්වය ඉදිරියට ගෙන යාමේ වගකීම වර්තමාන කාර්ය මණ්ඩලයට පැවරෙන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්.විජේවර්ධන ශ්‍රීමතාණන්ගේ 133 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් ඊයේ (22දා) දහවල් පැවැති දානමය පිංකමට එක් වෙමිනි. ලේක්හවුස් බෞද්ධ සංගමය මෙම පිංකම සංවිධාන කළ අතර එහිදී උන්වහන්සේ මෙසේ ද ප්‍රකාශ කළහ.

1906 දී දිනමිණ පුවත්පත ආරම්භ කරන කාලයේ අපේ රටේ ජනතාව පමණක් නොව ඉන්දියාව, පාකිස්ථානය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි පෙර අපර දෙදිග රටවල් හිරු නොබසින අධිරාජ්‍යයාට යටත්ව ජීවත් වුණා. ඒ අයට කළ හැකි දේවල් ගැන හොඳ හෝ නරක කිසිම අදහසක් විචේනයක් පළ කිරීමට යටත්විජිතවාදීන් ලෙස අපට හැකියාවක් තිබුණේ නැහැ. 1939 කාලයේ ජර්මනියේ ආරම්භ වූ මහා යුද්ධය ව්‍යාප්ත වී ලංකාවට ද ව්‍යාප්ත වුණා. ඒ අවස්ථාවේ බුරුම රටේ භික්ෂූන් වහන්සේලා ජපානයට තරමක් පක්ෂව කටයුතු කළා. මේ පිළිබඳව මහා බියක් ඉංග්‍රීසින් තුළ පැවතුණා.

ජපන් රටට සහාය දීම නිසා එදා අපේ භික්ෂුන් වහන්සේලා විනාශ කිරීමට ඉංග්‍රීසින් සැලසුම් සකස් කළා. මේ අවස්ථාවේ ඩී.බී.ජයතිලක මැතිතුමා, ඩී.එස්.සේනානායක මැතිතුමා සහ ඩී.ආර්.විජේවර්ධන මැතිතුමා මේ ගැන වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට සාකච්ඡා කළා. එහිදී කළ යුත්තේ කුමක්දැයි ඩී.එස්.සේනානායක මැතිතුමාට ප්‍රශ්නයක් ව තිබියදී පිළිතුරු දුන්නේ ඩී.ආර්.විජේවර්ධන මැතිතුමායි. දිනක් ජපනුන් වෙඩි තියන්න ඉංග්‍රීසි අහස් යාන්ත්‍රාවක් පසු පස එළවගෙන ආවා. ඒ අවස්ථාවේදී එය කැලණිය පන්සල් වත්තට වැටුණා. ඒ වැටුණු විට ධම්මරක්ඛිත හාමුදුරුවෝ පන්සලේ සිවුරු කිහිපයක් අරගෙන ගිහින් අහස් යාන්ත්‍රාවේ කොටස් හා එහි ඉංග්‍රීසි ජාතික නියමුවා වසා දැම්මා. ඒකට වෙඩි තියන්න ආපු ජපන් අහස් යාත්‍රාව මේක දැක්කත් වෙඩි තැබීමක් නැතිව යන්න ගියා.

මේ සිද්ධිය තැනට උචිත නුවණින් යුතුව දුටු ඩී.ආර්.විජේවර්ධන මැතිතුමා ඩී.බී. ජයතිලක හා ඩී.එස්.සේනානායක මහත්වරුන්ට දැනුම් දුන්නා. මෙම සිදු වීම උපුටා දක්වමින් මේ තිදෙනාම භික්ෂුන් වහන්සේලා පක්ෂපාතීභාවයක් නැතිව කටයුතු කරන බව ඉංග්‍රීසීන්ට පෙන්වා දුන්නා. ඒ ගැන එදා ඉංග්‍රීසි පාලකයින් ඉතාමත් සතුටට පත් වුණා. ඒ අනුව දෙවැනි ලෝක යුද්ධය අවසානයේ භික්ෂුන් වහන්සේලා වැටෙන්නට තිබුණු ප්‍රපාතයෙන් ගොඩ එන්නට හැකි වුණා. ඩී.ආර්.විජේවර්ධන මැතිතුමා බුද්ධිමත්ව ගත් ඒ තීරණය ඊට ඉවහල් වුණා.

ලේක්හවුස් ආයතනයත් එතුමා ආරම්භ කළේ එවැනි සද්කාර්යයක් ඉටු කිරීම උදෙසායි. දිනමිණ, සිළුමිණ ආරම්භ කරලා රටේ තොරතුරු ජනතාව දෙන්න වගේම ලෝක යුද්ධය ගැනත් ජනතාවට කරුණු පැහැදිලි කර දෙන්න කටයුතු කළා. මේ වකවානුවේ තිබුණු වැදගත්කම නිසා දිනමිණ පුවත්පත ඒ කාලයේ ඉතාම ජනප්‍රිය වුණා. සත්‍ය පුවත් ඒ ආකාරයෙන්ම දක්වා ජනතාව දැනුවත් කළා.

ඩී.ආර්.විජේවර්ධන මහතා වෙලාවට ඔබින ව්‍යාපාරයක් ආරම්භ කළා විතරක් නොවෙයි එය ක්‍රමවත් රටට අවශ්‍ය දෙයක් බවට පත් කළා. එකළ දිනමිණ ගැන කොතරම් කතාබහක් තිබුණ ද කියනවා නම් එය ගම් දනව් සිසාරා ප්‍රචාරය වුණා. එතරම් ප්‍රසිද්ධියක් එදා මේ ආයතනට තිබුණා.

මේ ආයතනය තම කාර්ය භාරය ඉටු කරන අතර ආගම, ධර්මය, සාදචාරය මෙන්ම රටේ සාමය, සමඟිය ගැනත් යොමු වන අයුරින් කරුණු ඉදිරිපත් කරනවා.

මෙවන් ආකාරයෙන් කටයුතු කරමින් රට සදාචාරවත් කර ගැනීමට මේ පුවත්පත්වලින් විශාල සේවයක් සිදු කළා. ජනතාව තරහාව, වෛරය ක්‍රෝධය ආදියෙන් තොරව සදාචාරාත්මක පරිසරයක් මවා පෑමටත් එතුමා කටයුතු කළා වගේම එහි ප්‍රතිළුලත් එකළ දක්නට ලැබුණා. සාමකාමී සමාජයක ජීවත් වන ජනතාව තම තමන්ගේ කාර්යභාරයන් ඉටු කර ගනිමින් සමඟියෙන් ජීවත් වීමට සහයක් ලබා දෙමින් ලොකු සේවයක් මේ ආයතනයෙන් සිදු වුණා.

රටේ සාමය, සාදාචාරය සමෘද්ධිය ඇති කිරීමට මුල් වූ ආයතනය ලෙස අදත් ජනතාව ලේක්හවුස් ආයතනය හඳුන්වනවා. ඒ තත්ත්වය ඉදිරියටත් ගෙන යාමේ වගකීම නූතන සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට පැවරිලා තිබෙනවා. භාෂණය නිවැරදිව යොදා ගනිමින් නිවැරදි වචන භාවිත කරන ආකාරය, ලේඛනය තුළින් අපට දිනමිණ විසින් ඉගැන්වුවා. භාෂණයට, ලේඛනයට, දේශනයට ඉහළ තැනක් ලබා දුන් ආයතනක් ලෙස අදත් අපට දිනමිණ කාර්යාලය හඳුන්වන්න පුළුවන්.

බුදුසරණ පුවත්පත ආරම්භ කර මෙරට බෞද්ධ භික්ෂුන්ගේ ලේඛනයට ද ඉඩ දුන්නා. ඒ නිසා මේ ආයතනයේ කාර්ය මණ්ඩලය සාමාන්‍ය කාර්ය මණ්ඩලයක් නොවෙයි. රටේ ජනතාව යහමඟට යොමු කරවන පිරිසක් මෙහි සේවය කරන්නේ. ඒ වගකීම මේ සියලු දෙනාට පැවරෙනවා. වාර්තාවක් ලීවීමේදී ද එයින් රටේ සාමය ස්ථාපිත වීම රටේ සමෘද්ධිය ඇති වන පරිදි කටයුතු කළ යුතුයි. පින්තූරයක් පළ කළත් එසේමයි. අදත් දිනමිණ පුවත්පත ඒ කාර්ය භාරය ඉටු කරමින් ඉන්නවා.

අද නොයෙක් මාධ්‍ය තිබෙනවා. ඇතැම් දේවල් පළ කළ යුතු ද නැද්ද යන්න සොයා නොබලා ආරංචිය ලැබුණු විගස ඒවා ජනතාව අතරට ගෙන යනවා. මේ නිසා අද විශාල විනාශයක් සිදු වෙලා තිබෙනවා. දන් දීම, සිල් රැකීම පමණක් නොවේ රට ජනතාව සාදාචාරවත් කිරීමට, සමෘද්ධිමත් කිරීමට කටයුතු කිරීම ආයතනයක වගකීමක් වෙනවා. ඒය මහානිසංස ලැබෙන පිනක්. ඒ වගකීම ඉටු කරන ආයතනක් ලෙස ලේක්හවුස් ආයතනය හදුන්වන්නට පුළුවන්.

අපි වගකීමකින් යුතුව ජනතාවට ප්‍රවෘත්ති ඉදිරිපත් කළ යුතුයි. අද ජනමාධ්‍ය තුළින් ජනතාවගේ පහත් රුචිය අවස්සලා තිබෙනවා. සාහසික ප්‍රවෘත්ත පළ කරන්නේ නැත්නම් අද ජනතාවගෙන් පිරිසක් ඒ ප්‍රවෘත්ති පරිශීලනය කරන්නේ නැහැ. මේ පුවත් දැම්මේ නැත්නම් පත්තරේ ගන්නේ නැහැ කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. ඒ නිසා තමයි මේ ජනතාවට නොයා යුතු පුවත් වුවත් අද ඉක්මණින්ම ජනතාව අතරට යන්නේ. එය සමාජයට කරන විනාශයක්.

මේ මාතෘ භූමිය රැකෙන අයුරින් මේ ව්‍යාපාරය ඉදිරියටත් ගෙන යාම තමයි ඩී.ආර්.විජේවර්ධන මහතාට කළ හැකි එකම ගෞරවය වන්නේ. ඒ අනුව ජනතාවගේ දැනුම වර්ධනය කිරීමට කටයුතු කර එතුමා අපිරිමිත පිනක් කර ගත්තා. අද මේ ආයතනයෙන් විශාල පිරිසක් රැකෙනවා වගේම ජනතාව අදත් මේ පුවත්පත් වලින් යමක් අපේක්ෂා කරනවා. එතුමා මේ සෑම ක්ෂේත්‍රයක්ම සකස් කළේ විශාල බලාපොරොත්තුවකින්. එතුමා බලාපොරොත්තු වු දේ ඉටු කිරීම මෙහි සියලු දෙනාගේ වගකීමක් වෙනවා යැයී කීහ.

මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නා හිමියෝ - අපේ සම්බුද්ධ ශාසනයට, මේ රටට ඩී.ආර්.විජේවර්ධන ශ්‍රීමතාණන්ගෙන් සිදු වු සේවාව මිල කළ නොහැකියි. අපේ ජනතාවට වගේම භාෂාවට, සංස්කෘතියට, සභ්‍යත්වයට, මාතෘ භූමියට සිදු වන හානි මර්ධනය කර සුරක්ෂිතතාවක් ඇති කරන්නට අවශ්‍ය යුගයක එතුමා බෞද්ධයකු ලෙස හා මාතෘ භූමියට ආදරය කරන්නෙකු ලෙස කාලීන අවශ්‍යතාවයකට එතුමා නායකත්වය දුන්නා.

මේ රටේ ජනතාව රට, භාෂාව, සංස්කෘතිය, සභ්‍යත්වය පිළිබඳ අවබෝධයක් ලබා දීමට මාධ්‍ය යොදා ගන්න එතුමා තීරණය කළා. එවකට තිබු සම්පත් වල උපරිමය භාවිතා කරමින් එතුමා මුද්‍රිත මාධ්‍ය භාවත කර ඒ කාර්යය ඉටු කළා. අපේ සංස්කෘතිය, භාෂාව, සභ්‍යත්වය වෙනුවෙන් හඬක් නඟන්නට එකමුතුවක් ඇති කිරීමට එතුමා මේ ප්‍රවෘත්ති පත්‍ර මඟින් කටයුතු කළා. මේ පුවත්පත් එදා ජංගම පුස්තකාල වගේම හැම පැත්තක්ම ආවරණය වන පරිදි කෘතහස්ත ලේඛකයින්ගේ අදහස් වලින් සමන්විතව පළ කෙරුණි. රට ගැන ජාතිය ගැන ජනතාවට අවබෝධයක් ඇති කරන්නට මෙමඟින් හැකියාව ලැබුණා.

නිවැරදි වුත් හරවත් වුත් භාෂාවක් යොදා ගනිමින් මේ ක්‍රියාව සිදු කළා. එතුමා බුදුදහම ගැන හැඟීමකින් කටයුතු කළා. විජේවර්ධන පරම්පරාවේ අය බුදු දහමට, සම්බුද්ධ ශාසනයට කරන ලද සේවය අති මහත්. එදා ලංකා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය ආවාස පහසුකම් සපයා දෙමින් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ඇති කළා. පේරාදෙණිය සරසවියේ සංඝාරාමය ඒ අනුව හාමුදුරුවන්ට අධ්‍යාපන ලබන්නට තෝතැන්නක් වුණා. එකළ ආහාරපාන , දානමාන සියල්ල නොමිලයේ සපයමින් අත්වැලක් වුණේ ඩී.ආර්.විජේවර්ධන මැතිතුමයි.

කිසිම පුවත්පත් ආයතනයක බුදු දහම වෙනුවෙන් පුවත්පතක් පළ වුණේ නැහැ. එතුමා බුදුසරණ ආරම්භ කර ස්වාමීන් වහන්සේලාට ඉඩ කඩ ලබා දුන්නා. අපේ ප්‍රසංශාව එයට පළ කළ යුතුයි. මිහින්තලා ආලෝක පුජාව ද එතුමා බුද දහම වෙනුවෙන් තමන් ධනය කැප කරමින් ආරම්භ කළා. එතුමා මේ ආරම්භ කරන ලද මේ ආයතනය නිසා පවුල් සිය දහස් ගණනක් ජීවත් වෙනවා. මේ ආයතනයේ දේශපාලන පක්ෂ පාට, ආගමික වශයෙන් වෙනස් අදහස් තිබුණත් නිර්මාතෘවරයාට පිං දෙන්න එකට හිට ගන්නවා. ඒ අය දන්නවා තමන් ජීවත් වෙන්නේ එතුමා නිසා කියලා.

මේ අවස්ථාවට ලේක්හවුස් සභාපති කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, පුවත්පත් කර්තෘවරු සහ ආයතනයේ සේවක සේවිකාවන් පිරිසක් ද එක් වුහ.

ඡායාරූප සිරිපාල හල්වල ,විමල් කරුණාතිලක


නව අදහස දක්වන්න