කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්ට තවත් තනතුරක් | දිනමිණ

කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්ට තවත් තනතුරක්

මහින්ද අලුත්ගෙදර

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) ශ්‍රී ලංකා නියෝජතයා ලෙස කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් එම්.ඒ.කේ. ගිරිහාගම මහතා පත්කර තිබේ.

එම සංවිධානයේ මහලේකම් ෆැන්ග් ලියු මහත්මිය සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අතර මොන්ට්‍රියල්හි දී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එම තනතුරට අදාළ පත්වීම් ලිපිය ගිරිහාගම මහතා වෙත පිරිනමා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මහකොමසාරිස්වරයා හා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ මහලේකම්වරිය අතර පැවැති හමුවේ දී වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන අතර ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් පැවරෙන කාර්යභාරය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඇත.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ පුහුණු වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී කරුණු දක්වා තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකා රජය විසින් සැලසුම් කර තිබෙන වැඩසටහන් සඳහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සහාය ලබාදෙන බවට ප්‍රකාශ කර තිබෙන එම සංවිධානයේ මහලේකම් ෆැන්ග් ලියු මහත්මිය අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන අනෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද අවධානය යොමු කළයුතු බව ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා පිළිබඳ සම්මුතිය (චිකාගෝ සම්මුතිය) පරිපාලනය සහ පාලනය කිරීම සඳහා 1944 දී පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ආයතනයක් වන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ප්‍රමිතීන් හා නිර්දේශ පිළිබඳව කටයුතු කිරීම, කාර්යක්ෂම, ආරක්ෂිත, ආර්ථික වශයෙන් තිරසාර හා පරිසර හිතකාමී සිවිල් ගුවන් සේවා අංශයක් සඳහා සහයෝගය දැක්වීම මෙමගින් සිදුකෙරෙන අතර ලෝකයේ රටවල් 192ක සාමාජිකත්වයක් සහිතයි.

 

නව අදහස දක්වන්න