සැකයක් නැතිව තේ පරිභෝජනය කරන්න | දිනමිණ

සැකයක් නැතිව තේ පරිභෝජනය කරන්න

චන්ද්‍රිකා පෙරේරා

බාල තේ දේශීය වෙළෙඳපොළ වෙත ඒම සම්පූර්ණයෙන්ම වළක්වා ඇති බැවින් කිසිදු බියකින් හෝ සැකයකින් හෝ තොරව තේ පරිභෝජනය කරන ලෙස ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රුසිල් විජේගුණවර්ධන මහතා පැවසීය.

දේශීය වෙළෙඳපොළේ ප්‍රමිතිගත තේ නිෂ්පාදන ආරක්ෂා කර ගැනීම සඳහා අධීක්ෂණය කිරීමේ කාර්යය සාර්ථකව සිදු කරන බැවින් පාරිභෝගිකයා බිය විය යුතු නැති බවද හෙතෙම අවධාරණය කළේය.

කසළ තේ යනු ප්‍රමිතියෙන් අඩු යන්න නොවන අතර ඒවා තේ දළුවලින් නිමි තේ නිපදවීමෙන් පසු ඉවත් කෙරෙන තේ නැටි කොටස බැවින් ඒවා පරිභෝජනයට නුසුදුසු නොවන බවද පෙන්වා දුන්නේය.

එහි තද කහට වර්ණය හේතුවෙන් වැඩි තේ රසය ඇත්තේ කසළ තේ යනුවෙන් හඳුන්වන තේවල බව පෙන්වා දුන්නේය.

කසළ තේ යනුවෙන් හැඳින්වීමක් නොකරන අතර එම නාමය සාමාන්‍ය වහරේ සකසා ගත්තකි. තේ නිෂ්පාදන සඳහා පාවිච්චියට ගත හැකි කාලයක් තිබෙන අතර එම කාලයෙන් පසු ‘කල් ඉකුත් වූ තේ‘ විනාශ කිරීමට පියවර ගැනීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. ඒවා පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් නොකරයි.

කෙසේ වුවද මෙරට වෙළෙඳපොළට නිකුත් කරන නිමි තේ අදාළ වෙළෙඳුන්ට හෝ වෙළෙඳ ආයතන වලට ලබා ගත හැකි එකම ස්ථානය වන්නේ තේ මණ්ඩලයේ මූලිකත්වයෙන් පැවැත්වෙන තේ වෙන්දේසියේ දී පමණක් බවද හෙතෙම අවධාරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අවසරයකින් තොරව කිසිම අවස්ථාවක නිමි තේ වෙළෙඳපොළ වෙත කිසිවෙකුටත් නිකුත් කිරීමට නොහැකි ආකාරයේ නිසි නියාමනයක් ක්‍රියාත්මක බැවින් පරිභෝජනයට නුසුදුසු තේ කිසිම අවස්ථාවක වෙළෙඳපොළ වෙතට ගෙන ඒමට නොහැකි බව රුසිල් විජේගුණවර්ධන මහතා සඳහන් කළේය.

විදෙස් රටකින් මෙරටට තේ ගෙන්වන්නේ නම් ඒ පිළිබඳ අවසරය ද අනිවාර්යයෙන්ම තේ මණ්ඩලයෙන් ලබා ගත යුතු අතර එසේ අවසරයකින් තේ පිටරටින් ගෙන්වූ අවස්ථාවක ඒවා රේගුවෙන් ඉවත් කර ගැනීමට පෙර පරීක්ෂාවට ලක් කෙරේ. ඒ අනුව ඒවායේ සාම්පල් වෙනම ලැබෙන බවත් ඊට අමතරව රේගුව එම තේ අදාළ අයට ලබාදීමට පෙර තේ මණ්ඩලය දැනුවත් කිරීම සිදු කරන බවත් පෙන්වා දුන්නේ ය.

තේ මණ්ඩලයේ තේ පරීක්ෂාව සඳහා වෙනම තේ පරීක්ෂකයන් ( ටී ටේස්ටර්) සිටින අතර ඒ අය තේවල ගුණාත්මක තත්ත්වය වෙනම පරීක්ෂා කරනු ලබයි. ඊට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද දේශීය වෙළෙඳපොළ තේ පරීක්ෂාව වරින් වර සිදු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මකය.

මේ අනුව මෙරට වෙළෙඳපොළේ ඇති තේ නිසි ප්‍රමිතියෙන් යුතු ඒවා බැවින් දේශීය පාරිභෝගිකයා ඒවා මිලදී ගැනීමේ දී බිය විය යුතු නැති බවත් ඒවා නිසි ගුණාත්මක භාවයෙන් යුතු ඒවා බවත් කීය.


නව අදහස දක්වන්න