රාගම යාචක ලෙඩ | දිනමිණ

රාගම යාචක ලෙඩ

රාගම නගර මධ්‍යයේ දිස්වන කාදිනල් කුරේ පියාසර පාලම යට ප්‍රදේශය පුරා අරක්ගෙන සිටින ව්‍යාජ යාචක පිරිස මාධ්‍ය මඟින් කොතරම් පෙන්වා දුන්නද පලවාහරින්නට කිසිදු වගකිවයුතු අංශයකට මෙතෙක් බැරිව තිබීම විමතියට හේතුවක්ව පවතී.

මොවුහු සංවිධානාත්මක යාචක කල්ලියකට අයත්ය. 20 කගෙන් පමණ සමන්විත මෙම පිරිස ව්‍යාජ යාචකයන් ලෙස හඳුන්වන්නේ මොවුන්ගේ චර්යාව හේතුකොටගෙනය.

මොවුහු ලැබෙන මුදල් එකතු කරගෙන කිසිදු බියක්, සැකයක්, තහංචියක් නොමැතිව මත්පැන් බොති. තිත්ත කුණුහරුපයෙන් එකිනෙකාට බැන වදිමින් කුලල්කා ගනිති. නගර මධ්‍යයේ පාලම යට මුත්‍රා කරගනිමින්, ඉඳුල් කෑම විසුරුවා හරිමින් නගරය අවලස්සන කරති. නගරයේ ආරක්ෂකවරිය ලෙස ප්‍රදේශයේ කතෝලික ජනතාව ගෞරවයෙන් සලකන තේවත්ත ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකා දෙව්මැදුර කැප කර ඇති ප්‍රතිමා පීඨකය ඉදිරිපිට විටෙක අඩ නිරුවතින් හැසිරෙති. නගරයේ පිවිතිරියාව රැකදීමට වෙහෙසෙන ජාඇල ප්‍රාදේශීය සභා බලධාරීන්ගේ වෑයම් උඩු යටිකුරු කරති. අවලස්සන, අපිරිසිදු, ජුගුප්සාජනක පරිසරයක් නගර මධ්‍යයේ ඇතිකරන මොවුන් රාත්‍රී කාලයේ පාලම යට වැතිරී සිටිති. මාර්ගයට දෙපා යොදා නිදාගැනීම නිසා වාහන හිමියන් ද අසීරුවට පත්වන තත්ත්වයක් උදාකරති.

මෙම යාචක පිරිස පලවාහරින්නට පොලිසියට, ප්‍රාදේශීය සභාවට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලධාරීන්ට හෝ මෙතෙක් නොහැකිව ඇත්තේ මොවුන් කුමන හෝ බලයකින් ආවරණය වී සිටින නිසාද?

මොවුන් අනුකම්පාවට ලක්විය යුතු පිරිසක් ලෙසින් සැලකිය නොහැකිය. නගරයට යන එන ජනතාවට හිරිහැරයක් වී ඇති මොවුන් පලවා හරින්නට සමතෙක් මෙතෙක් ඉදිරිපත් වී නැත්තේය.

නගරයේ අලංකාරයට හානි පමුණුවන මොවුන් පන්නා දැමීමට අදාළ බලධාරීන්ගේ අවධානය දැන්වත් යොමු‍වේවා!

ඩික්සන් ‍කොංගනීගේ
රාගම


නව අදහස දක්වන්න