තරුණ පෙළට නව මඟක් | දිනමිණ

තරුණ පෙළට නව මඟක්

ළමා කාලය ගෙවී යන්නේ මව්පිය සෙනෙහස කරුණාව දයාව කැටි කරගත් ආරක්ෂාව මතය. එම වකවානුව ඉතාම සුන්දරය. ළමා කාලයේ දවස ගතවන්නේ අම්මා තාත්තාගේ සෙවනේය. ඉන් අනතුරුව කෙළිලොල් අවදිය තරුණ කාලයයි.

කෙළිලොල් බව නිසාම ඇතිවෙන ගති පැවතුම් කිහිපයක්ම ඇත. නිරතුරු ජයග්‍රහණයට ඇති කැමැත්ත, ඉදිරියට යාම හා මුරණ්ඩු ගතිය ඒ අතර වේ. මේ මෑතක් වනතුරුම තරුණ පරපුර ආදර්ශයට ගත්තේ තම වැඩිහිටියන්වය. ඉන් පළමු තැන පියාට හිමිවන්නේ ගෞරව මුසු භක්තියකිනි. ආදරය හඳුනා ගන්නේ මව්ගේ උණුසුමෙනි. පාසල් අධ්‍යාපනය නිමවීමෙන් උසස් අධ්‍යාපනයට ඒ වාගේම රැකියාවකට හෙවත් නැති නම් වෙනයම් වෘත්තියකට සම්බන්ධ වන්නේ ළමයා නොව තරුණයාය. ඉහත සඳහන් කටයුතු සඳහා තරුණයාට ලැබෙන නිදහස අසීමිතය. එමෙන්ම ඇසුරු කරන්නට විවිධ තරාතිරමේ පුද්ගලයන් හමුවේ. ඒ සමාජ ඇසුර නිසා තරුණත්වය ආකල්පමය වෙනසකට යොමුවන්නේ නිරායාශයෙනි. කන

බොන දේ ඇඳුම් පැළඳුම් කතා බහ මෙන්ම තීරණ ගැනීමේදී අදහස් උදහස් ඒ අතර වේ. හොඳ නරක පිළිබඳ හා හැසිරීම පිළිබඳ අවබෝධය ඇසුරු කරන පුද්ගලයන්ගෙන් ලබාගැනීම තරුණත්වයේ ලක්ෂණයකි. ඕනෑම දේශයකට රටකට හිමි වැදගත් කරුණු කීපයක් ඇත. සොබා දහමේ බලපෑම්, රටේ සංස්කෘතිය, ආගම දහම, සමාජය තත්ත්වය, සිරිත් විරිත් මෙන්ම ආර්ථිකය හැඳින්විය හැක. රටක ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේ ඉහත කරුණුවල යහපත් ක්‍රියාත්මකභාවය නිසාය. අද මුළු ලෝකයම කිසියම් තාක්ෂණික දියුණුවක් ලබා ඇත. ඊට ගෝලීයකරණය ප්‍රධාන හේතුවක් වී ඇත. එම හේතුවම රටක සාමාජීය කටයුතු වෙනස් කිරීමට මූලික වී ඇත. මෑතක් වනතුරු අපේ රටේ සමාජීය වෙනස්කම්වලට සම්බන්ධකම් ඇතිවූයේ ඉන්දියාවය. ඉන් අනතුරුව යුරෝපා රටවල්වල ආක්‍රමණ නිසා ඇති වූ සමාජීය වෙනස්කම්ය.

ඒත් අද වනවිට මුළු රටටම වදයක් වූ ප්‍රශ්න රාශියක් නව සබඳකම් නිසා ඇතිවී ඇත. ඉන් යහපතට වඩා අයහපත වැඩි බව. අද සමාජය දෙස බැලූවිට අවබෝධ වේ. ඉන් වඩාත්ම අසරණ වී ඇත්තේ තරුණ පරපුරය. තරුණ පරපුර රටක වටිනාම සම්පතයි. මෙම සම්පත සුරකීම, වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වගකීමය. වත්මනෙහි අපේ රට තුළ ඇති භයානක විෂම උවදුරු දැඩි ලෙස වැලඳ ගන්නේ තරුණ පරපුරය. වැඩිහිටි අපගේ දෑසට පෙනෙන මේ භයානක උවදුරින් තරුණ පරපුර බේරාගැනීමට තරුණයන් ආගම දහමට වෙනදාටත් වඩා උවමනාවෙන් හා සැලකිල්ලෙන් යොමු කළ යුතුය. ඒ සඳහා තරුණ පරපුර දිරිමත් කළ යුතුය. වත්මනෙහි බොහෝ තරුණයන් පන්සල් යන්නේ නැත. ඊට හේතුව ඔවුන් වැටී ඇති නරා වළවල්වලින් ගොඩඒමට ඇති අපහසුවය. පන්සලකට පල්ලියකට ගිය විට ලැබෙන ආධ්‍යාත්මික සැනසුම උඩුදුවන තුවාලයක් සුවකරන ‍ඖෂධයකි.

රට ජාතිය ආගම ගැන අද තරුණයන් තුළ ඇති මන්දගාමී නොපහන් අදහස් උදහස් දුරු කළ යුතුය. මසකට වරක් පෝය දින පවුලේ සැම හෝ මිතුරන් සමඟ හෝ නැතිනම් පන්සලකට ගොස් දැහැමි සිතින් පහනක් දල්වා මලක් පූජාකරන්න ලැබෙන විනාඩි කීපයක් බෝමලුවේ සිසිලස විඳ ගනිමින් කළ යුතු උතුම් යහපත් වැඩ මෙන්ම අත්හල යුතු පුරුදු අත්හැරිය යුත්තේ ඇයි දැයි කියා සිතා මෙත් සිත් වඩන්න. හැම ඉරු දිනකම කතෝලික තරුණයන් පල්ලියට යන්න. දේවමෙහෙයට සහභාගි වන්න. චෛතසිකය පහන් කරන්න. කිසි දිනක මග වරදින්නේ නැත. අභිමානවත් තරුණත්වය අයාලේ යන්නට නොදී යහපතටම යොදවන්න. තරුණ වියේ නොසන්සුන් සිත අයාලේ යන බව කීවත් එය සත්‍ය නොවන අතර සිත් කලබලකාරී අසංවර බවට වයෝවෘද්ධ කාලයෙත් පුද්ගලයා පත්වන බව වත්මන් සමාජ තලය දෙස බැලීමෙන් දැකගත හැක.

සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මී තපසට ගියේ වයස අවු. 29 දීය. ජේසුස් ක්‍රිස්තුස්තුමා ජනතාව වෙනුවෙන් දිවි දුන්නේ තිස්වෙනි වියේදීය. මේ ආගමික ශාස්තෘන් වහන්සේලා ලොව පහළ වූයේ වසර දෙදහසකට පෙරය. ඒ ශ්‍රී නාමයන් අදද අධ්‍යාත්මික සුවයෙන් මුළු ලොවම සුවපත් කරයි. බුදුදහමෙහි සඳහන් වන පරිදි බෞද්ධ භික්ෂුවකගේ උසස්ම අධිශීලය වන උපසම්පදා ශීලය ලබාගැනීමට සාමණේර භික්ෂුවකට වයස අවුරුදු 21 සම්පූර්ණ විය යුතුය. එම කරුණු කාරණා අවබෝධ කරගත්විට වැටහී යන ප්‍රධාන කරුණ වන්නේ තරුණත්වය පමණක් නොව ජීවත්වන සියලුදෙනාගේ සිත් ආගම දහමට නැඹුරු නොවුණොත් සන්සුන්බව, හික්මීම, සංවර බව වෙනුවට අසංවරබව වෛරීය බව සෝකි බව මෙන්ම ලද දෙයින් සතුටු විය නොහැකි බැවින් අසරණවීම අනිවාර්යයි.

ලද ඉඩකින් තරුණයන් උපරිම ඵල නෙළාගෙන සාර්ථක ජීවිතයක් ගොඩනගන්නට ආගම දහමට සිත කය වචන යොමු කරන්න එවිට තුන්දොර කිළිටි නොවනු ඇත. මුළු මහත් මානව සමාජයම යහපත් සදාචාරසම්පන්න වනු ඇත.

චන්ද්‍රසිරි ගෝමිස්
කළුබෝවිල

 

නව අදහස දක්වන්න