මගීන් තෙරපන බස් තරග | දිනමිණ

මගීන් තෙරපන බස් තරග

ප්‍රවාහන අවශ්‍යතාව යනු අපගේ ප්‍රධානම අවශ්‍යතාවලින් එකකි. ගමනාගමන පහසුකම් නොමැති වූ විට මහජනතාව අත්විඳින දුෂ්කරතාව සුළුපටු නොවේ.

දකුණු ආසියානු රටවල බොහෝ විට දක්නට ලැබෙන සුලභ ලක්ෂණයක් වන්නේ මගී ජනගහනයෙන් සියයට අනූවක්ම පමණ තම ප්‍රවාහන අවශ්‍යතා සපුරාගන්නේ රජයේ හෝ පෞද්ගලික අංශයේ ප්‍රවාහන පහසුකම්වලිනි.

රජයක් විදියට බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම උත්සාහ කරන්නේ ගුණාත්මක භාවයෙන් අනූන වූ හොඳ මගී ප්‍රවාහන යාන්ත්‍රණයක් ජනතාවට ලබාදීමට ය.

බලයට පත්වන කිසිම රජයකට සියයට සියයක්ම රජයේ ලංගම ප්‍රවාහන පහසුකම් ජනතාවට ලබාදිය නොහැකි බව සියල්ලෝම අවබෝධ කරගත යුතුය.

රටක බලයට පත්වන ආණ්ඩු හැමවිටම උත්සාහ කරන්නේ පෞද්ගලික අංශය දිරිගන්වා මහජනතාවට සමීප රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ප්‍රවාහන පහසුකම් සැලසීමටය.

මේ සඳහා පෞද්ගලික බස් හිමියන් දිරිගැන්වීමට විවිධ සහනදායී යෝජනා ක්‍රම රාශියක් පළාත් සහ මධ්‍යම වශයෙන් රජයෙන් ලබා දී තිබේ. මේ සියලු කාරණා මැද ගැටලු ප්‍රශ්න ඇතිවන අවස්ථා ද නැතිවාම නොවේ.

සමහර අවස්ථාවලදී මගී ජනතාව නොසිතනම අවස්ථාවක ලංගම සහ පෞද්ගලික බස් වර්ජනය කරන අවස්ථා නගරබදව අප දැක තිබේ.

සාමාන්‍යයෙන් ලංගම හෝ පෞද්ගලික බස් හිමියන් දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට යාමට පෙර මාධ්‍ය මඟින් සියලුදෙනාම දැනුවත් කිරීම සම්ප්‍රදායයි. එහෙත් මෙකී සම්ප්‍රදාය කඩකරමින් ජනතාව එකවරම අපහසුතාවයට පත්කරමින් ප්‍රාදේශීය බස් සංගම් පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට වර්ජන දියත් කරන සිද්ධීන් අප දැක තිබේ.

මේ පිළිබඳව සොයා බැලීමේදී මෙම ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වන කාරණා කීපයක් අප හඳුනාගෙන තිබේ.

ලංගම කාර්ය මණ්ඩලය සහ පෞද්ගලික බස් කාර්ය මණ්ඩල අතර ඇත්තේ සදාතනිකව විසඳිය නොහැකි ආකල්පමය ගැටලුවකි.

රජයේ සේවකයන් හැටියට ලංගම සේවකයින් අභිමානයක් ගොඩනඟාගෙන ඇති අතර පෞද්ගලික බස් සේවකයන් තමන් පෞද්ගලික යැයි සිතා තමා විසින්ම ගොඩනඟාගත් හීනමානයක් ගොඩනඟාගෙන තිබේ.

දෙවන කාරණය වන්නේ ගැටුම් උග්‍රවෙන ලංගම පෞද්ගලික බස් සංගම් ඒකාබද්ධ කාලසටහනය.

ඇත්ත වශයෙන්ම පාසලක වුවද කාලසටහනක් ලබා දී ඇත්තේ වැඩකටයුකු කළමනාකරණයකින් යුතුව කරගැනීමේ පහසුව තකාය.

ප්‍රවාහනයටද යම් කාල රාමුවක් ලබාදී තිබෙන්නේ දෙපාර්ශ්වයටම කළමනාකරණයක් කර ගැනීමේ පහසුව මතය.

එහෙත් දෙපාර්ශ්වයම අවබෝධයෙන් කටයුතු නොකිරීම තුළ පුංචිම පුංචි ගැටලුවක් මහා විනාශයක් කරා වුවද ගමන් කළ හැක.

අප සාමාන්‍යයෙන් දන්නා ආකාරයට ඇතැම් පෞද්ගලික බස් හිමියන් නියමිත කාලවකවානු ඉක්මවා ද යම් කාලයක් වැඩියෙන් බස් නැවතුම්වල ගතකරන බව ප්‍රසිද්ධ රහසකි.

මුදල් මතම යැපෙන සමාජයක ඔවුනටම ආවේණික වූ අනේකවිධ ප්‍රශ්න ගැටලු තිබීමට පුළුවනි.

මේ තත්ත්වයන් ඉතා හොඳින් දෙපාර්ශ්වයම කල්පනා කර අවබෝධයෙන් කටයුතු කිරීම තුළ ගැටලුවට විසඳුම සරලවම විසඳාගත හැක.

රජයකට රටේ අස්සක් මුල්ලක් නෑර සිදුවන සෑම වැඩවර්ජනයකටම මැදිහත්විය නොහැකි බව සියලු දෙනාම අවබෝධ කරගත යුතුය. මේ සියලු ප්‍රශ්නවලට විසඳුම අප සම්බුදු පියාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයෙන් ලබා දී ඇත. එනම් ගෙයි ගිනි පිටතටත්, පිට ගිනි ගෙදරටත් නොවැද්ද ගැනීම තුළ සියලු ගැටලු නිරාකරණය වනු නො අනුමානය.

ඩබ්. කේ. මොහාන් චන්දන
දෙහිඅත්තකණ්ඩිය
මහවැලි සී කලාපය

නව අදහස දක්වන්න