ඔබගේ ආයෝජන උපක්‍රමය කුමක්ද? | දිනමිණ

ඔබගේ ආයෝජන උපක්‍රමය කුමක්ද?

මිලදී ගත යුත්තේ කුමන වර්ගයේ කොටස්ද?

මෙය තීරණය කල යුත්තේ ඔබේ ආයෝජන අරමුණු සලකා බැලීමෙනි. ඔබේ ආයෝජන කළඹ අරමුණු ළඟා කර ගැනීමට අවශ්‍ය කොටස් වලින් සමන්විත විය යුතුය. ඔබ දිගුකාලීන ආයෝජන මාර්ගයන් තෝරා ගත් විට යම් යම් කාලවලදී ඔබට ඔබේ ආයෝජිත ප්‍රාග්ධනය වර්ධනය ඉක්මනින් වර්ධනය කිරීමේ අවස්ථාවන් උදාවිය හැක. ඔබ දිනපතා ක්‍රියාකාරී ගනුදෙනුවල යෙදෙන්නේ නම් එනම්, කෙටිකාලීන ආයෝජන උපක්‍රම භාවිත කරන්නේ නම්, එසේ කිරිමේ අවදානම හා ගනුදෙනු පිරිවැය ගැන ඉතා ප්‍රවේශම් විය යුතුය.

ඔබ කුමන කොටස්වල ආයෝජනය කරනවාදැයි තීරණය වීමට බොහෝ හේතු බලපායි. කෙසේ නමුත් එහිදී වඩා වැදගත් වන්නේ ඔබේ ආයෝජන අරමුණු හා ඒවායේ වර්ධනීය ඉලක්ක කොතෙක් දුරට ඔබගේ ආයෝජන කළඹ තුල ඇති කොටස් සමඟ ගැළපෙනවාද යන්නයි. ඔබට දැරිය හැකි අවදානම අනුව, විවිධ වර්ගීකරණය කරන ලද කොටස් වෙළෙඳපොළේ පවතින අතර, ඒවා මිළඟට සාකාච්ඡා කෙරේ.

ආදායම් ලබන කොටස් (Income Shares)

මෙනමින් හැඟවෙන පරිදි මෙම කොටස් ස්ථාවර ආදායමක් කොටස් කරුවන්ට ලබා දේ. මේ කොටස් අනෙකුත් සමාගම් හා සසඳන කල නොකඩවා ලාභාංශ ගෙවන ලද සමාගම් වන අතර ඔබ මෙම කොටස් මිල දී ගැනීමට අදහස් කරන්නේ නම් ශුද්ධ ලාභාංශ සඳහා අදාළ බදු හා කොටස් වල පිරිවැය එයින් අඩු කළ යුතුය.

අගය සහිත කොටස් (Value Shares)

මෙම කොටස් උදාසීන/ක්‍රියා රහිත කාලයක් පැවතියද අනාගතයේදී දියුණු වීමේ හැකියාවක් ඇති කොටස්ය. මෙම සමාගම් වල හොඳ මුල්‍ය තත්ත්වයක් සහ ව්‍යාපාරික සාර්ථකත්වයක් පෙන්නුම් කළත් වර්තමානයේ කොටස් මිල අඩු අගයක් පෙන්නුම් කරයි. දිගුකාලීන ආයෝජකයෝ මේ සඳහා වැඩි කැමැත්තක් දක්වන අතර ඔවූහු මෙම කොටස් එහි සත්‍ය අගයට පැමිණීමත් සමග ඇති වන ලාභාංශ හෝ මිලෙහි අඛණ්ඩ වර්ධනයෙන් වාසි ලබාගැනීම වසර ගණනාවක් වූවත් රඳවා ගෙන සිටිති.

වර්ධන කොටස් (Growth Shares)

මේවා රටේ ආර්ථිකය හා තම ව්‍යාපාරික කටයුත්ත සමඟ සබඳතාවයක් පවත්වමින් ශක්තිමත් ක්‍රියාකාරි වර්ධනයක් පෙන්නුම් කරන සමාගම්වල කොටස්ය. මෙම කොටස් බොහෝ විට ඉතා අඩු ලාභාංශ හෝ ලාභාංශ නොගෙවාම සිටිය හැක. මෙම ආයෝජකයෝ වර්තමානයේ ඉපයිය හැකි ආදායම කැප කොට (ලාභාංශ ආදිය) අනාගත ප්‍රතිලාභ වන විකුණුම් සහ ලාභ වර්ධනය බලාපොරොත්තු වෙති. (මිල ඉහළ යාම නිසා ඉපයිය හැකි ප්‍රාග්ධන ලාභ).

චක්‍රීය කොටස් (Cyclical Shares)

මේවා සාමන්‍ය ආර්ථික ප්‍රවණතාවන්ට හා ව්‍යාපාර චක්‍රයන්ට සංවේදීව ක්‍රියා කරන කොටස්ය. ආර්ථිකය ක්‍රියාකාරී වන ආකාරය හා වෙළෙඳපොළේ ඇති අපේක්ෂා මත කොටස් වල මිල වෙනස් වන සුළු තත්ත්වයක් පෙන්නුම් කරයි.

ආරක්ෂාකාරි කොටස් (Defensive Shares)

අධික පීඩනයට ලක් වූ ආර්ථික චක්‍රයන් තුල පවා මෙම කොටස් වෙනස් නොවී පවතී. ආර්ථික අවපාතයයක් ඇති කාලයේදී පවා මෙම කොටස් එහි අගය පවත්වා ගනී. ඉහත සඳහන් කළ චක්‍රීය කොටස් මෙන් සාමන්‍ය ආර්ථික ප්‍රවණතාවන්ට අනුව වෙනස් නොවේ. ආහාර සහ බීම වර්ග, ඉන්ධන, ගෑස්, ඖෂධ සහ රක්ෂණ වැනි ප්‍රධාන වෙළෙඳ භාණ්ඩ හා සේවා බොහෝ විට මෙම කොටස් කාණ්ඩයට අයත්ය.

කොටස් තෝරා ගැනීම

කොටස් හඳුනා ගැනීම ඔබේ උපදේශකයාගේ සහාය මත කළ හැකිය. ඔබට තනිව එය කිරීමට අවශ්‍ය නම් අපගේ වෙබ්අඩවියේ ප්‍රකාශන හා අධ්‍යාපනික දැන්වීම් කියවීම මගින් එය කළ හැක. නමුත් ආයෝජනය පිළිබඳව අත්දැකීම් අඩු පුද්ගලයින් ආයෝජක උපදේශයකුගෙන් උපදෙස් සලකා බැලීම වැදගත්ය. මීට අමතරව ඔබට පහත සදහන් ක්‍රමවලින්ද තොරතුරු ලබාගත හැක.

තැරැව්කාර සමාගම්හි වෙබ්අඩවි හා ප්‍රකාශන පුවත්පත් හා ව්‍යාපාරික සඟරා රූපවාහිනි ව්‍යාපාරික වැඩසටහන්

දත්ත වෙළඳුන්ගේ වෙබ්අඩවි හා ප්‍රකාශන (Reuters, Bloomberg,Telekurs)

තවද කොටස් වෙළෙඳපොළ පිළිබඳව තොරතුරු ලබාගත හැකි අනිකුත් ක්‍රම

Data Library –සියලු ලැයිස්තුගත සමාගම්වල කොටස් ගනුදෙනු සම්බන්ධ තොරතුරු අන්තර්ගත වේ. (කොළඹ සහ අනිකුත් ශාඛා වලින් ලබා ගත හැක)

Stock Market Daily, Weekly, Monthly, Quarterly ප්‍රකාශන මගින් (www.cse.lk)

කොළඹ කොටස් හුවමාරුව විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ සහ අනිකුත් ප්‍රකාශන මගින් (www.cse.lk, www.cse.edu.lk වෙබ්අඩවි හරහා සහ කොළඹ සහ අනිකුත් ශාඛා වලින් තොරතුරු ලබා ගත හැක).

කොළඹ කොටස් හුවමාරුවෙහි නිල Android සහ iOS Mobile App මඟින්

කොළඹ කොටස් හුවමාරුවෙහි නිල Twitter, Facebook, Linkedln සහ Youtube ගිණුම් හරහා

මාතර, මහනුවර, කුරුණෑගල, මීගමුව, යාපනය, අනුරාධපුරය, අම්බලන්තොට සහ රත්නපුරහි පිහිටි ශාඛා ජාලය හරහා

වෙබ්අඩවිය : www.cse.lk, දුරකථන අංක + 94 11 2356456, ඊ මේල් : [email protected]

කොළඹ කොටස් වෙළෙඳපොළේ සමාගම් ව්‍යාපාර ක්ෂේත්‍ර 20ක් ඔස්සේ වර්ගීකරණය කර තිබෙන අතර, ඔබ කුමන වර්ගයේ කොටස් කෙබඳු ක්ෂේත්‍රයකින් මිලදී ගන්නවාදැයි තීරණය කිරීමෙන් පසුව ඔබට කුමන සමාගමෙන් එය මිලදී ගන්නවාදැයි සලකා බැලිය හැක. එහිදී ඔබ මුලින්ම එම සමාගම පිළිබඳ අධ්‍යයනය කිරීම සුදුසුය. මේ සඳහා ඔබේ උපදේශකයා සමඟ සාකච්ඡා කිරීම හෝ පර්යේෂණ වාර්තා සම්පුර්ණ ලෙස කියවීම මගින් ඔබට සමාගමේ ක්‍රියාවන් හා එහි ව්‍යාපාර තත්ත්වයන් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත හැක.

නව අදහස දක්වන්න