දිවිමඟ ර‍ටා මවන වියමන | දිනමිණ

දිවිමඟ ර‍ටා මවන වියමන

ගෙඩි අතු මිටිය දෙස බොහෝ වේලාවක් බලා උන් ඇලිස් අම්මා පළමුවෙන්ම හොඳම ගෙඩි අතු තෝරා වෙන් කරගත්තාය.හැට පස් වියැති ඇයට පොල් අතු ඉරුවේ රටා දැකීම ජීවිතය තරමටම සමීපය.මීට වසර හැටකට ඉහතදී කරත්ත පේළියෙන් පොල් අතු මිටි රැගෙන ගිය අතීතය ඇයට තවමත් හොඳහැටි මතකය. එදවස වියන ලද පොල් අත්තක මිල සත දහයකි. ඇලිස් අම්මා නොරොච්චෝල ප්‍රදේශයේ දැනට ජීවතුන් අතර සිටින පැරණිතම පොල් අතු වියන්නියක ලෙස ප්‍රකටය. මහලු වයසේ සිටියද ඇගේ ගත අදටද එදා මෙන්ම යාන්ත්‍රිකය.පොල් අතු වියා දිවිගෙවන මේ ජන කොටස අපට බහුල වශයෙන්ම මුණගැසෙන්නේ කල්පිටිය ,නොරොච්චෝල ප්‍රදේශයේදීය. ඉල්ලුමට සැපයුම දිය නොහැකි තරමට ඇණවුම් ලැබෙන පොල් අතු විවීම ඒ ප්‍රදේශවල ප්‍රකට කර්මාන්තයකි.ඇලිස් අම්මා එම කර්මාණ්තයේ යෙදෙන පාරම්පරික ගැමි ලියක ලෙස හඳුන්වාදීම නිවැරදිය.ඇය තම දිවිය පුරාවටම පොල් අතු විවීමෙන් දිවි සරිකරගෙන තිබේ. ඇගේ ආර්ථිකය අදටද සවිබල ගැන්වෙන්නේ පොල් අතු වීවීමේ කර්මාණ්තයෙනි. පොල් අතු සඳහා එදා තිබූ ඉල්ලුම අද වර්ධනය වී ඇත්තේ සංචාරක කර්මාන්තය සඳහා පරිසර හිතකාමී ඉදිකිරීම් සංකල්පය පැමිණීමත් සමඟය.අතීතයේ පොල් අතු නිවෙස් හෙවිලි කිරීමට යොදා ගත්තද අද පොල් අතු යොදා ගනු ලබන්න්නේ කර්මාන්ත සහ සංචාරක හෝටල් සඳහාය.හැට පස් වසරක ඒ අතීත ගමන සුන්දරය.

අපේ පරම්පරාවම කළේ පොල් අතු වියන එක.ඒ දවස්වල අපේ අම්මයි අත්තම්මයි එක්ක අපි පොල් අතු වියනව හොඳට මතකයි.ඒ දවස්වල පොල් අත්තක් ගියේ සත දහයට.අතු දාහක් රුපියල් සීයයි.පොල් වතුවල පේළියට ගෑණු උදවිය අතු වියනවා.තව පිරිසක් අතු මිටි බඳිනවා.කරත්තවල පටවගෙන ලංකාව හතරදිසාවටම අපේ පොල් අතු අරන් ගියා.ඒ දවස්වල අතු ගත්තෙ ගෙවල් හෙවිල්ලන්න.හොඳ ඉල්ලුමක් තිබුණා.ඒ ඉල්ලුම අඩු වුණේ නැහැ.මිලත් ටිකෙන් ටික වැඩිවුණා.අපිට ජීවත් වෙන්න මේක හොඳ කර්මාන්තයක් නිසා පවුල්වල හැමෝම කරන්නෙ මේ රස්සාව තමයි.ඊට පස්සෙ කාලෙ හෝටල් වලට තමා වැඩිපුරම පොල් අතු ගත්තෙ.ඒ වගේම ලූණු වතුවලටත් පොල් අතු ගොඩක් ඕන වෙනවා.ඉස්සර නම් දවසට පොල් අතු පණහක් වියනවා මම.දැන් වයසයිනේ දවසට විස්සක් විසි පහක් විතර තමා වියන්න පුළුවන්.

ඇලිස් අම්මා ළයාන්විත සිනහවක් පායි.ඒ සිනහවතුළ ඇගේ ජීවිතයේ සැහැල්ලුව ගැබ්ව පවතී.කිසිවෙකුටත් අත නොපාමින් මේ පිරිස තම ජීවිතය සරිකරගන්නේ පොල් අතුවලට රටාව එක් කරමිනි.මෙම ප්‍රදේශයේ බොහෝ ගෘහණියන් තම පවුලේ ආර්ථිකය නංවාගැනීමට පොල් අතු විවීමේ කර්මාණ්තයේ නියැලී සිටී.සකසුරුවම සහ කළමණාකරණය පොතින් පතින් දැන උගත් නැතිමුත් මේ කාන්තාවෝ කිසිම පාර්ශවයක මැදිහත්වීමකින් තොරව තම ව්‍යාපාරය සරුවට කරති.එය සැමට කදිම ආදර්ශ සපයන්නකි.

ශ්‍රියාණි අපට හමුවූ තවත් එවැනිම දිරිය සම්පන්න කාන්තාවකි.ඇය පවසන අන්දමට මෙම කර්මාන්තය පවුලේ ජීවිතය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මුදලක් උපයා ගැනීමට කදිම මාර්ගයක් සකසා තිබේ.

දැන් පොල් අත්තක මිල රුපියල් තිහක්(30)ක් වෙනවා.අතු සීය අපි දෙන්නෙ රුපියල් තුන්දාහයි(3000)දවසකට අතු තිහක් හතළිහක් වියනවා.ඒ කියන්නෙ අපේ දවසෙ ආදායම හොයා ගන්න අපි මහන්සියෙන් වැඩ කරනවා.ලොකු ඕඩර් ආවොත් දවසට පණහ වියන දවසුත් තියෙනවා.වියන අතු කවදාවත් ඉතිරි වෙන්නෙ නෑ.දළුව,ඒත්තාල ,පාලකුඩා පැතිවලට තමයි වැඩිපුරම අතු යන්නෙ.ලූණු වහන්න වගේම දුංකල ඔතන්නත් පොල් අතු ගන්නවා.හෝටල් වල වහල වලටත් ඕඩර් එනවා.ගෙඩි අතු අපට ගෙනල්ල දෙන සැපයුම් කරුවො ඉන්නවා.අතු සීයක් අපි ගන්නෙ එක්දහස් දෙසීයට(1200).

වතුර හිග කාලෙට තමයි ටිකක් කරදර.ගෙඩි අතු ගෙනත් පොඟව ගන්න අමාරුයි වතුර නැතිවුණාම.ඒ ඇරෙන්න කරදරයක් නෑ.අපි පාරම්පරිකව කරන්නෙ මේ රස්සාව.අපේ ගෑනු දරුවොත් දැන් මේ රස්සාවට යොවුවෙලා ඉන්නවා.

වියන අතුවල සල්ලි වලින් ගෙඩි අතු ගන්න සල්ලි ඉතුරු කරන් තමා හැමදේටම වියදම් කරන්නෙ.ඇත්තටම පොල් අතුවිවීම කර්මාන්තයක්.ණය මුදලක් දෙන්න වැඩපිළිවෙළක් හැදුවොත් අපට ගෙඩි අතු වැඩිපුර අරගෙන මේක තව දුරටත් දියුණු කරන්න පුළුවන්.නමුත් මේ වගේ කර්මාන්ත වලට ණය දෙනවද ඒක කොහොමද වෙන්නෙ කියල අපි දැනුවත් නැහැ.

ශ්‍රී ලංකාව පුරා මෙවැනි ආකාරයෙන් පවත්වාගෙන යන ග්‍රාමීය කර්මාන්ත රැසකි.මෙම කර්මාන්තවල නියැලී සිටින බොහෝ දෙනකු භාහිර පරිසරය සමඟ කරන ගනුගෙනු ඉතා අල්පය.

මෙවැනි කර්මාන්තයන්හි නිරතවන පුද්ගලයන් කිසිවකුටත් බරක් නොවී ජීවත්වීමට පමණක් උත්සහ දරන්නේ තමාට ලැබෙන දෙයින් උපරිම තෘප්තිමත් වෙමින්‍ ය.මේ කතා බහ ඊට කදිමට සාක්ෂි සපයන්නකි.පොල් අතු විවීමේ කර්මාන්ත හරහා වක්‍රව ප්‍රතිලාභ ලබන තවත් ව්‍යාපාරය කිහිපයකි.ගලවන ලද ලූණු වසා තැබීම සඳහා පොල් අතු විශාල වශයෙන් ප්‍රයෝජනවත් වන අතර දුම්කොළ එතීම සඳහාද පොල් අතු බහුල වශයෙන් යොදා ගනී.එමෙන්ම පරිසර හිතකාමී සංකල්පයට(eco friendly concept ) අනුව ඉදිවන හෝටල්වල වහළය සඳහා ද විශාල වශයෙන් පොල් අතු මිළට ගැනීම සිදුවේ.මේ අනුව බලන කල පොල් ආතු වියන මේ ලියන් රටේ ආර්ථිකය නංවාලීම සඳහා විශාල දායකත්වයක් නිහඬව ලබා දෙයි.එසේම මෙම සුළු ව්‍යාපාරය සඳහා කැපව කටයුතු කරනු ලබන මේ ග්‍රාමීය ශ්‍රමිකයන් තම ව්‍යාපාරය තමා විසින්ම කළමණාකරණය කරගනිති.එබැවින් ඔවුන් තම පවුලේ ආර්ථික රටාව පාරම්පරික ජීවන රටාවට අනුව හැඩගස්වාගෙන සිටිති.තම ප්‍රදේශයෙන්ම ලබාගන්නා අමුද්‍රව්‍ය ඔවුන් තම කැපවීමෙන් මුදල් බවට පත් කරගනිති.ඔවුන් තමාගේ ශ්‍රමය රට නඟන්නට කැපකරන්නේ තමාගේ ජීවිතයද දියුණු කරගනිමිනි.මේ රටා වියන ලියන් රටටම කදිම ආදර්ශයක් වන්නේ ඒ නිසාවෙනි.

ස්තුතිය -මේ ගමන සඳහා අපට මඟ පෙන්වූ මහින්ද ලාල් සොයුරාට

සටහන -චතුර ගීතනාත් බණ්ඩාර
ඡායාරූප -ශාන් රඹුක්වැල්ල


නව අදහස දක්වන්න