රන්ජන් නම් ලැයිස්තුවක් ලිඛිතව දුන්නේ නෑ | දිනමිණ

රන්ජන් නම් ලැයිස්තුවක් ලිඛිතව දුන්නේ නෑ

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සුභාෂිණී සේනානායක

නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් මේ දක්වාත් තමාට ලිඛිතව බාර දී නොමැති බව කථානායක කරූ ජයසුරිය මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පසුගියදාත් අවධානය යොමු වී තිබු අතර රාජ්‍ය අමාත්‍යවරයා විසින් එවැනි නම් ලැයිස්තුවක් ලිඛිතව තමන් වෙත ලබා දී නොමැති බවට ඒ මොහොතේ මුලසුනේ සි‍ටි නියෝජ්‍ය කතානායකවරයා විසින් ද සඳහන් කළ බවත් කතානායකවරයා පැවැසීය.

එවැනි නම් ලැයිස්තුවක් මේ මොහොත දක්වාත් රන්ජන් රාමනායක මහතා විසින් තමන් ‍වෙත ලබා දී නොමැති බව කතානායකවරයා පැවැසීය.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී ඊයේ (21) කතානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුව තුළ කොකේන් ඇතුළු නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍යා රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර තිබිණ.

එහෙත් මේ දක්වා එවැනි නම් ලැයිස්තුවක් තමන් වෙත ලිඛිතව කතානායකවරයා ලබාදි නොමැති බව කතානායකවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරිමට එක්සත් ජාතික පෙරමුණ විසින් කමිටුවක් ද පත් කරනු ලැබුවේය.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද මෙම කමිටුව වෙත රන්ජන් රාමනායක මහතා කැඳවීමට නියමිත අතර මේ පිළිබඳ වාර්තාව කඩිනමින් ලබාදිම සිදුකරන බවත් සභානායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.


නව අදහස දක්වන්න