විධායක ජනපති ධුරය අහෝසි කිරීමට එදා වගේම අදත් සූදානම් | දිනමිණ

විධායක ජනපති ධුරය අහෝසි කිරීමට එදා වගේම අදත් සූදානම්

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සුභාෂිණී සේනානායක

යහපාලනය උදෙසා අතිජාත සුජාත දරුවකු ලෙස බිහිකළ 19 වැනි ව්‍යවස්ථා සං‍ශෝධනය මේ වනවිට අපචාරයට ලක්ව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා සතු අසීමිත බලතල පාර්ලිමේන්තුවට පැවරීම ඇතුළු අරමුණු ගණනාවක් වෙනුවෙන් ගෙන ආ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් අපේක්ෂිත අරමුණු ඉටුවී නොමැති බවත් එය ඉටු නොවූයේ කෙසේද යන්න පිළිබඳව සියලු දෙනා හොඳින් දන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය උපතින්ම ආබාධිත දරුවකු බවට තමන් ද පිළිගන්නා අතර පවිත්‍ර චේතනාවෙන් තමන් සතු බලය දන්දීමට පවා තමන් කටයුතු කළ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එසේ බලය දන්දුන් වෙනත් නායකයින් ලෝකයේ සිටින්නේදැයි තමන් නොදන්නා අතර, තමන්හට දැනෙන පරිදි 19 ව්‍යවස්ථා සංශෝධනය නම් සුජාත දරුවා අපචාරයට ලක්ව ඇති බව ජනාධිපතිවරයා කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා ඊයේ (21) පස්වරුවේ සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තමා එදා වගේම අදත් සූදානම් බවත්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට තමන් සහය දෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කෙළේය.

ඉස්සර කාලේ රුධිරය දන්දුන්නා. ලෝකයේ ශරීර කොටස් දන්දෙනවා. නමුත් බලය දන්දුන් අය බොහොම අඩුයි. බලයටපත් වූ පසු බලය දන්දුන් අයෙක් මම දන්නේ නෑ. පවිත්‍ර චේතනාවෙන් දන්දුන්නා. මට පේන විදිහට සුජාත දරුවා අපචාරයට ලක්ව තිබෙනවා. බලාපො‍රොත්තු, අරමුණු සුනු විසුනු වූයේ කොහොමද කියලා ඔබ දන්නවා. 19න් අපි ව්‍යවස්ථා සභාව හැදුවා. ස්වාධීන කොමිෂන් සභා හැදුවා. 19 වන සංශෝධනයේ කිසිදු දෙයක් අපි කරලා නෑ. පළාත් සභා පිළිබඳ පසුවිපරමක් අවුරුදු 30ක් අපි කරලා නෑ මම කරලත් නෑ. පළාත් සභාවේ කටයුතු ගැන අපි දන්නේ නෑ. පළාත් සභා විසුරුවලා අවුරුදු 1 ½ ක්, පළාත් සභාවලට වෙන්කරන මුදලින් සියයට 85ක් නඩත්තුවට, සංවර්ධනයට සියයට 15යි. අපි පළාත් සභා ගැන අධ්‍යයන කරලා නෑ.

මා මේ කතාව කරන්නේ මාව විවේචනය කලාට හෝ කතානායකට විරුද්ධව නෙවෙයි. මා මේ ස්වාධීන කොමිෂන් සභා ගැන පැවසූ කතා ගැන විවේචන කළා. බරපතල අපරාධකරුවො, කුඩු ජාවාරම්කරුවෝ අපි සාකච්ඡා කරලා අගුණකොලපැලැස්සට දැම්මා. වැලිකඩ ඉඩකඩ මදි හින්දා. ඒ දැම්මම මානව කොමිෂන් සභාව ප්‍රශ්න කරනවා. මානව හිමිකම් කොමිෂම පෙනී ඉන්නේ පාතාලකාරයින්, අපරාධකාරයින්ගේ මානව හිමිකම් වෙනුවෙන් ද නැත්නම් රටේ මිලියන ගාණක් ජනතාව ගැනද?

විදෙස් රටවල අපරාධකාරයින් අල්ලගත්තම කතාකරන්නේ ඔවුන් ගැන ද? විනිශ්චයකාර පත් කිරීම ගැන මම දොස් කියලා නෑ. මගේ ප්‍රශ්නය පත්කරලා ඉන්න අය ගැන නෙවෙයි. පත් නොකරපු අය ගැනයි මම කතාකරන්නේ. නම් කපන්නේ මම කියලා ඔවුන්ගේ හැඟීම තිබුණා. සාමාන්‍ය කම්කරුවකුටත් අයිතිය තිබෙනවා තමන්ගේ උසස්වීම් ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා දැනගන්න. පත්කළ අධිකරණවල විනිසුරුවරුන් අහනවා අපිටත් එහෙම වෙයිද කියලා.

බුද්ධශාසන ඇමැති ලෙස කරු ජයසූරිය මහතා පැවසූ කතාව අද හැන්සාඩ් ගතවෙලා තියෙනවා. ඔබ කියනවා පොලිසිය ඇතුළු ආයතන දේශපාලනීකරණය වෙලා කියලා. අධිකරණය, සමාජය දේශපාලනීයකරණය වෙලා ඔබ එදා කිව්වා. අද විද්වත් මැදිහත් අය කියනවා ව්‍යවස්ථාදායක සභාව දේශපාලනීකරණය වෙලා නේද කියලා. වැටත් නියරත් ගොයම් කානම් කාට කියම් ද එය කියලා කතාවක් තියෙනවා. කතානායකතුමා ලෙස ඔබ මට පිළිතුරක් එව්වා.

විනිශ්චයකාරයෙක් නුසුදුසුනම් ඒ බව ඔවුන්ට කිවයුතුයි. උසස්වීම නොදුන්නේ ඇයි කියලා විනිසුරුවරුන් 14 දෙනෙක් මගෙන් ඇහුවා.

නීතිපති, පොලිස්පති පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව අනුගමනය කළ වැඩපිළිවෙළ සදාචාරාත්මක නෑ. සභාවේ සිවිල් නියෝජනයේ වැඩි පිරිසක් එදා ඉදලා නෑ. එන්න එපා කිව්වද, ඒගොල්ලන්ගේ වැඩක් නෑ කිව්වද මම දන්නේ නෑ.

ව්‍යවස්ථා මණ්ඩලය අත්තනෝමතිකව ක්‍රියාකරන බව මෙයින් කියවෙනවා නොවේද? ව්‍යවස්ථාදායක සභාව අධිකරණය මා වෙත පවරා ඇති ස්වරීත්වය උල්ලංඝනය කිරීමක් මේ තුළින් මා දකිනවා. මා දකින ආකාරය මෙය ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක් වන්නේය.

ව්‍යවස්ථාදායක සභාව එහි කාර්ය කර්තව්‍ය පිළිබඳ රීති හදලා ගැසට් කරලා තිබුණා නම් විනිශ්චයකාරවරුන් පත්කිරීමේ ප්‍රශ්නය උද්ගතවන්නේ නෑ. ක්‍රියා පටිපාටිය, නිතිරීති පිළිබඳ ව්‍යවස්ථාදායක සභාව ගැසට් පත්‍රයේ පළකර මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමැතිය ගෙන නෑ. එසේ නොකරනුයේ 17 වන ස‍ංශෝධනය හුවාදක්වමින්ය. 17 වන සංශෝධනය 19 යට ආදේශ කරනුයේ කෙසේදැයි මා නොදනිමි.

පත්කළ විනිසුරුවන් පිළිබඳව මගේ කිසිදු ප්‍රශ්නයක් නෑ. විවේචනයක් නෑ. ප්‍රතික්ෂේප කළ අය ගැන නිර්දේශ මොනවාද? මම කතානායක විවේචනය කරන්නේ නෑ. වැරදි පාරේ යනවානම් අපි එය නිවැරදි කරගත යුතුයි. පොලිස් කොමිෂන් සභාවද ඒ වගේ. එහි අරමුණු අද ඉටුවෙන්නේ නෑ. රාජ්‍ය සේවා කොමිෂමද ඒ වගේ. අද රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් ඉන්නවා.

නිවැරදිව කටයුතු කළොත් සුජාත දරුවා වැරදි පැත්තකට යොමුවන්නේ නෑ. ස්වාධීන කොමිෂන් සභා දේශපාලනීයකරණය වුනොත් බලාපොරොත්තු වූ ප්‍රථිඵල ලැබෙන්නේ නෑ.

ජනාධිපති ධුරය අහෝසි කරන එක මගේ අතින් සිදුවූ වැරැද්දක් නොවෙයි. එය මේ සභාව ගතයුතු ක්‍රියාමාර්ගයක්. සභාව ගන්න ඕනෑම තීරණයකට මා සහාය දෙනවා.


නව අදහස දක්වන්න