ගුවන් හමුදා පාපැදි සවාරිය 20 වැනි වරටත් මාර්තු 1දා සිට | දිනමිණ

ගුවන් හමුදා පාපැදි සවාරිය 20 වැනි වරටත් මාර්තු 1දා සිට

ෆවුස් මොහොමඩ්

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් මිලියන 1.7ක තෑගි මුදලක් බෙදා දෙන වසරේ ජනප්‍රියතම පාපැදි තරගය ‘ගුවන් හමුදා පාපැදි සවාරිය‘ මාර්තු මස 1 වැනිදා සිට 3 දක්වා පැවැත්වෙයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වැනි සංවත්සරයට සමගාමීව මෙවර පාපැදි සවාරිය පැවැත්වෙන්නේ 20 වැනි වරටය. ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව සංවිධාන කරන ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි තරගය අදියර 3කින් සමන්විතව මාර්තු මස 1දා සිට 3 දක්වා පැවැත්වෙන අතර කාන්තා තරගය මාර්තු මස 3 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මාර්තු මස 1 වැනිදා කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසළදී ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් තරගය ආරම්භ වන අතර කිලෝ මීටර් 114ක දුර ප්‍රමාණයක් ආවරණය කරමින් කොළඹ සිට මීගමු මාර්ගය ඔස්සේ කඳාන, ජාඇල හරහා මිනුවන්ගොඩ, වේයන්ගොඩ, නිට්ටඹුව ඔස්සේ නුවර පාර හරහා මහනුවර දක්වා පළමු අදියර පැවැත්වෙයි. මහනුවර සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර් 146ක දුරක් ආවරණය කරමින් කටුගස්තොට, කුරුණෑගල, පාදෙනිය, කලාඔය, තඹුත්තේගම හරහා පැවැත්වෙන දෙවැනි අදියර පැවැත්වෙයි. තුන්වැනි හා අවසන් අදියර අනුරාධපුරය සිට පොලොන්නරුව දක්වා පැවැත්වෙන අතර ගල්කුලම, දඹුල්ල, හබරණ, මින්නේරිය, හිඟුරක්ගොඩ හරහා පොලොන්නරුව දක්වා කිලෝමීටර් 126ක් ආවරණය කෙරේ.

මෙහි කාන්තා තරගය මාර්තු මස 3 වැනිදා දඹුල්ල සිට පොලොන්නරුව දක්වා කිලෝමීටර් 64ක් ආවරණය කෙරේ.

මෙරට ප්‍රබලතම තරගකරුවන් සමග 150කට අධික තරගකරුවන් පිරිසක් සමග විදෙස් තරගකරුවන් ද සහභාගි වන ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි තරගයේ සමස්ත ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂ 3ක තෑගි මුදල් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානයට රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. තුන්වැනි ස්ථානයට රුපියල් ලක්ෂයක්, සිවුවැනි ස්ථානයට රුපියල් පනස් දහසක්, පස්වැනි ස්ථානයට රුපියල් තිස් දහසක්, 6 වැනි ස්ථානයට රුපියල් විසි දහසක්, 7 වැනි ස්ථානයට රුපියල් පහළොස් දහසක්, 8 වැනි ස්ථානයට රුපියල් දොළොස් දහස් පන්සියයක් සහ 10 වැනි ස්ථානයට රුපියල් දස දහස බැගින් මුදල් ත්‍යාග පිරිනැමෙයි. මීට අමතරව 15 වැනි ස්ථානය දක්වා රුපියල් පන්දහස බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. එක් එක් අදියර ජයගන්නා ක්‍රීඩකයන්ට සහ ස්ප්‍රින්ට් ශූරයන්ට, සමස්ත කඳු තරණය කිරීමේ ශූරයාට මෙන්ම සමස්ත කණ්ඩායම් ශූරතාව, අනුශූරතාව සමග අවුරුදු 23න් පහළ යොවුන් ක්‍රීඩකයාට ද මුදල් ත්‍යාග පිරිනැමෙන බව ගුවන් හමුදා පාපැදි සවාරිය පිළිබඳ පසුගියදා ගුවන් හමුදා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ගුවන් හමුදා පාපැදි සංචිතයේ සභාපති එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය මහතා සඳහන් කළේය.

පිරිමි සහ කාන්තා තරග සඳහා සහභාගි වෙමින් තරගය නිමා කරන සෑම තරගකරුවකුටම, තරගකාරිනියකටම මෙන්ම කණ්ඩායම් කළමනාකරුවන්ට දිනකට රුපියල් දෙදහසක පිරිතෝෂික මුදල් පිරිනැමීමටත් ගුවන් හමුදා පාපැදි සංචිතය කටයුුතු යොදා තිබේ.

කාන්තා තරගයේ ජයග්‍රාහිකාවට රුපියල් පනස්දහසක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානයට රුපියල් තිස් දහසක්, තුන්වැනි ස්ථානයට රුපියල් විසි දහසක්, සිවුවැනි ස්ථානයට රුපියල් පහළොස් දහසක්, පස්වැනි ස්ථානයට රුපියල් දස දහසක්, 6 වැනි ස්ථානයට රුපියල් පන් දහසක් මෙන්ම 7 වැනි ස්ථානයේ සිට දස වැනි ස්ථානය දක්වා රුපියල් පන්දහස බැගින් මුදල් ත්‍යාග පිරි නැමේ. මීට අමතරව කණ්ඩායම් ශූරතාව, අනුශූරතාව, ස්ප්‍රින්ට් ශූරතාව සඳහා මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

අබාන්ස් සමාගම සහ ඩේවිඩ් පීරිස් සමාගම ගුවන් හමුදා පාපැදි සවාරියේ සම අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.

මේ සඳහා අයැදුම්පත් බාර ගැනීම මේ මස 28 වැනිදා දක්වා සිදුකෙරෙන අතර ලේකම්, එයාර් කොමදෝරු එල්.එම්.එස්.කේ.ලීලාරත්න, ගුවන් හමුදා පාපැදි සංචිතය, ගුවන් හමුදා මූලස්ථානය, කොළඹ ලිපිනයට සිය අයැදුම්පත් යොමු කළ හැකි බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි. මේ පිළිබඳ වැඩි විස්තර 0772229325 දුරකතන අංකයෙන් ද ලබාගත හැකිය.

ගුවන් හමුදා පාපැදි සංචිතයේ ලේකම් කිත්සිරි ලීලාරත්න, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එන්.කරුණාරත්න මහත්වරු සමග අනුග්‍රාහක සමාගම් නියෝජිතයෝද මාධ්‍ය හමුවට එක්වූහ.

 


නව අදහස දක්වන්න