ලීග් රග්බි කුසලානය හඹා යන සුපිරි වටයේ සටන ඇරැඹේ | දිනමිණ

ලීග් රග්බි කුසලානය හඹා යන සුපිරි වටයේ සටන ඇරැඹේ

ෆවුස් මොහොමඩ්

අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියට අභිනවයෙන් එක්වූ කුසලාන සහ පළඟ ශූරතා සඳහා වන සුපිරි වටයේ තරග හෙට (23) සහ අනිද්දා (24) පැවැත්වෙයි. සති දෙකක් පුරා පැවැත්වෙන සුපිරි වටයේදී දෙවැනි වටය නිමාවනවිට සමස්ත ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට සමත්වූ කණ්ඩායම් 4ක් කුසලානය ද, ඉතිරි කණ්ඩායම් 4 පළඟ ශූරතාව ද හඹා යනු ඇත.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ උපසභාපති සහ තරගාවලි අධ්‍යක්ෂ රිස්ලි ඉල්යාස් මහතාගේ සංකල්පයකට අනුව මෙවර තරගාවලියට එක්වූ සුපිරි වටය කණ්ඩායම් අතර තරගකාරීත්වය ඉහළ දැමීමට ඉවහල්වී තිබේ.

තරගාවලියේ ජීවගුණය රඳවා තබා ගනිමින් ක්‍රීඩාලෝලීන් අතර වැඩි ප්‍රබෝධයක් ඇති කරලීමේ අරමුණ ඇතිව රග්බි ආයතනයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ඩයලොග් ලීග් රග්බි තරගාවලියට මේ සුපිරි වටයේ සංකල්පයට එක් කළ බව ඉල්යාස් මහතා ‘දිනමිණ’ට කීවේය.

‘මේ සංකල්පය හඳුන්වාදීමෙන් අපට ලීග් රග්බි තරගාවලිය අතිශයින්ම තරගකාරී බවක් ඇති කරලීමට හැකිවුණා. මේ තත්ත්වය මත මෙවර ලීග් රග්බි කිරුළ දිනාගන්න කණ්ඩායම් තුනකට වැඩි අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා. අපි පැරැණි ක්‍රමයට අනුව තරගාවලිය පැවැත්වූවා නම් දෙවැනි වටයෙන් තරගාවලිය නිමාවට පත්වෙන්නේ වැඩි සටනකින් තොරවයි. නමුත් මේ සුපිරි වටය නිසා අපේ රටේ රග්බි ක්‍රීඩාව නව මාවතට පිවිසියා. තරගකාරීත්වය වැඩිවීමෙන් ක්‍රීඩාලෝලීන් අතර ජනප්‍රියත්වයත් ඉහළ යනවා.’ ඉල්යාස් මහතා සඳහන් කළේය.

වත්මන් ලීග් ශූර මහනුවර පිලට, හැව්ලොක්ස් පිලට සහ සී.එච්.පිලටත් මෙවර කුසලානය අත්පත් කරගැනීමට වැඩි අවස්ථාවක් ලැබී ඇතැයි ඔහු පැවැසීය.

දෙවැනි වටය (තරග 14ක්) නිමාවනවිට සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය මේ විට ප්‍රසාද ලකුණු 12ක් සමග සමස්ත ලකුණු 72ක් ලබා සිටින අතර දෙවැනි ස්ථානයේ පසුවන වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 14ක් සමග මුළු ලකුණු 69ක් ලබා සිටී. සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය මුළු ලකුණු 63ක් ලබා සිටින්නේ ප්‍රසාද ලකුණු 13ක් සමගය. සිවුවැනි තැන පසුවන සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 9ක් සමග මුළු ලකුණු 47ක් ලබා සිවුවැනි තැන පසුවෙයි.

ඒ අනුව කුසලානය සඳහා පැවැත්වෙන සුපිරි වටයේ තරගාවලිය ආරම්භ කරමින් හැව්ලොක්ස් සහ සී.ආර්. පිල හෙට පස්වරු හැව්ලොක්ස් පිටියේදී තරග වදියි. එම වටයේ සෙසු තරගය අනිද්දා (24) පස්වරුවේ මහනුවර පිල සහ සී.එච්.පිල අතර නිත්තවෙලදී පැවැත්වෙනු ඇත.

දෙවැනි වටය නිමාවනවිට ලකුණු සටහනේ පස්වැනි ස්ථානයට පත්වූ යුද හමුදා ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 7ක් සමග මුළු ලකුණු 38ක් ලබා සිටින අතර ප්‍රසාද ලකුණු 9ක් සමග මුළු ලකුණු 32ක් ලැබූ පොලිස් ක්‍රීඩා සමාජය 6 වැනි තැන සිටී. නාවික හමුදා ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 12ක් සමග මුළු ලකුණු 32ක් ලබා 7 වැනි තැන පසුවෙද්දී ගුවන් හමුදා පිල ප්‍රසාද ලකුණු 6ක් සමග මුළු ලකුණු 11ක් ලබා අටවැනි තැන සිටී.

සුපිරි වටයේ පළඟ ශූරතාව සඳහා හෙට පස්වරු වැලිසරදී යුද හමුදා පිල සහ ගුවන් හමුදා පිල තරග වදින අතර පොලිස් පිල සහ නාවික හමුදා පිල අතර තරගය අනිද්දා පොලිස් පිටියේදී පැවැත්වෙයි.

එම වට ද්විත්වයේදීම පළමු තරගයෙන් ජයගන්නා කණ්ඩායම සහ දෙවැනි තරගයෙන් ජයගන්නා කණ්ඩායම අතර තීරණාත්මක තරගය සුපිරි වටයේ දෙවැනි සතියේදී පැවැත්වීමට නියමිතය.

 

නව අදහස දක්වන්න