අධ්‍යාපනයේ වෙනස...! | දිනමිණ

අධ්‍යාපනයේ වෙනස...!

මේ වනාහී අපේ ජාතික අධ්‍යාපනයේ සාධනීය වෙනස්කම් ගණනාවක් සිදුවන කාලයකි. ජාත්‍යන්තර මට්ටමට ජාතික අධ්‍යාපනය ඔසොවා තැබීම, දරුවන්ගේ කුසලතා හඳුනාගෙන ඔවුන් වෘත්තීය ක්ෂේත්‍රයක් කෙරෙහි යොමු කිරීම හා අනාගත පරපුර රටේ ආර්ථික ක්‍රියාවලියේ සැබෑ කොටස්කරුවන් බවට පත්කිරීමත් ඉහත වෙනස්කම්වල අරමුණ ලෙස පෙන්වා දිය හැකි ය. නිදහස් අධ්‍යාපනය තහවුරු වී සැලැකිය යුතු කාලයක් ගතවී ඇතත්; අධ්‍යාපනය හා රැකියා වෙළෙඳ පොළ අතර තිබිය යුතු අන්තර්-සම්බන්ධය තවම හරිහැටි ගොඩනැඟී නැත. එම සම්බන්ධය තහවුරු කිරීම ද යථෝක්ත වැඩසටහන්වල තවත් ඉලක්කයකි.

අපේ සාම්ප්‍රදායික අධ්‍යාපනය ගතහොත් කඩඉම් විභාග කිහිපයක් තිබේ. පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ විභාගය හා උසස් පෙළ විභාගය ඒ අතරින් ප්‍රධාන වෙයි. සාමාන්‍ය පෙළ විභාගය සඳහා ලක්ෂ තුනකට වැඩි පිරිසක් වාර්ෂිකව උත්තර ලියති. මෙයින් ලක්ෂයක් පමණ එතැන් සිට අධ්‍යාපනය අත්හරිති. උසස් පෙළ විභාගයට ද ඊට සමාන පිරිසක් මුහුණ දෙති. එම විභාගයෙන් පසු අධ්‍යාපනය අත්හරින පිරිස ලක්ෂ දෙකටත් වැඩි ය. වාර්ෂිකව සිදුවන මේ ක්‍රියාවලිය තුළ තරුණ පරම්පරාවෙන් සැලැකිය යුතු කොටසක් අතරමං වන බව බොහෝ දෙනා කල්පනා නොකරති.

රජයේ අදහස සියලු දෙනාට ම සමාන අධ්‍යාපනයක් ලබාදීම ය. සාමාන්‍ය පිළිවෙතට හා පිළිගැනීමට අනුව ශාස්ත්‍රීය අධ්‍යාපනය පෙරමුණට එයි. එහෙත් ලෝකයේ දියුණු රටවල වැඩි අවධානය යොමු වී ඇත්තේ වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි ය. ජර්මනිය, ජපානය වැනි රටවල් වෘත්තීය අධ්‍යාපනයට ඉහළම සැලැකිල්ලක් දක්වයි. මේ අනුව වෘත්තීය අධ්‍යාපනය පාසල් අවදියේ සිට ම ප්‍රගුණ කිරීමට එම රටවල දරුවන්ට අවස්ථාව තිබේ. ශ්‍රී ලංකාව ද එම ක්‍රමවේද අනුගමනය කිරීමට අදහස් කරයි. වෘත්තීය අධ්‍යාපනයට අදාළ විෂයයන් විසිහයක් අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දී ඇත. පාසල් හැරයන දරුවෝ දැන් එම විෂයයන් වෙත යොමු වෙති.

ඉහත සඳහන් විෂයයන් විසිහය ප්‍රධාන ක්ෂේත්‍ර හතකට ඇතුළත් ය. සෞඛ්‍ය හා සමාජසේවා, නිර්මාණකරණය, තාක්ෂණය, සමාජ හා සාංස්කෘතික, කෘෂි හා ආහාර තාක්ෂණය, සංචාරක හා පරිසර ලෙසින් එම ක්ෂේත්‍ර හත හඳුන්වා දී ඇත. මේ සෑම ක්ෂේත්‍රයක්ම එදිනෙදා ආර්ථික හා සමාජ සේවා කටයුතු සමඟ බද්ධ වන අතර එම ක්ෂේත්‍රවල රැකියා අවස්ථාද බහුලව පවතී. රැකියා අවස්ථා දේශීය වශයෙන් මෙන් ම විදේශීය වශයෙන් ද හඳුනාගෙන ඇත. ශාස්ත්‍රීය අධ්‍යාපනයක් වෙනුවෙන් දීර්ඝ කාලයක් වැය කිරීමට වඩා පහසුවෙන් ජීවිතය ජයගත හැකි මාර්ග මේ වැඩසටහන් තුළ තිබේ.

අප දන්නා සරල අත්දැකීමක් සටහන් කළහොත්; ශ්‍රී ලංකාවේ පළපුරුදු පෙදරේරුවකුට හෝ වඩු ශිල්පියකුට හෝ දියුණු රටක දී මසකට රුපියල් ලක්ෂ හයක් හෝ ලක්ෂ අටක් හෝ උපයාගත හැකි ය. එහෙත් ඒ සඳහා පිළිගත් සහතිකයක් තිබිය යුතුය. සහතික නැති ශිල්පීන්ට රැකියා ලබාදීමට දියුණු රටවල ආයතන ඉදිරිපත් වන්නේ නැත. ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය අධ්‍යාපනය තුළ ලබාගන්නා ප්‍රථම උපාධිය ලෝකයේ සැලැකිල්ලට ලක්වන්නේ වුව අපගේ වෘත්තීය අධ්‍යාපනයේ බොහෝ ක්ෂේත්‍රවලට එබඳු පිළිගත් සහතික ලබාදෙන ක්‍රමයක් නැත. එම අඩුව අලුත් පාඨමාලා ඇති කිරීමත් සමඟ සම්පූර්ණ වනු ඇතැ’යි සිතන්නට පුළුවන.

අපගේ ජාතික අධ්‍යාපනය හා රැකියා වෙළෙඳපොළ අතර ඍජු සම්බන්ධයක් නැත. මෙය රටේ නායකයන් පවා පිළිගන්නා කාරණයකි. දේශීය රැකියා වෙළෙඳ පොළ පමණක් නොව; විදේශීය රැකියා වෙළෙඳ පොළ සමඟ වුව ඍජු සම්බන්ධයක් පැවැතීම අධ්‍යාපනයට වැදගත් ය. මේ සම්බන්ධයෙන් විවිධ සංවාද පැවැතුණු අතර ඇතැම් වැඩසටහන් ද ක්‍රියාත්මක විය. එහෙත් ඒ එකක්වත් ඉලක්ක ජය ගත්තේ නැත. අධ්‍යාපනයේ පැවැති අඩුපාඩු ද ඊට බලපාන්නට ඇත. වෙළෙඳ පොළ තාක්ෂණික ශිල්පීන් ඉල්ලා සිටිනවිට අධ්‍යාපනයට ශාස්ත්‍රවේදී උපාධිධාරීන් ලබාදුන්නේ ය. මෙයින් වැඩසටහන් අසාර්ථකවූ අතර උපාධිධාරියා ද අමාරුවේ වැටිණි.

අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ පුරාණ නිර්වචන නිරීක්ෂණය කරනවිට පෙනී යන්නේ එය පරිපූර්ණ මිනිසකු බිහි කරන ක්‍රමවේදය බව ය. මිනිසකු සැබෑනම්; ඔහු සමාජ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු ය. ආර්ථික ක්‍රියාවලියේ කොටස්කාරයකු විය යුතුය. මේ මූලික සහභාගිත්ව දෙක සෑම පුරවැසියකුටම අදාළ වෙයි. අද ලෝක තත්ත්වයට අනුව ගතහොත් මිනිසා විශ්වීය සත්වයකු බවට පත්වී ඇත. ඔහුගේ සම්බන්ධතා ජාලය ලෝකය පුරා විහිදෙයි. ඒ අනුව අධ්‍යාපනයෙන් විශ්වීය මිනිසකු බිහි කිරීමට වෑයම් කළ යුතුව තිබේ. ජාත්‍යන්තර භාෂා හා තාක්ෂණික ඥානය මෙහි දී වැදගත් වෙයි. ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපනය එම තත්ත්වය ද වටහාගෙන සැලැසුම් කර ඇත.

රටක ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමවේදය එකවර වෙනස් කළ නොහැකි ය. එකවර බරපතළ වෙනස්කම් ඇති කිරීමෙන් සමස්ත අධ්‍යාපනය අවුල් විය හැකි ය. රජය මේ අනුව ක්‍රමිකව මේ වෙනස සිදු කරයි. නව අධ්‍යාපනය හඳුන්වාදීමේ මුල් පියවර ලෙස පාසල් එකසිය ගණනක් තුළ නව අධ්‍යාපනය ආරම්භ කළේ මීට මාස ගණනාවකට පෙරය. එය සාර්ථකව ක්‍රියාත්මක වන අතර ඊයේ සිට තවත් පාසල් හයසිය ගණනක නව වැඩසටහන් ආරම්භ කර ඇත. තුන්වන පියවරේදී දිවයින පුරා සියලු පාසල්වලට වැඩසටහන හඳුන්වා දිය හැකි ය. මේ සඳහා උපාධිධාරී ගුරුවරුන් පන්දහස් ගණනක් බඳවා ගැනීමට ද රජය අපේක්ෂා කරයි.

රටේ නායකයා ලෙස ජනාධිපතිවරයා මේ වැඩසටහන හඳුන්වන්නේ ආර්ථිකය හා අධ්‍යාපනය එකට සමීප කළ නව උපායමාර්ගයක් හැටියට ය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩසටහන හඳුන්වන්නේ විසිඑක්වන සියවසට ගැළපෙන තරුණ පරම්පරාවක් බිහිකරන ක්‍රමවේදය මෙය බව ය. අධ්‍යාපන අමාත්‍යවරයා නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් ලෙස මේ වැඩසටහන හඳුන්වා දෙයි. අධ්‍යාපනයේ සැබෑ අරමුණු ජයගැනීමට නම්; ඉහත වැඩසටහන හොඳ වැටහීමකින් යුතුව ක්‍රියාත්මක කළ යුතුය. ඒ අනුව විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට මෙන්ම වැඩිහිටියන්ට ද මෙහි එක් වගකීමක් පැවරෙයි. ඔවුන් ස්වකීය දරුවන් සද්භාවයෙන් යුතුව මේ සඳහා යොමුකළ යුතුව තිබේ.

අධ්‍යාපනය යනු දියුණුවේ මාර්ගයකි. නැතහොත් අනාගත ආයෝජනයකි. එය නිසි ලෙස කළමනාකරණය කරගත් රටවල් සංවර්ධනයේ උපරිම තලයට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවට ද දැන් එබඳු මාර්ගයක් තිබේ. අධ්‍යාපනයේ වෙනස රටේ වෙනසකට මග පාදනු ඇත.

 


නව අදහස දක්වන්න