නව අපනයන කරුවන් 2000 ක් | දිනමිණ

නව අපනයන කරුවන් 2000 ක්

නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන පිළිබදව උතුරු මැද පලාතේ ව්‍යවසායකයන් දැනුවත් කිරීම සඳහා පළාත් මට්ටමෙන් පවත්වන හයවන සම්මන්ත්‍රණය 2019 පෙබරවාරි මස 22 වන සිකුරාදා දින අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ රිසෝට්, උත්සව ශාලාවේදී (ජයන්ති මාවත, අනුරාධපුර) දී පවත්වනු ලැබේ.

නව අපනයන කරුවන් 2000 ස්ථාපිත කිරීම ජාතික වැඩසටහනක් ලෙසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2017 මාර්තු මස 23 වන දින උතුරු පලාතේ ව්‍යවසායකයන් වෙනුවෙන් යාපනයේදී දියත් කළ අතර සම්මන්ත්‍රණ මාලාවේ දෙවන අදියර මධ්‍යම පලාතේ ව්‍යවසායකයන් වෙනුවෙන් මහනුවර දී , තෙවන අදියර දකුණු පලාතේ ව්‍යවසායකයන් වෙනුවෙන් මාතර දී සහ සිව්වන අදියර වයඹ පලාතේ ව්‍යවසායකයන් වෙනුවෙන් කුරුණෑගලදී පැවැත්විය. පළාත් මට්ටමෙන් පවත්වන පස්වන සම්මන්ත්‍රණය සබරගමුව පලාතේ ව්‍යවසායකයන් වෙනුවෙන් කෑගල්ලේ දී පවත්වන ලදි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2017-2022 කාලපරිචිඡේදයේදී නව අපනයන කරුවන් 2000 බිහිකිරීම සඳහා ජාතික වැඩසටහනක් දියත් කර ඇත. වසර 2022 දී සමස්ත අපනයන ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන 28 ක් ලබා ගැනීම සඳහා අපනයන කර්මාන්තවල ආයෝජනය කිරීමට දේශීය ව්‍යාපාර උනන්දු කරවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

මෙම වැඩසටහන උතුරු මැද පලාතේ ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ,ව්‍යවසායකයන් සහ පාසල් සිසුන් වෙනුවෙන් අපනයන කර්මාන්ත සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම විදහා දක්වන ප්‍රදර්ශනයක්, ව්‍යාපාරික ගැටලු විසදන සාකච්ඡාවක්, යන අංගවලින් සමන්විත වන අතර සම්මන්ත්‍රණයේදී ගෝලීය සැපයුම් දාමයට එකතු වෙමින් අභියෝග ජයගත් ප්‍රධාන පෙලේ අපනයන කරුවන් ඔවුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරමින් ව්‍යවසායකයන් අපනයන ක්ෂේත්‍රයට ආකර්ෂණය කරගැනීම සඳහා දිරිගැන්වීමට නියමිතයි.

උතුරු මැද පලාතේ හදුනාගත් අපනයන ශක්‍යතාවයක් ඇති ක්ෂේත්‍ර ‍ලෙස අගය වැඩිකළ කෘෂි නිෂ්පාදන, කුළු බඩු නිෂ්පාදන, තෑගි භාණ්ඩ හා විසිතුරු භාණ්ඩ, සුවසේවා සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවා, සකස්කළ ආහාර පාන, ආයුර්වේද නිෂ්පාදන, පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන, විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන, ආශ්‍රිතව සංවර්ධනය සඳහා ඇති අවස්ථා හදුන්වාදීම හා ඔවුන් ඒ සඳහා යොමු කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය පවත්වනු ලැබේ.

මෙම ජාතික වැඩසටහන සදහා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය,ගරු මලික් සමරවික්‍ර‍ම මැතිතුමා, කෘෂිකර්ම , ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය,ගරු පි. හැරිසන් මැතිතුමා, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය,ගරු චන්ද්‍රානි බණ්ඩාර මැතිනිය සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය, ගරු නලින් බණ්ඩාර ජයමහ මැතිතුමා, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශ ලේකම්, එස්.ටී.කොඩිකාර මැතිතුමා, උතුරු මැද පලාතේ ප්‍රධාන ලේකම්, එච්. එම්. පි. බණ්ඩාර මැතිතුමා,අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මැතිතුමා,අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය සහ ප්‍රධාන විධායිකා, ඉන්දිරා මල්වත්ත මැතිණිය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ඉහළ පෙලේ නිලධාරීන් සහභාගි වීමට නියමිතයි.

නව අදහස දක්වන්න