මදුෂ් ඇතුළු සැකකරුවන් ඩුබායි මහාධිකරණයට | දිනමිණ

මදුෂ් ඇතුළු සැකකරුවන් ඩුබායි මහාධිකරණයට

විජයානි එදිරිසිංහ

ඩුබායිහි අත්අඩංගුවේ සිටින මාකදුරේ මදුෂ් ඇතුළු සැකකරුවන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බවත් ඔවුන් එරට මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කන්සල්ටේෂන් නිලධාරියා විසින් තීරණය කර ඇති බවටත් තොරතුරු ලැබී තිබේ.

මෙම පිරිස වෙනුවෙන් පෙනී සිටීමට මෙරටින් ඩුබායි වෙත ගොස් සිටින නීතිඥවරුන් පවසා ඇත්තේ එම කන්සල්ටේෂන් නිලධාරියාගේ තීරණය මත පොලිසියෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් සම්බන්ධයෙන් එරට නීතිය අනුව ක්‍රියා කිරීම හෝ නොකිරීම සිදුවන බවයි. ඒ අනුව පසුගිය සති දෙකකට වැඩි කාලයක් තිස්සේ මෙම පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම ප්‍රකාශවලට අදාළ වාර්තාව එම නීති උපදේශක නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම නිලධාරියා තීරණය කර ඇත්තේ මෙම අත්අඩංගුවේ සිටින පිරිස එරට නීතියට අනුව බරපතළ වරදක් කර ඇති බැවින් එරට මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර එරටට ගොස් සිටින නීතිඥවරුන් දෙදෙනා අමල් පෙරේරා ඇතුළු පිරිස වෙනුවෙන් එක් අයකුත් මදුෂ් ඇතුළු පිරිසක්වෙනුවෙන් තවත් අයකුත් එරට නීතිඥවරුන් නඩුවට පෙනී සිටීම සඳහා කතා කරගෙන ඇති බවට ද තොරතුරු ලැබී ඇත. මෙම එක් නීතිඥවරයෙක් වෙනුවෙන් රුපියල් කෝටි ගණනක මුදලක් අය කරන බවත් වාර්තා වෙයි.

උපදේශක නීති නිලධාරියාගේ තීරණයට අනුව මදුෂ්, අමල් පෙරේරා ඇතුළු පිරිසක් මහාධිකරණයට ඉදිරිපත් කෙරෙන අතර සෙසු පිරිස නිදහස් කරනු ලැබේ. පසුගිය හතරවැනිදා ඩුබායි හෝටලයක සාදයක් පවත්වන අවස්ථාවේ විශේෂ කාර්ය බළකායේ ඔත්තුකරුවන් දෙදෙනකු විසින් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වී ඩුබායි පොලිසියට දෙන ලද ඔත්තුවක් මත මෙම පිරිස මෙසේ අත්අඩංගුවට ගෙන මේ දක්වා රඳවාගෙන කරනු ලැබු ප්‍රශ්න කිරීම්වලදී ඩුබායි පොලිසිය මගින් තොරතුරු රැසක් හෙළි කර ගෙන තිබේ. එපමණක් නොව මේ ආකාරයෙන් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් එරට නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවහොත් ඔවුන් මෙරටට ගෙන ඒමට හැකි වන්නේ එරට නීතියෙන් ලැබෙන දඬුවම් අවසන් වුවහොත් පමණක් බව ද එම නීතිඥවරු පවසති. 

නව අදහස දක්වන්න